06

549 147 16
                                    

හැමදාම පැය ගණන් ඇදුණු පුහුණුවීම් මාව නොමරා මැරුවා. ගෙදර අයත් වචනයක්වත් නොකියා මාව හැමදාම ප්‍රැක්ටිස් වලට යැව්වත් එයාලා ඒකට ටිකක් හරි අකමැතියි කියලා මම දැනන් හිටියා.

ඒත් ඉතින් ‍මගේ මුරණ්ඩුකම මට නවතින්න ඉඩ දුන්නේ නෑ. 

බාස්කට්බෝල් මට හැමදේම අමතක කරන්න අවස්ථාව හදලා දුන්නා. මාව අලුත් කෙනෙක් කරන්න මගේ ප්‍රැක්ටිස් වලට පුළුවන් වුණා.

ඒ ඇරෙන්න හැමදාම මම ප්‍රැක්ටිස් ඉවර වෙනකන් පැවිලියන් එකට වෙලා පොතක් කියවන මෙනත් අයියා.

එයා හැමදාම ඉස්කෝලේ ආපු ගමන් කරන්නේ පන්තියට ඇවිත් මං දිහා බලන් ඉන්න එක. එයාගේ ඇස්වල නොකියා කියපු තර්ජනයක් තිබ්බා නම් ඒක තමයි මම මොනවා හරි හානියක් කරගත්තොත් කන පලනවා කියන පෙනුම.

මෙනත් අයියා දැන් මට අමුතු හැඟීම් දෙන්න පටන් අරන් තිබුණා. එයා ගාව ඉන්නකොට මට උණුසුම් නිදහස් හැඟීමක් දැනුණා. මම ඒ හැඟීමට දැක්වුවේ කැමැත්තක්ද නැද්ද කියන එක ගැන මටවත් පැහැදිළි අවබෝධයක් තිබුණේ නෑ.

ඒත්...

ඒක හරිම ලස්සන හැඟීමක්.

අන්තිමට ප්‍රැක්ටිස් තිබුණ දවසේ මෙනත් අයියා මම චේන්ජ් කරන් එනකන් මගේ බෑග් එකත් අරන් එළියට වෙල හිටගෙන හිටියා. මම ආපු ගමන් කළේ මගේ බෑග් එක අතට අරන් එල්ල ගත්තු එක.

'තැන්ක් යූ...'

'බඩගිනියිද? මට නම් බඩගිනියි...'

මම මුකුත් නොකියා හිටියේ මට ඇත්තටම බඩගිනි නිසයි. පැය තුනක ප්‍රැක්ටිස් ඉවර වුණ මනුස්සයෙක්ගෙන් බඩගිනිද කියලා අහන එකත් එක අතකට මෙ‍ා්ඩකමක් තමයි.

'අපි යමුද මොනවා හරි කන්න?'

'හා...' මම උත්තර දුන්නා.

මෙනත් අයියා එක පාරට මගේ උරහිසට උඩින් අත දාගත්තේ මාව පුදුමයටම උඩ යවමින්. මම කවදාවත් එයා වගේ සද්ද නැති මනුස්සයෙක්ගෙන් ඒ වගේ දෙයක් බලාපො‍රොත්තු වෙලා තිබුණේ නෑ.

'යමු එහෙනම්.'

අපි දෙන්නා ඉස්කෝලෙන් එළියට ඇවිත් ළඟම තිබ්බ පෙරේරා ඇන්ඩ් සන්ස් එකට ගියා. හැමදාම වගේ දැකලා තිබ්බත් මම වැඩිය මේකට එන්නේ නෑ. මෙනත් අයියා එක්ක ආපු කීප සැරේ ඇරෙන්න පෙරේරා ඇන්ඩ් සන්ස් එක කියන්නේ මට දුර තැනක් වගේ.

'එදා හිටපු තැනින්ම වාඩි වෙන්න. මතක ඇතුව අත හෝදගන්න.' එයා හින‍ාවෙලා මගේ පිටට තට්ටුවක් දැම්මා.

'හරි ඉතින්...' මම නොක්කාඩු කිව්වේ එක දවසක් බූත වෙලා හිටියට තවත් එහෙම නැති නිසයි.

මෙනත් අයියා කවුන්ටරේ ගාවට යද්දි මම ගිහින් අත හෝදන් පුටුවකින් වාඩි වුණා.

හවස පහ පහුවෙලා නිසා වැඩි සෙනගකුත් එතන හිටියේ නෑ. මෙනත් අයියා වෙනදා වගේම පිඟන් දෙකක් අරන් ආවා.

'අද ඔයාට ගත්තේ මම මයිලෝ එකක්. අයිස් කොෆී ඉවරයි.'

'ඒකට කමක් නෑ.'

අපි දෙන්නා සද්ද නැතුව කන්න පටන් ගත්තා. මම සැරින් සැරේ බීම එක බොන එක ගැන මෙනත් අයියා දිහා ‍හොරෙන් බැලුවා.

එයාගේ තිබ්බේ අමුතු ලස්සනක්.

දුඹුරු පාට ඇස්...

දිග නහය...

මගේ පපුව හරහා මොනවා හරි යනවා වගේ මට දැනුණා.

එයා...

එයා හරිම අමුතු ආකර්ෂණයක්.

ඇයි එයා එච්චර ලස්සන වුණේ...

මෙනත් අයියා...

මටත් නොදැනීම මගේ අත මේසය හරහා ගිහින් එයාගේ ඇඟිලි ගාව නතර වුණා.

ඇති වුණ චූටි ස්පර්ශය නිසා ගැස්සුණ මෙනත් අයියා මං දිහා බැලුවා.

මම එක පාරට ගල් වුණේ කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුවයි.

'මල්ලි... මොකක් හරි ප්‍රශ්නයක්ද?' මෙනත් අයියා මගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලමින් ඇහුවා.

මම කෙළ ගිල්ලා. 'නෑ... නෑ... මගේ ඔළුව රිදෙනවා... ඒකයි.'

'අපි ඉක්මනට කාලා යමු...'

මම ඔළුව වැනුවා.

මගේ ඇත්තම ප්‍රශ්නේ වුණේ ඔළුව රිදුණ එක නෙවෙයි කියලා මම දැනන් හිටියා.

එහෙනම් මොකක්ද ඒ ප්‍රශ්නේ?


__________________

'ඔයාටත් පුළුවන්.'

'වෙන්න ඇති.'
_________________

Meraki

2021 - 12 -20

ᴍᴇʀᴀᴋɪ - ʙʟ [completed]Where stories live. Discover now