අග්නි 68

1.8K 364 437
                                    

මිධුනාථ කවුළුවෙන් හිරු එළිය වැටෙන තෙක්ම පද්මාසනයෙන් අසුන්ගෙන සන්සුන්ව භාවනාවෙහි නිරත විය . කුටියෙහි ද්වාරය විවර වනුත් ශබ්ද නොනැගෙන සේ වසා දමනු ද මිධුනාථට ශ්‍රවණය වූ මුත් ඔහුගේ ධ්‍යාන බිදී නොගියේ ය. ඔහු ඒ තරමින්ම මනස ප්‍රගුණ කර සිටියේ ය.

ඔහු සෙමින් දෑස් විවර කළේ ය. සුලෝධජ ඔහු ඉදිරියේ සිටගෙන සිටි අතර ඔහු අංගසම්පූර්ණ රාජකීය වස්ත්‍රවලින් සැරසී සිටියේ ය. එහි ඔහුට ආවේණික වෙනස් කම් කිහිපයක් ද මිධුනාථ නිරීක්ෂණය කළේ ය.

ඔහුගේ කන්පෙත්ත වටා වූ කුඩා දම්වැල් සහිත පළදනාවෙහි දම්වැලි නළලෙහි  ගැටෙමින් චලනය වෙමින් තිබූ අකාරය මිධුනාථ දුටුවේ ය. අදුරු හරිත පැහැ මුසු වූ සළු පිළි ඔහුට එකසේ තේජවන්ත හා රෞද්‍ර පෙනුමක් ද එක් කළේ ය. ඔහුගේ සූර්යය-සිංහ සලකුණ සහිත රත්‍රන් බද පටියෙහි දටික කිණිස්ස දෙස මිධුනාථ සිය දෑස් යොමු කළේ ය.  ඔහුගේ සුරත අසිපත් මිට අසළ නැවතී තිබුණ ද සුලෝධජගේ දිලිසෙන දෑස් තමා වෙතට යොමු වී ඇති අයුරු මිධුනාථ දුටුවේ ය.

මද වේලාවකින් ඔහු තමා අසළට පැමිණ සිය හස්තයෙන් දැඩිව අල්ලාගනු මිධුනාථට දැනුණි .සුලෝධජ ඔහුව මාළිගයේ අදුරු බරාද ඔස්සේ ඇදගෙන ගියේ ය.

මිධුනාථ කෝපගත්ත ද ඔහු කිසිවක් නොපැවසුවේ ය. සුලෝධජ සෑම කෝණයකින් හැරීමට පෙර බරාදය හිස් දැයි පිරික්සා බලන වග මිධුනාථ වටහා ගත්තේ ය. ඔහුගේ අසිපත ඕනෑම මොහොතක පිටතට ගත හැකි පරිදි සුරත ඒ අසළම වූ මුත් මිධුනාථ ඒ පිළිබද ප්‍රශ්න කිරීමෙන් වැළකුණේ ය.

අවසානයේ සුලෝධජ සීහශාලීගේ කුටිය ඉදිරිපිට නැවතී එහි ද්වාරයට වරක් තට්ටු කරනු මිධුනාථ බලා සිටියේ ය.

'' කුමක් ද සිදුවන්නේ ? '' මිධුනාථ නොරිස්සීමෙන් විමසුවේ ය.

සුලෝධජ පිළිතුරු දීමට වෙහෙස නොවී ක්ෂණිකව තමාව සිපගනු මිධුනාථට දැනුණි . ද්වාරය විවර වීමට පෙර ඔහු පසෙකට විය . මිධුනාථ තරමක් කම්පනයෙන් බලා සිටියේ ය. සුලෝධජගේ මුහුණෙහි කිසිදු හැගීමක් නොවී ය. ඔහු පිළිතුරු නොදීම මිධුනාථ කෝප ගැන්වූයේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now