අග්නි 80 - [ අවසානය ]

4.4K 559 1.7K
                                    

කොතෙක් සේවය පිණිස දාසියන් හා , ආරක්ෂක සෙබළුන් සිටිය ද මාළිගය පුරා සිය අසිපත ද සමගින් තනිව සැරිසැරීම සුලෝධජගේ ක්‍රමය වග නොදැනුවත් අයෙකු මාළිගයේ නොවී ය. සරලවම ධීර හා භාසුගේ ද්‍රෝහී වීමෙන් පසු සුලෝධජ කිසිවෙකු තරයේ විශ්වාස නොකිරීම ද වග බලා ගත්වග මිධුනාථ දැන සිටියේ ය.

නමුත් වත්හිමි ආස්ථානය රැස් වූ පසු සුලෝධජ කුමන ස්ථානයක අතුරුදන් වූයේ දැයි මිධුනාථ නොදැන සිටියේ ය. ඔහු සුග්‍රීව මාළිගයෙන් පිටව යාමට පෙර වෛශව අසපුව පිළිබද කතිකා කළ අතර සිය සහය ද වෛශව අසපුව යළි ගොඩ නැගීම පිණිස නිසැකයෙන් අවැසි වන වග ද මිධුනාථ වටහා ගත්තේ ය.

සියල්ල සාමකාමී අතට හැරී තිබූ අතර පංච අසපු ප්‍රථම වතාවට එ්කමතික පාලනයෙහි විය . අභිනව ප්‍රධාන මුනිවරුන් සියලු දෙනා හා ගිරි අසපුවෙහි භාරකාරීතය දැරූ සුලෝධජට වඩා වැඩිමහල් වුව ඔවුන් තරමක් වගකීම් සහගත නම්‍යශීලි එහෙත් සත්‍යවාදී පෞර්ශයන්ට හිමිකම් කිවෝ ය.

එහෙත් මේ සියල්ල මිධුනාථට වූ ගැටලුව නොවී ය. ඔහුගේ කාලවර්ණ නේත්‍රයන් මාළිගයේ සෑම අගලක් පාසාම නොඉවසිල්ලෙන් ගමන් කළේ සුලෝධජ සොයමිනි. ඒ තරමට ඔහු මිධුනාථට '' හිස රදයක් '' විය . ආස්ථානය විසිරී අවසන් නම් සුලෝධජ පිටතට පැමිණෙනු හැර අනකුමක් සිදු කරනු අැත්දැයි මිධුනාථට අනුමාන කළ නොහැකි විය . රාජ සභාවෙහි කිසිදු ගැටුමක් ඇති නොවූ වග සුග්‍රීව පැවසූ වදන්වලින් මිධුනාථ වටහා ගෙන සිටියේ ය. ඔහු මහීධ මුණ ගැසීමට ගිය අවස්ථාවේ දී ඔහු තමා දෙසට හෙලූ සමච්චල් සහගත බැල්ම හා උපහාසාත්මක වදන් ද මිධුනාථ කුපිත කළේ ය. ඒ සියල්ල අතරේ සීහශාලී '' විභාග-කයි '' විභාග-කයි '' යනුවෙන් කෑගසමින් සිටීම ද මිධුනාථ තවත් විස්මයට පත් කළේ ය. සිය ජන්ම දිනය දින තමා සෑම අතින්ම අගතියට පත්ව සිටි වග මිධුනාථට අසීරුවෙන් වුවත් පිළිගැනීමට සිදු විය . තවමත් ඔහුගේ පියවර අවිධිමත් වූ අතර ඔහු එය සගවා ගනිමින් මාළිගය පුරා සුලෝධජ සෙව්වේ ය.

අවසානයේ සුලෝධජගේ කුටිය අසළදී සුලෝධජ මිධුනාථගේ නෙත ගැටුණු අතර ඔහු එදෙසට සිය පියවර ඉක්මන් කළේ ය. නමුත් සුලෝධජ සිනාසී පිළිසදරෙහි යෙදෙමින් සිටියේ කව්රුන් සමගින්දැයි දුටු මිධුනාථගේ මුහුණ ක්ෂණිකයෙන් රෞද්‍ර විය . අද දින පමණක් සැලකීමේ දී සුලෝධජගේ වරද බොහෝමයක් විය . අද උදෑසන පා සළඹ පැළදවීමෙන් පසු ඔහු විසින් තමාගේ සිපගැනීම නොසලකා හැරියේ ය. තමා අතහැරිය නොහැකි ලෙස පැවසූ විට එයට ද උසුළු විසුළු කළේ ය. අවසානයේ ආස්ථානය විසිර ගිය වහාම කුටියට නොපැමිණි අතර දැන් කුටිය ඉදිරිපිටම වී , සිය දෑස් ඉදිරියේම අංගනාවන් හා අල්ලාප සල්ලාපයේ ද යෙදෙයි . මිධුනාථ නොරිස්සීමෙන් නාසය පිම්බුවේ ය.

♛ අග්නි ♛Where stories live. Discover now