~=අම්බර 7 =~

371 81 22
                                    

'' සැබවින්ම !!!! මට නම් මෙය වටහා ගත නොහැකියි !! .. විශ්වගුප්ත ආශ්‍රමයට යන මෙය වගද ඔබ පවසන්නේ ? '' ආයුධාන විමසුවේ සිය සොයුරා වෙතද රවමිනි. ඉදින් දැන් වාග්ෂස පවසන පරිදි නම් විශ්වගුප්ත ආශ්‍රමය මේ මහා ඝන කැලෑවක් මධ්‍යයේ පිහිටා තිබිය යුතුයි ????

'' නුඹ නිහඩවනු යුදවි !! නමුත් මෙයයි ස්ථානය.. '' වාග්ෂසද තරමක නොඉවසිල්ලෙන් පැවසුවේ තුරුලතාවන්ගෙන් ගහන වනය දෙසට නොරිස්සුම් බැල්මක් හෙලමිනි.

'' ආහා.. එසේද ? පෙන්වනු මෙහි මට විශ්වගුප්ත ආශ්‍රමය ? ආාා... විශ්වගුප්ත ආශ්‍රමය නුඹ කොහි ද ? මේ ගල යට ද ? නැතිනම් මේ කොළරොඩුවලට සැගවී ගියාදෝ ? '' ආයුධාන සිය සොයුරාව සිතාමතා ඇවිස්වූයේ ය.

'' නුඹ නම්- ෂ්ස්ස්... '' වාග්ෂසගේ තියුණු දෑසෙහි ක්ෂණික කල්පනාකාරී බවක් ඇදී යනු ආයුධාන බලා සිටියේ ය. අවට වාතයේ වෙනස් වීම ආයුධාන ද හදුනා ගත්තේ සිය අසිපත ක්ෂණිකයෙන් සුරතට ගනිමිනි. ඊළග මොහොතෙහි දෙසොයුරා එකිනෙකාට පිටුපා හිස් අවකාශය වෙත අවධානය යොමු කොටගෙන සිටියෝ ය.

'' කවුරුන්ද ඔතැන ? '' වාග්ෂස විමසුවේ තවමත් සම්පූර්ණ සුවය ලබා නොසිටි ආයුධානයන්ව ආරක්ෂා කරගැනීමට තැත් කරමිනි. හාවක් හූවක් නැති තැන ඝන වනයම නිහඩව ගොසිනි. වාග්ෂසට වඩා තියුණු ඉවක් පිහිටි ආයුධානයෙන් ඊළග ක්ෂණයෙහි වම්පස පදුරු ගොල්ල දෙසට අසිපත අමෝරා පැන්නේ එහි වූ වෙනස ක්ෂිණිකයෙන් හදුනාගනිමිනි. සිය මළනුවන්ගේ අනපේක්ෂිත ප්‍රහාරය වටහා ගත නොහැකි වූ වාග්ෂස පිටුපසට පැන්නේ පදුරු ගොල්ල පිටුපස ආයුධාන තවකකු සමග පොර බදින වග වටහා ගනිමිනි.

තවත් කුමක් හෝ සිතීමට පෙර වාග්ෂසගේ ගෙලෙහි ස්පර්ශ වූ අසිපත ඔහුට සෙලවීමට තිබූ සියලු මාර්ග අහුරා දැමී ය. අසිපත ? !! නැත එය යාරයක් පමණ දිග වූ දණ්ඩක් වග පැවසීම වඩාත් නිරවද්‍ය වනු ඇත. නමුත් එහි දාරවල ඇති කැපෙන සුළු බව වාග්ෂසගේ ගෙලට හොදින්ම දැනේ . තමා මදක් හෝ ගෙල හැරවූවොත් හිස කදින්ම වෙන්ව යන වග සිතීමට ඔහුට දෙවරක් ඇවැසි නොවී ය. ඔහු එලෙසම තම අසිපත අතහැර දමා දෑත් ඉහළට එසවූයේ තමා යටත් වන බව හගවමිනි.

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now