බින්ගෝ...
අදත් හැමතැනම හෙව්වා ඔයාව... ඔයා නෑනේ....
බින්ගෝ දන්නවද... මම බින්ගොට ගොඩක් ආදරෙයි...
මොකද බින්ගෝ තමයි මාව තේරුම්ගත්ත කෙනා...
බින්ගෝව මම දැකලා තියෙනවා... ඒත් මොකක්දෝ හේතුවකට, බින්ගෝ මට හරි ආගන්තුකයි...
"තාත්තගෙ ප්‍රින්සස් කොහෙද ගියේ?"
"මොකක්ද උනේ ප්‍රින්සස්ට?"
"ප්‍රින්සස්ට මතකද ඉස්සර ප්‍රින්සස්ගෙ රූම් එකම බේබි බ්ලූ කලර්... ටෙඩියො පිරීලා..."
"හත වසරට එනකන්ම ප්‍රින්සස්ගෙ සපත්තු මේස් පවා දැම්මෙ තාත්තා නේද?!"
බින්ගෝ මොනවා කියනවද මන්ද....
දැන් මගේ කාමරේ ලස්සනයි නේ බින්ගෝ... ඇඳයි කණ්ණාඩි මේසෙයි කබඩ් එකයි...
ඉස්සර වගේ සෙල්ලම්බඩු තියන් ඉන්න මම බබෙක් නෙවෙයිනෙ බින්ගො...
දන්නවද බින්ගෝ... කාමරේ අඳුරු උනාම නිදහස වැඩියි...
"ප්‍රින්සස් කැමති නම් ඒකට කමක් නෑ..."
ඔයා කියන දෙයක් අහන්නෙම නෑ නේද බින්ගෝ....
ප්‍රින්සස් කෙනෙක් නෙවෙයි මම...
ඇයි බින්ගෝ මම ප්‍රින්සස් කෙනෙක් උනේ... මට ඕන ප්‍රින්ස් කෙනෙක් වෙන්න...
"එහෙනම් මම ප්‍රින්සස්ට කොහොමද කතා කරන්න ඕන?"
නිකෝ... බින්ගොට පුලුවන් ද මට නිකෝ කියලා කතා කරන්න?
"ඒත් ඒක ප්‍රින්සස්ගෙ නමනේ... ප්‍රින්සස් ආස නැද්ද නික්නේම් එකකට?"
එපා බින්ගෝ... මම නිකෝ... නිකෝ කියන්න මට...