දිවයුරු වෙර 10 [ අවසානය ]

1.5K 287 191
                                    

සුග්‍රීව අපර අංගනයෙහි පුෂ්පකර්ණයන් අතර කලබලයෙන් දෑස් ගෙනියමින් ථිතගේ රුව සෙව්වේ ය. මෙකී මුග්ධ බඹරා කොහි අතුරුදහන්ව ඇතිදැයි සුග්‍රීවට අනුමාන කළ නොහැකි විය. ථිත මුග්ධ ලෙස විෂ පානය කිරීමෙන් පසු ඔහු මදකට හෝ සිය දෑස් මානයෙන් දුරස් වූ විට සිය සෞම්‍ය ස්වරූපය තමාට ද නොකියාම පෑල දොරින් පලා යන වග සුග්‍රීව වටහාගෙන හමාර විය . ඒ තරමින් ථිත දෑස මානයේ නොමැති විට සුග්‍රිවගේ සිතිවිලි චංචල විය.

තමා අපර අංගනය තුළ උන්මන්තකයෙකු ලෙස කලබලයෙන් දිව යනු කව්රුන් හෝ දුටුවහොත් ඒ තමා වග කිසිවෙකුත් විශ්වාස නොකරන වග සුග්‍රීව දැන සිටියේ ය. අවසානයේ ඔහු කුලීන මුනි පුත්‍ර ස්නාන තටාකය වෙත පැමිණි අතර අභ්‍යන්තර ශිලා මණ්ඩපයක පිහිටා තිබූ මෙකී තටාක පිවිසුම් මණ්ඩපය ඉදිරියේ වූ ථිතගේ සම්පාවහන් යුගළ දැකීමෙන් සුග්‍රීව නැවතත් මදකට සන්සුන් විය . අපර උද්‍යානයම පාළුවට ගොස් තිබූ අතර මෙකී වර්ෂා සමයෙහි කිසිවෙකුත් ජල ක්‍රීඩා පිණිස නො පැමිණෙන වග සුග්‍රීව දැන සිටියේ ය.

ඔහු විනීතව පාවහන් ගළවා ඇතුළත තඨාංගනයට ඇතුළුවූයේ ය . ථිත ඒ වන විටත්
එකී අභ්‍යන්තර ශිලා තටාකයෙහි බැස ශිලා බැම්මට වාරු දී දෑස් ද පියාගෙන සන්සුන්ව කල්පනාවක වග සුග්‍රීව දුටුවේ ය. ඔහු ඉක්මනින් සිය අසිපත ශිලා බැම්ම මත තබා ආභරණ හා චක්‍ර ප්‍රතිඥා වළල්ල ගලවා පසෙකින් තැබුවේ දියට බැසීමේ අදහසින් විය. තමාගේ ශබ්දය සවන් වැකුණු ථිත දෑස් විවර කර එදෙස බැලුව ද කිසිවක් නොපැවසුවේ ය.

සුග්‍රීව පොකුණෙහි පියගැටපෙළ ඔස්සේ හැකි ඉක්මනින් පහළට බැස්සේ ය. සිය නග්න යටිපතුලෙහි මහපටගිල්ල ආධාරයෙන් ජල තලය මතට කිහිපවරක් තට්ටු කර බැලූ සුග්‍රීව එවර ථිත දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවේ ය.

'' ථිත ! මෙහි ජලයට වර්ෂා ජලය මුසුව ගොස්.. '' සුග්‍රීව පැමිණිලි කළේ ය.

'' මෙහි සදුන් පත්‍ර , රොඩු , ... සෑම දෙයක්ම.. '' සුග්‍රීව නැවතත් පැවසුවේ ය. ඔහු කෙතරම් අවධානය ගැනීමට තැත් කළ ද ථිත තමා දෙස වරක් හෝ දෑස් විවර කර නොබැලීම සුග්‍රීව තවත් නොරිස්සුමට පත් කළේ ය. අවසානයේ ඔහු සෞම්‍ය ලෙස හුස්මක් ගෙන ජලයට බැස්සේ ය. ඔහු ඍජුවම ථිත වෙත පිහිනා ගිය අතර ථිත තවමත් දෑස් ද පියාගෙන නිසොල්මනේ විය.

🌸 දිවයුරු වෙර 🌸Where stories live. Discover now