අදත් එදා වගේම දවසක්. අද වගේ දවසක තමයි අපි දෙන්නට දෙන්නා ආදරේ කියා ගත්තේ. එදා වගේම අදත් හොඳටම වහිනවා. සමහරවිට ඒ දවස මතක් වෙන්න ඕන නිසාම එහෙම වෙන්න ඇති කියලයි මට හිතුනෙ. කවුරුත් නැති මේ පාළු ගෙදර ඇතුලේ මං තනි වෙලා උනත් ඒ තනිකමට මං දැන් හුගක් පුරුදු වෙලා. මං ආසම ඒ තනිකමට.
පරිසරය හුගක් සීතල නිසා තේ එකකුත් හදන් ඇවිත් මම පිළිකන්නෙන් වාඩි උනා. ගේ ඉස්සරහම තියෙන මාර ගහේ කහ කුරුල්ලෝ දෙන්නෙක් ලොකු අරගලයක. ධාරානිපාත වැස්සක් උනත් ඔවුන් දෙන්නා එකිනෙකාගෙ ළගට වෙලා නොතෙමී ඉන්න උත්සාහ කරනවා. මට හිතුනෙම උන් දෙන්නා වගේ මොන ප්‍රශ්නෙ ආවත් අපි දෙන්නටත් එහෙම එකට ඉන්න පුළුවන් උනා නම් කියලා.
තේක බිබීම මම කල්පනේ කරේ අපේ ලස්සන මතකයන්. ඔයා දන්නවද මැණික?
මට අමාරු ඔයාව අමතක කරන්න නෙවෙයි....
ඔයා එක්ක පිස්සුවෙන් වගේ ඒ කියවපු වචන....
ඔයා මට කිව්ව දේවල්....
ඔයාට මාව ඕන උන විදිය....
ඔයා මාව ළගින් තියන් පරිස්සම් කරපු විදිය මතක් වෙන එක දරාගන්නයි....
මම දන්නවා මං ඔයාට ඇබ්බැහි වෙලා කියලා. ඒ තරමටම මං ඔයාට ආදරෙයි. ඔයාගෙ පුංචි වෙනස් කමත් මට දැනුනේ නෑ කියන්න බෑ මැණික....
ඒ දේවල් දැන දැනත් මේ හිත ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරා....
තාමත්....
ඔයා දන්නවද?
මං ඔයාට මුළු හදවතින්ම ආදරේ දෙද්දි ඔයා කරේ මාව පණ පිටින් වළලන්න හදපු එක... උඹ මාව නොසලකා හැරපු හැම තත්පරේකම මාව බාගෙට පිච්චුනා මැණික... උඹ දන්නෙ නැද්ද මනුස්සයෙක්ට බෑ ඒ විදියට හැමදාම මැරෙන්න.
මාත් උඹ වගේ කෙල්ලෙක් මැණික... ඒ හැම වේදනාවක්ම මේ හිත අස්සෙ තියන් දරා ගත්ත....
මට ඔයාට කියන්න ගොඩක් දේවල් තිබුනා... ඒත් ඒ දේවල් ඔයාට අහන්න උවමනාවක් තිබුණේ නැහැ... ඉතින් මම නැවතුනා... අදටත් මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා... ඒත් ඒ සේරම එහෙමම තිබුනදෙන් කියලා මම නිහඬව ඉන්නවා... මොකද ඒවා අහන්න ඔයාට උවමනාවක් තිබුණේ නෑ වගේම මට දැන් ඒවා කියන්න උවමනාවක් ඇත්තෙම නෑ....
මගේ ආදරෙත් කතා පොතක් වගේ කියලා මට හුගක් වතාවන් වල හිතිලා තියෙනවා...
මම ඒ පොතේ පිටු වෙද්දි උඹ ඒකෙ වචන උනා මැණික...
මගේ නමින් ඒ ආදරණීය පොතේ උඹ ලස්සනට වචන ගැලපුවා....
ඒත් මොකක් හරි හේතුවකට පොතේ පිටු කිහිපයක් ලියද්දිම උඹේ වචන ගොළු උනා...
මට තාමත් හිතා ගන්න බැරි උඹගෙ වචන ගොළු උනාද එහෙම නැත්නම් උඹේ ආදරේ ගොළු උනාද කියල....
දන්නවද මැණික... නිමක් නැතිව නැවතුන ඒ කතා පොතේ අදටත් ආදරණීයම පිටු ටික තමයි ඒ....
ඒ වචන අස්සේ මං තාමත් රහසින් හූල්ලනවා....
උඹ මට කියලා දුන්නා... අයිතියක් නැති හීන ගැන වගේම අයිතියක් නැති වෙන් වීම් ගැන...
ඉතින් ළමයෝ මම නතර උනා...
ඔයා මාව නවත්තන්න උත්සාහ කරපු අවස්ථාවේ....
රිදවන්න රිදවන්න මිනිස්සු දරා ගන්න පුරුදු වෙනවා වගේම අවසානයේ හැම දෙයක්ම අත් හරින්න ඒ මිනිස්සු පුරුදු වෙනවා...
මැණික උඹ දැන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. බොහොම පරිස්සමෙන් සතුටින් ඔයාගෙ පවුල එක්ක හැමදාම ජීවිතේ ගත කරන්න.
උඹ එන්නෙ නෑ කියලා දැන දැනත් මේ හිත නුඹව හදවතේම තියන් පරිස්සම් කරනවා...
නුඹේ ආදර වචන වලින් ලස්සන කරපු පොතේ උඹට වෙන් වුනු පිටු හැමදාටම හරි පරිස්සමට හිස්ව තියෙයි....
ඉතින් මම නුඹව සඳහටම මගෙන් නිදහස් කරනවා...
ඉතින් සොඳුරිය...
ජීවිතේ කියන්නෙම හමුවීම් වෙන්වීම් වලට...
ඇස් අස්සේ කඳුළු පුරවන් හිනා වෙන එකට...
කටින් නොපවසන රහස් ඇස් වලින් මුමුණන එකට...
එකට හිනා වෙන්න බැරි උනත් නොකියාම යන්න යන එකට...නොකියාම යන ඒ මිනිස්සු අවාරයේ මුණ ගැසුනත් ආදරයෙන් සමු දෙන එකට...
මම හැමදාමත් නුඹට ආදරෙයි...
෴ නිමි ෴
හී කොහොමද ඉතින්... ඇත්තටම මෙහෙම එකක් ලියන්න නෙවෙයි හිටියේ... ඔය තද කළු අකුරින් දාපු ටික පෝස්ට් එකක තිබුනා... ඒක දැකලා තමයි මට මේක ලියන්න හිතුනේ... හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න...