මට පියවි සිහිය පැමිණියේ මෙහන්සාගේ භූමදානයෙන් සති එකහමාරකට පසුයි. ඇය මිය ගිය බව පිළිගැනීමට මම අකමැති වුවත් මට කිරීමට වෙන කිසිවක් නොතිබිණි. මගේ දුරකථනය ඇය මිය ගිය දා පටන්ම විසන්ධි කර තිබූ අතර මම පාසල් ගියේ පවා නැත. ඇය නැතිව සාමාන්‍ය ලෙස දිනයක් ගත කළ හැක්කේ කෙසේදැයි මට කල්පනා කළ නොහැකි විය.
පියා විදේශගතව සිටි බැවින් ඇගේ මරණ පරීක්ෂණය නවත්වා දමා තිබිණි. ඇගේ මරණ පරීක්ෂණයෙන් පසුව අනිවාර්යෙන්ම පියාට යම් දඬුවමක් ලැබෙන බව මට විශ්වාස විය. ඇයට පහර දුන් සලකුණු ඇගේ සිරුරේ තිබිණි. පියා නැවත පැමිණි වහාම ඇගේ මරණ පරීක්ෂණය නැවත ආරම්භ වන තෙක් මම බලා සිටියෙමි. මෙහන්සාගේ කාමරය පොලිසිය විසින් නැවත වතාවක් විවෘත කර තිබුණු මුත් එහි යාමට තරම් මට සිතෙහි ශක්තියක් ඉතිරි වී නොතිබිණි. රෝහලින් නැවත මා නිවසට රැගෙන විත් දින තුනකට පසු මම සිතට ශක්තිය ගෙන ඇගේ කාමරයේ දොර හැඩලය අතින් අත තබා දොර විවෘත කළෙමි.
මම දොර අරිනා විට ඇය ඇඳ මත ගුලිව සිටී යන බලාපොරොත්තුව මගේ සිතේ කොණක ගුලි වී තිබූ මුත් කාමරයේ කිසිවෙකුත් සිටියේ නැත. ජනේල තිර පහළට ඇද තිබූ හෙයින් කාමරය අන්ධකාරයේ ගිලී තිබිණි. මම කාමරයේ දොර අඩවන් කර ඇගේ ඇඳ අසලට සෙමෙන් පිය නැගීමි. ඇගේ ඇඳ අවුල්ව ගොස් තිබූ අතර මම එහි රැළි මතින් අත යවා යන්තමින් එය මට්ටම් කළෙමි. මෙහන්සා නැවතත් මෙම කාමරයේ නිදා නොගන්නා බව සිහි වීමෙන් මට දැනුණේ උගුරේ කෙළ ගුලියක් සිරවන්නාක් මෙනි. එදින උත්සවයට යෑම පිළිබඳව වරදකාරී හැඟීමකින් මගේ සිත පිරී තිබුණේ නිතැතිනි. මම එදා එයට නොගියා නම් මට ඇය පිළිබඳව අවධානයෙන් සිටීමට හැකි වෙනවා නේද යන්න මගේ සිත ආක්‍රමණය කර තිබිණි. ඇගේ මරණය සම්පූර්ණයෙන්ම මගේ වරදක් විය. ඇයට උවමනා ආරක්ෂාව සලසා දීමට නොහැකි වීම, ඇයට අවැසි තරම් අවධානය ලබා දීමට නොහැකි වීම මගේ වරදක් විය.
YOU ARE READING
කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]
Non-Fiction'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැ...