කඳුළැලි - 54

1.2K 226 120
                                    

සියල්ල සිදුවී වසර තුනක් ගතව ගොස් තිබිණි.

'මිනුරි දෙවන්මා ගමගේ සහ ශනල්ක විහාන් සමරසිංහ යන ඔබ දෙපළ...' මට කන වැකුණේ එපමණකි. මුළු ශාලාවේම සිටි මිනිසුන් මහත් හඬින් අත්පොළසන් දෙන්නට වූහ. 

ශනල්ක මගේ අත රන් පැහැ මුදුවක් පැළඳුවේය. මගේ ඇස් අගට කඳුළු බේරි එද්දී ශනල්ක මෘදුව මගේ දෙතොල් සිප ගත්තේය.

මිනුරි දෙවන්මා, ඒ මගේ නම විය. 

යෙහෙනි සමග දික්කසාද වීමෙන් පසුව මට උවමනා වූයේ මගේ දරුවන් දෙදෙනාට හොඳ අනාගතයක් හා සාර්ථක පවුල් ජීවිතයක් ලබා දීමටයි. ඒ හෙයින් ගත් තීරණයෙන් මම මගේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට තීරණය කළෙමි. ශනල්ක මට විරුද්ධ නොවීය. වසර එකහමාරක පමණ වෑයමකින් පසුව අවසානයේ මට උවමනා වූ සැබෑ ‌දෙය මට ලැබී තිබිණි. කුඩා කළ සිට මම ගැහැනු ළමයෙකු මෙන් ඇඳීමට දැක්වූ ප්‍රියතාව ආදිය තව තවත් සමාජයට පැහැදිළි කර දීමට මට අවැසි නොවිණි. 

විහන්‍යා සහ මිරේෂ් දෙදෙනාගේ පියා ලෙසින් ශනල්ක නම් වෙද්දී මම ඔවුන් දෙදෙනාගේ මව වුණෙමි. ශනල්ක නැවතත් පැමිණ දැන් වසර තුනහමාරක් පමණ ගතව තිබූ අතර යෙහෙනි ඇගේ නිරූපිකාවක වීමේ සිහිනය සැබෑ කරගන්නට විදේශගත වූවාය. 

විවාහ උත්සවයට පැමිණ සිටියේ අපේ ව්‍යාපාරයන්වල සේවක සේවිකාවන් පමණකි. යෙහෙනිගේ මව දරුවන් දෙදෙනාද සමගින් උත්සවයට සහභාගී වූ අතර යෙහෙනිට උත්සවයට පැමිණීමට නොහැකි වූයේ ඇගේ නිරූපණ උත්සවයක් පැවතුණු හෙයිනි. නෙතිල් සහ ඔහුගේ දෙමව්පියන් සහ ‌වෛද්‍ය නිලූකාද සහභාගී වූ අතර උත්සවය අපේ ව්‍යාපාර ගොඩනැගිල්ලේම රැස්වීම් ශාලාවේ කුඩා ලෙසින් ඉතා සරල ලෙස පැවැත්විණි. සුදු පැහැ චාම් සාරියක් උදෑසන මගේ ඉණ වටා වෙ‌ලෙන විට මට දැනුණේ මගේ හදවත ප්‍රීතියෙන් ඉපිළී යන ආකාරයයි. 

'අම්මා!' විහන්‍යා පැමිණ මගේ ඉණට වටා දෑත් යවා මා වැළඳ ගත්තාය. මම ඇයව වඩාගත් විට ශනල්ක මිරේෂ්ව ඔහුගේ දෑත් අතරට ගත්තේය. 

කොහේදෝ සිට පැමිණි ඡායාරූප සංගමයේ දනිඳු අපි සතර දෙනාගේ ඡායාරූපයක් ගත්තේය. දෙවන ඡායාරූපයේ සිටියේ අපි සතර දෙනා සහ යෙහෙනිගේ මවයි. 

කඳුළැලි | tears | Sinhala BL [COMPLETED]Where stories live. Discover now