අග්නි 49

1.7K 405 502
                                    

මිධුනාථ ගල් තලාවෙන් නැවතත් ජලයට බසිනු අග්නි බලා සිටියේ ය.ඔහු නිහඩවම ජලය යට මදක් කිමිදී නැවතත් දිය මතුපිටට පැමිණියේ ය. අග්නි ද මද වෙලාවකින් සැහැල්ලුවෙන් නැගී සිටියේ ය. ඔහු මිධුනාථ සේම ජලයට බැස්සේ සිය උඩුකය වස්ත්‍රයන් පමණක් උනා දමමිනි. සිත නොසන්සුන් අවස්ථාවල ජලයෙහි කිමිදීම අග්නිට ඇඹුල් දොඩම් සේම සැහැල්ලු සිතිවිලි ඇති කළේ ය.

ඔහු මිධුනාථ මෙන් නදියෙහි මධ්‍යයට නොගියේ ය. ඔහු විසල් වෘක්ෂවලින් අදුරු වූ ශීතල ගං ඉවුර වඩාත් ප්‍රිය කළේ ය. අනෙක ගංගාව මධ්‍යයේ වූ ජලයට වඩා ගං ඉවුර අසල ජලය ශීතල වූ අතර අග්නි එය වඩාත් ප්‍රිය කළේ ය. නමුත් , එය අතිශයින්ම අලස විය.

'' ඒ මිධුනාථ... '' අග්නි පැවසුවේ මිධුනාථ වෙත ජලය ඉසිමිනි. නිහඩව දෑස් පියාගෙන ජලයෙහි හිස ඔබා සන්සුන්ව සිටි මිධුනාථ අග්නිගේ ජලපහරට තිගැස්සී ගියේ ය. අග්නි ඒ දෙස බලා තරමක් හඩින් සිනාසුණේ ය. එය සැබවින්ම හාස්‍යජනක විය. මිධුනාථ කම්පනයෙන්ම ගොළුව සිටි අතර ඔහුගේ දෑස් ලේ පිරෙන්නාක් මෙන් රතුව යන්නට වැඩි වෙලා ගත වූයේ නැත .

මිධුනාථ කෝපාන්විතව ජලය වෙත පහර එල්ල කළේ අග්නි සම්පූර්ණයෙන්ම නැහැවී යන පරිදියි . ඔහු එල්ල කළ ජල පහරින් තමාගේ හිස සිට පාදන්තය තෙක්ම නැහැවී යනු අග්නිට දැනුණි . ඔහු ද පසුනොබැසම පෙරලා ජලය ඉස්සේ මිධුනාථගේ මුහුණ ඉලක්ක කරමිනි. ඔහුගේ පියවී තිබූ දෑස් අතරින් ජල බිදු බේරෙනු බලා සිටි අග්නි අපහසුවෙන් සිය සිනහව පාලනය කර ගත්තේ ය.

'' තමුන්!!! අද දියේ ගිලී මිය යන්නේ... '' මිධුනාථ ගිගිරුවේ ජලය පීරමින් අග්නි සිටි ඉවුර දෙසට පැමිණෙමිනි.

'' ඒ.. සමීප වෙන්න එපා... මා.. '' අග්නි තවත් යමක් පැවසීමට පෙර මිධුනාථගේ ජල පහරින් ඔහු නැහැවී ගියේ ය. එකී ජලය ඔහුගේ මුවෙහි ද ගියේ ය.

'' ඒයි.. පාපිෂ්ට ඉස්ගෙඩියා.. තමුන් අද මැඩියෙකු කරයි මා නවතින්නේ.. '' අග්නි ද එවර දත්මිටි කමින් පැවසුවේ පෙරළා ජලය ඉසිමිනි. ඔහු මිධුනාථට හුස්ම ගැනීමට හෝ ඉඩ නොතබා ජලයෙන් ඉසිමින් පහර දුන්නේ ය.
මිධුනාථ ද මදකුදු සටන අතහැරියේ නැත . සිය දෑස්වලට ද ජලය ගිය මුත් අග්නි දෑස් වසාගෙනම ජලයෙන් පහර දුන්නේ ය. සම්පූර්ණ ගංගා ජලයම අවසන් වුවද අග්නි නම් සටන අතහරින ලෙසක් දිස් නොවී ය. ඔහු දිගටම ජලයෙන් පහර දුන්නේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now