~= අම්බර 17=~

321 63 19
                                    

සය මසකට ප්‍රථමව කිසිවක් නොදත්තකු සේ විදී මධ්‍යයේ දැස් විවර කළ විට , සිය දෙනෙට හසුවූ නීල පැහැ ගගන දෙසටම අම්බර මෙවරද දෑස් යොමු කළේ ය. නීල පැහැය රාත්‍රී අහස විසින් සොරාගෙන තිබුණද සදේ අවෑමෙන් තරු පිරිවර අහස් කුස නම් අයස්කාන්ත දර්ශනයක් විය. විදී අතර ගිණිකෙළි ද නොඅඩුය. නමුත් සියල්ල මගහැරි අම්බර අවසානයේ අතහැර දැමූ යුධාන්ථ රජමැදුරෙහි විසක් එක්ටැම් ගෙයට නැග තිබුණි. මුළු නගරයම පාහේ අම්බරගේ දෙනෙත් ඉදිරියේ ය.  හේ දෑතින්ම සිය දෙසවන් තද කොට වසාගත්තේ දෑස් තදින් පියාගනිමිනි.

'' කුමක් වුවත් කම් නොවේ. සිහිපත් වෙන්න !! සිහිපත් වෙන්න !!! '' අම්බර වේදනාවන් තමාටම අණ කළේ ය. හිස පුපුරා යන තෙක් විඩාබර වුව තමා දෑස් හරින විට දුටු නීල අම්බරයෙන් ඔබ්බට යමක් අම්බරට සිහිපත් නොවී ය. විජ්‍රා තමාව රැකබලාගත් ආකාරය මිස අන් කිසිවක්ම ඔහුට සිහිපත් නොවේ. අවම වශයෙන් තමාගේ විසි දෙවසරක් ගෙවුණු අයුරක් හෝ ? .. තමා සසධාර් වග හෝ ඔහුට කිසිදු ලෙසකින් හො නොදැනේ.. සසධාර් හා තමාගේ දිවිය අතර ඇත්තේද ඉවත් කළ නොහැකි තරමේ විසල් පවුරක් වග අම්බර දනී. එවිට වාග්ෂස ? වාග්ෂස කෙරේ සිය සිත්හි වූ නුහුරු හැගීම අම්බරට බේරාගත නොහැකි තරමේ වූ පැනයකි.

එක්ටැම්ගෙයි අට්ටාල පියගැටපෙළින් නැගුණු කලබලකාරි පියවර හඩින් අම්බර තිගැස්සී ගියේ ය. අඩ අදුරට දෑස් හුරුවත්ම එකී රක්ත පැහැ සළු පිළි අම්බරගේ දෑස් යන්තමින් හදුනාගත්තේ ය. තමා දක්නට බලාපොරොත්තු වූ ස්වේත-නීල සළු පිළි වෙනුවට රත් පැහැ ආයුධායන්ගේ සළු පිළි අම්බරගේ හිසට තවත් විඩාවක් විය. ආයුධානගේ කලබලකාරි පියවර ක්‍රමයෙන් මන්ද්‍රා මාළිගයේ සෙන්පති මැයෙන් සන්සුන් හා ගැඔුරු වනු අම්බර අසා සිටියේ ය. වදනක් හෝ මුවින් පිට නොවුනද ආයුධාන නිහඩවම පැමිණ කැඩී බිදී ගිය විසල් කවුළුව අසළ ශිලා බිත්තියට හේත්තු වනු අම්බරට දැනිණ.

අායුධානයන් හා ප්‍රථම හමුවේදි අම්බරට ඇත්තේ කිසිසේත්ම යහපත් මතකයන් නම් නොවී ය. අම්බර කලබලයෙන් නැගී සිටියේ ආයුධාන වැනි ප්‍රේමඋන්මන්තකයෙකු හා තනිව සිටීම කෙලෙසකවත් නුවණට හුරු නොවූ වග තමාටම පවසා ගනිමිනි. නමුත් .... ආයුධානයන් පසු කරන්නට හෝ අවස්ථාවක් අම්බරට නොවිණ. ආයුධානගේ දැඩි ග්‍රහණය අම්බරව එතැන්ම නවතාලූයේ ය. හදිසි කෝපයෙන් අම්බර හස්තය ගසා දැමීමට තැත් කළද ආයුධාන එවර සිය ග්‍රහණය තවත් දැඩි කරමින් අම්බරව තමා දෙසට ඇද ගත්තේ ය.

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now