කඳුළැලි - 14

724 178 65
                                    

තාත්තා ලංකාවට පැමිණියාට පසු දින මම පාසල් ගියෙමි. පාසල් ගියාට වඩා එය තාත්තා බලහත්කාරයෙන් මා පාසලට ගෙනගොස් දැමුවාක් වැනි තත්වයක් විය. මට පාසල් යෑමට කිසිඳු අවශ්‍යතාවයක් නොතිබිණි. මෙහන්සා ජීවත්ව සිටි කාලයේ ඇය ගැන නොබැලූ මිනිසුන් දැන් ඇය ගැන බොරු අනුකම්පාවක් දක්වාවි යන්න පිළිබඳව මම බියපත්ව සිටියෙමි.

ඒ ඇරත් නැවතත් සහේෂ්ව මුණ ගැසීම?

ඔහු මෙහන්සා පිළිබඳ කැමැත්තෙන් සිටි නිසාවෙන් නැවතත් ඔහුට මුහුණ දීමට මා තුළ වූයේ බිය මුසු ලැජ්ජාවකි. කෙසේ මුත් පාසල් ගේට්ටුවෙන් ඇතුළට ගිය පසු මගේ චකිතය මදක් අවම විණි. එදින උදෑසන මම ශිෂ්‍ය නායක කාමරයට නොගොස් කෙලින්ම පන්ති කාමරය කරා ගියේ ශිෂ්‍ය නායක කාමරයට ගියහොත් පසන් අයියාගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට සිදු වන නිසාය.

මම පන්තියට ඇතුළු වද්දී මගේ මුහුණට මුණ ගැසුණේ සහේෂ්වයි. මම සිනහවක් නගා ගැනීමට තැත් කළද ඔහු මා දෙස යන්තමින් බලා කිසිවක් නොකියා එතැනින් පිටව ගියේ මා නොදුටු ලෙසිනි. මගේ හදවත ඇදුම් කන්නට වූ මුත් මම කිසිවක් නොඅඟවා දොරින් ඇතුළට අඩිය තැබීමි.

'අන්න ඇවිත්...' කිසිවෙකු හෝ මුමුණද්දී පන්තියේ සිටි සියල්ලන් හිස ඔසවා බැලීය. මම එය නොදුටු ආකාරයකින් සහේෂ් හා මම සාමාන්‍යයෙන් හිඳගන්නා අසුන කරා ගියත් කිසිවෙකු මගේ පිටට තට්ටුවක් දැමූ හෙයින් මම පසුපස හැරී බැලුවෙමි.

එතැන සිටගෙන සිටියේ ෂනල්කයි. මම ඔහු දෙස බලා සිටියේ කිරීමට හෝ කීමට කිසිවක් සිතට නොනැගුණු හෙයිනි.

'අද මං ඉන්න තැනින් වාඩි වෙන්න. වෙනසකටත් එක්ක?' ඔහු යෝජනා කර සිටියේ මගේ උරය මතින් මෘදුව අතක් තබමිනි.

අප දෙදෙනා ළඟම මිතුරන් සිටව නැත. එනමුත් සහේෂ් අසල සිටිමින් තැවෙනවාට වඩා ෂනල්ක සමග හිඳගෙන නව මිතුදමක් නගා ගැනීම වඩාත් උචිත වේ යැයි මට සිතිණි. මම හිස වනා ගොස් ඔහුගේ එහා පසින් බෑගය තබා හිඳ ගත්තෙමි. කිසිවෙකු හෝ පැමිණ මෙහන්සා ගැන විමසාවි යන බිය මා තුළ තිබුණද පළමු කාලච්ඡේද හතර තුළම කිසිවෙකුත් මා හමුවීමට පැමිණියේ නැත. අවම වශයෙන් ගුරුවරයෙකු හෝ මා පාසලට නැවත පැමිණීම ගැන විශේෂ අවධානයක් නොදුන් නිසා මට දැනුණේ සහනයකි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now