කඳුළැලි - 20

1.4K 302 76
                                    

'යෙහෙනි යුහන්සා?' 

කිසිවෙකුත් යෙහෙනිගේ නම කියනා ආකාරය මට සිහිනෙන් මෙන් ඇසිණි. මම කෙළ ගුලියක් ගිල අනෙක් පස හැරුණෙමි.

'පේශන්ට් යෙහෙනි යුහන්සා සමරසිංහ!' 

මම තිගැස්සි දෑස් විවර කළෙමි. පත්‍රිකා ගොනුවක් අත තබා ගත් වෛද්‍යවරයෙකු යෙහෙනිගේ නම පවසමින් සිටියේය. මම අත එසවූයෙමි.

ශනල්ක මගේ උරය මත නින්දට වැටී සිටියේය. වේලාව උදෑසන අටට පමණ ආසන්න වූ අතර පාන්දර එකට පමණ රෝහලට පැමිණි අපි දෙදෙනා මේ තරම් වේලාවක් සීතල යකඩ පුටු මත එකිනෙකාට තුරුළු වී සිටියෙමු.

වායු සමීකරණ නිසා ‌රෝහල් පරිශ්‍රය සීතල වූ අතර අපි දෙදෙනාම ඇඳ සිටියේ රාත්‍රියට නිදාගන්නට ඇඳ ගත් කොට කලිසම් වලින් හා කමිස වලිනි. මගේ මුළු කමිසය පුරාම රුධිරය තැවරී තිබුණද ඒ පිළිබඳව තැකීමට මට වේලාවක් ලැබුණේ නැති තරම්ය.

වෛද්‍යවරයා අප දෙදෙනා අසලට පැමිණෙන විට මම ශනල්කට තට්ටුවක් දමා ඔහුව අවදි කරවූයෙමි. 'ඒයි...' 

ශනල්ක අඩ නින්දෙන්ම මගේ ගෙලට තවත් හිස තද කළේය. මම ඔහුව අවදි කිරීමට තවත් තට්ටුවක් දැමුවේ වෛද්‍යවරයා නොඉවසිල්ලෙන් මෙන් අප දෙදෙනා දෙස බලා සිටි නිසයි. 

'‌ඩොක්ටර් ඇවිත් ශනල්ක..' මම ඔහුගේ කනට කෙඳිරුවෙමි. 

ශනල්ක තිගැස්සී අවදි විය. අපි දෙදෙනා එක්වරම නැගී සිටියෙමු.

වෛද්‍යවරයා උගුර පෑදුවේය. 'ඔය දෙන්නා පේශන්ට්ගේ කවුද?' 

'අයියා.' ශනල්ක පැවසුවේය.

'මස්සිනා.' මම එය වැඩිදුර නොහිතා පිට කළද එක්වරම මට මහත් ‌මෝඩ ගතියක් දැනිණි. 

ශනල්ක මගේ අතක් මිරිකුවේය. වෛද්‍යවරයා කිසිවක් නොකියා ඔහු අත වූ වාර්තාව දෙස බැලීය.

'පේශන්ට්ව අරගෙන එද්දි එයාගේ හාට්බීට් එක නතර වෙලා තිබුණේ. පපුවට තදබල ප්‍රහාරයක් වැදිලා තියෙනවා. ලොකු තැලුම් පාරක් ‌හිටලා තියෙනවා වගේම ඉළ ඇට වලටත් හානි වෙලා.'

ශනල්ක මගේ අත තවත් තදින් මිරිකද්දී මම අසරණ ලෙස ‌බිම බලාගත්තෙමි. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now