පාසලේ අවසාන දවසේ ලියෝ සංගමයෙන් පැවැත්තවූ උත්සවය රාත්‍රිය වනතුරුම පැවතුණු අතර මම එහි කාර්යයන්හි කාර්යබහුල වී සිටි හෙයින් මෙහන්සා නිවසට ගියාද නැතිද යන්නවත් සොයා බැලීමට මට නොහැකි විය. අකිඳු හා හිමාෂ් දෙදෙනා මගේ දෙපසින් හිඳිමින් මට කළ යුතු දෑ ගැන කියමින් සිටි අතර මම කලබලයෙන් මෙහන්සාට කෙටි පණිවිඩයක් යැවීමට සමත් වීමි. ඉන් පැය භාගයක් ගත වූ තැන පවා ඇගෙන් මට පිළිතුරක් ලැබී තිබුණේ නැත.
'මිනිරු...' හිමාෂ් මගේ අතකට තට්ටු කළේය.
මම දුරකථනයෙන් හිස ඔසවා බැලුවෙමි. 'ම්ම්ම්?'
'ඔය ෆෝන් එක පැත්තකින් තියලා වරෙන් බං යන්න. අර අරහේ කට්ටිය බලන් ඉන්නවා ඔයා එනකන්.... මිනුලා ඉටිපන්දමත් අල්ලගෙන බලන් ඉන්නවා අපි දෙන්නා ඇවිත් පත්තු කරනකන්...' හිමාෂ් මගේ දුරකථනය අතකින් උදුරාගෙන එය විසන්ධි කර දැමීය.
මම සුසුමක් හෙළා ඔහු සමග උත්සව ශාලාවට පිය නැගුවෙමි. මිනුලා අතකින් ඉටිපන්දමත් අල්ලාගෙන පහන අසල සිටගෙන සිටියාය. මා දැකීමත් සමගින් ඇය මට රැවූයේ මම පමා වූ බව කීමට ඔරලෝසුවද හිසින් පෙන්වමිනි. මම උරහිස් අකුළා දැන් කළ හැකි කිසිවක් නොමැති බව ඇයට හඟවා සිටියෙමි.
අප වටා ඡායාරූප ගන්නා ශබ්ද පිරී යද්දී මාත් හිමාෂ් හා මිනුලා තිදෙනා පොල්තෙල් පහන දල්වාලූයෙමු. අප තිදෙනා මෙම වසරේ උසස් පෙළ කරනා නිසාවෙන් අපට නිල මණ්ඩලය අතහැර යාමට සිදුව තිබිණි. පළමුව තිබුණේ මගේ කතාවයි. ඉන් පසු නව නිලධාරී මණ්ඩලයට නිල ලාංඡන පැළඳවීම සිදුවිය. මම ඉදිරිපස අසුනක සිටි නිසාවෙන් මට මගේ දුරකථනය පවා පිටට ගත නොහැකි විය. ආරාධිත අමුත්තන් අතර කාර්යබහුල වද්දී මෙහන්සා පිළිබඳ සෙවිය යුතුය යන සිතුවිල්ල මගේ සිතින් කෙමෙන් වියැකිණි. එය අවසාන වන විට රාත්‍රී නවයට ආසන්න වූ අතර නිවසට යෑමට පෙර හිමාෂ් විසින් අපට ආහාර වේලක් ගෙන දෙන බවට පවසා සිටියේය.
YOU ARE READING
කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
Non-Fiction'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැ...