දිවයුරු වෙර 1

2.7K 338 274
                                    

'' අය්යණ්ඩි.... ''

තමාගේ පිටුපසින් ඇසුණු , කලබලකාරී ගැඹුරු හඩට විසි තුන් හැවිරිදි සුග්‍රීව තිගැස්සී ගියේ ය.

සුග්‍රීව , රත්නද්වීපයේ පංච අධ්‍යාපනික අසපු අතරින් විශ්ව ශක්තිය සදහා ප්‍රසිද්ධියක් ඉසිලූ වෛශව අසපුවෙහි ප්‍රධාන මුනි වූ ම්‍යාන මුනිතුමන්ගේ උප භාර්යාවකට දාව උපත ලැබූ ම්‍යාන මුනිගේ වැඩිමහල්ම පුත්‍රයා විය.

ථිත, නැතිනම් තමාගෙන් පසු වැඩිමහල්ම , සිය බාල සහෝදරයාගේ මෙකී ආමන්ත්‍රණය සුග්‍රීව හට නුහුරු යමක් නොවී ය. තමාගේ මතකයෙහි ඇති කාලයේ පටන් ථිතගේ නිත්‍ය කාර්යය අය්යණ්ඩි යනුවෙන් හඩගසමින් තමා පිටුපසින් වැටී සිටීම විය.

ථිත ද ම්‍යාන මුනිට දාව වෛශව අසපුවෙහි අන්තපුරය වූ ඇසළ අංගනයෙහි වෙනත් උප දේවියකට දාව උපත ලැබූ තවත් මුනි පුත්‍රයෙකු විය.

ථිත හා තමා අතර වයස් පරතරය සුළු වූ බැවින් සුග්‍රීව හා ථිත සමීප සහෝදරයන් විය. ඔවුන් දෙදෙනාම වෛශව අසපුවෙහි ප්‍රධාන මුනිතුමන් වූ  ම්‍යාන මුනිගේ වැඩිමහල්ම , පුත්‍රයන් දෙදෙනා විය.

ථිත තරමක් දැඩි පෙනුමකට හිමිකම් කී අතර කුඩා කළ ගැටුමකින් ඇතිවූ කුඩා කැළලක් ඔහුගේ නළල අසල විය. ඔහු නිරන්තර කලබලකාරී ස්වරූපයකට හිමිකම් කිවේ ය.

සුග්‍රීව , වනාහී අහිංසක සිනහාවකටත් සෞම්‍ය ස්වරූපයකටත් හිමිකම් කී අතර , ඔහු තරමක් දැඩිවන අවස්ථා ද අවශ්‍ය තරම් තිබුණි . තමාට වඩා ලාබාල සියලු මුනි ශිෂ්‍යයන්ගේ වගකීම් සුග්‍රීව වෙත පැවරී තිබූ අතර ඔවුන් හික්මවීමට ඉමහත් වෙහෙසක් දැරීමට සුග්‍රීවට සිදු විය .

අවසානයේ සිය අණට කීකරු වූ එකම බාල සොහොයුරා ලෙස ඔහු ථිත නම් කළේ ය. 

'' කුමක් ද කරුණ ? '' සුග්‍රීව ථිත දෙස බලමින් බැරූරුම් ලෙස විමසුවේ ය.

'' මිධුනාථ.. භීෂ... '' ථිත කලබලයෙන්  පැවසුවේ ය.

ථිත සම්පූර්ණ කාරණය පැවසීමට පෙරම සුග්‍රීව කාරණය වටහා ගත්තේ ය. එය වෛශව අසපුවෙහි ඒ තරම්ම සුලබ කාරණයක් විය .  ඔහු ථිත පැමිණි දිශාවට දිව ගියේ ය.

🌸 දිවයුරු වෙර 🌸Where stories live. Discover now