කඳුළැලි - 35

1.1K 258 109
                                    

ශනල්කගේ මළ සිරුර බැලීමට අපට අවසර නොලැබුණේ ඔහුගේ සිරුර බැලිය නොහැකි තරම් විනාශ කර ඇති බව මරණ පරීක්ෂකවරයා පැවසූ හෙයිනි. කෙසේ නමුත් ඔහුගේ මරණය දැන ගැනීමෙන් පසුව පාසලේ අප හා එකට ඉගෙන ගත් සෑහෙන පිරිසක් අප ජීවත් වූ නිවස කරා පැමිණියේ ඔවුන්ගේ ශෝකය පළ කර සිටීමටයි. ‌මම කිසිවෙකුත් සමග කතා කිරීමට නොහැකි තරමට කම්පාවෙන් සිටියදී යෙහෙනි සියල්ල ඇගේ අතට ගෙන මනාව පාලනය කළාය. 

ඔහුගේ මරණයට ශෝකය පළ කිරීමට සමීරා ඇතුළු පිරිස පැමිණියේ යෙහෙනිත් මමත් නිවස පිරිසිදු කරමින් සිටි අවස්ථාවකදීය. ඔවුන් සතර දෙනෙකු පැමිණ වාහනයෙන් පිටට පැමිණි විට යෙහෙනි මා දෙසට වෙහෙසකර බැල්මක් හෙළා කොස්ස පසෙකින් තැබුවාය. 

'හායි...' සමීරා ඇගේ අත වූ කළු පැහැ බෑගයක් මේසය මතින් තැබුවාය. 

යෙහෙනි මගේ අතක තිබූ රෙදි කැබැල්ලද ගෙන මුළුතැන්ගෙයට ගියාය. සමීරා පසුපසින් පැමිණි සජිනි මගේ උරයක් මතින් අත තබා උරය යන්තමින් මිරිකුවාය.

'එයා නැතුව...' ඇය කිසිවක් කීමට තැත් කළද සජිනිගේ පිටට තට්ටු කළ දිලුම් ඇයට නිහඬවන ලෙස සන් කළේය. 

යෙහෙනි මුළුතැන්ගෙයි සිට සාලයට පැමිණ මුව තදකොට ගෙන අමුත්තන් දෙස බැලුවාය. 'ඔයාලා මොනවද බොන්නේ? තේ? කෝපි?' 

සජිනි යෙහෙනි දෙස බලා සිටියේ අනුකම්පාව කැටි දෑසින් යුතුවයි. යෙහෙනි දොර දාරය තදින් අල්ලාගෙන අමුත්තන් දෙස බලා සිටියාය. 'මම තේ හදන්නම්?' 

මම එය අනුමත කිරීමට හිස වැනූ විට යෙහෙනි මුළුතැන්ගෙයට නැවතත් අතුරුදහන් වී ගියාය. සමීරා සුසුමක් හෙළුවාය.

'සඳරුවනි අක්කා කිව්වා ශනල්කගේ නංගි ඇඬුවෙවත් නෑ කියලා. මම විශ්වාස කළේ නෑ. ඒත් දැන් නම් විශ්වාස කරන්න වෙනවා වගේ.' 

'මිනිරු... එයාව හොඳට බලාගන්න. ඔහොම දුක හිර කරගෙන ඉඳලා මෙහන්සා බබා නැති වුණා වගේ යෙහෙනිත් මොනවා හරි කරගනියි...' 

'මෙහන්සා?' මම වදන් හිරකර ගනිමින් විමසුවේ මෙහන්සා පිළිබඳව ඔවුන් දැනගත්තේ කෙසේද යන්න විමසිය යුතුය බැල්මත් සමගයි.

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now