අටවන කොටස

195 41 6
                                    

අටවන කොටස

පැය ගණනාවක් යැයි හිතෙන කාලයකට පසු උමා, වේදාන්ත නිවස ඉදිරියේ වූ අඹ ගස යට හිඳ ගෙන සිටි තැනට පැමිණියාය.

මඳ සුළඟට ඇය උඩුකය වසා සිටි සළුව එහෙ මෙහේ සෙලවිණි. "-කීයටද ගෙදර ඇතුලට එන්නේ කියලා අම්මා අහනවා...-"

සඳේ මඳ ආලෝකයෙන් පවා සොහොයුරියගේ මුහුණේ වූ වේදනාබර ගතිය වේදාන්තට පෙනේ. සිය සොයුරිය දෙස බලා, කීමට යමක් සිතාගත නොහැකි වූ ඔහු ඇගේ අතින් අල්ලා ගති.

"-ඇයි අපිව මගහැරලා ඈත්වෙන්න හදන්නේ වේදාන්ත?-"

හිස දෙපසට සැලූ වේදාන්ත ඊළඟට පිට කරන්නට යන වචන සිය හදවත දෙපලු කරන බව දැන දැනම එහි වේදනාවට සූදානම් වන කලෙක මෙන් දෑස් පියා ගත්තේය.

"-මට ලැජ්ජයි මං ගැනම... මං ගැන විතරක් නෙමෙයි - හැම දෙයක් ගැනම මට ලැජ්ජයි, උමා අක්කණ්ඩි!-"

උඹ මගේ මල්ලි... මොහොතකට කෝපය පැත්තකට කර දැමූ උමා ඉවසිල්ලෙන් කියා සිටියාය. සටනට ගිහිල්ලා පණපිටින් ආවෙ නැතුවද? ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි වේදාන්ත!

"-සටන් කරන්නේ ගිය ආසාවෙන් නෙමෙයි... පුහුණු කඳවුරේ දක්ෂම ශිෂ්‍යයෙක් හැටියට වගකීමක් තිබුණු හින්දා..-" ඒ වචන කටින් පිටවූයේ වක්කඩ කැඩුවාක් මෙන් වේගයෙනි.

උමා සිය බාල සොහොයුරාගේ අත තදින් මිරිකා ගත් නමුත් කිසිත් පැවසුවේ නැත.

සොහොයුරියගේ නිහඬ බව නිසාම වේදාන්ත දිගටම කතා කරන්නට පටන් ගත්තේය. "-කෝසල රටේ මිනිස්සු කඩු උස්සගෙන එනව දැකපු පළවෙනි මොහොතෙදිම මට යුද පිටියෙන් හැරිලා ආපහු එන්න හිතුනා! ආවේ නැත්තේ නන්ද ඉදිරියේ බියගුල්ලෙක් වෙන්න බැරි හින්දා... නන්දව ආරක්ෂා කරන්න ඕන හින්දා!-"

වේදාන්ත අතකින් මුහුණ පිස දමා ගත්තේය.

"-පොඩි මල්ලිත් එක්ක මේ ගැන කතා කළාද වේදාන්ත?-"

ඔව් කියා අඟවන්නට සෙනවිතුමා හිස ඉහළ පහළ වැනුවේය. "-එතකොට අවුරුදු දෙකක් ගතවෙලා... තවදුරටත් යුද්ධ කරන්න මගේ හිතේ කැමැත්තක් නැහැ කියලා කිව්වහම නන්ද මාව වැළැක්කුවා... සටන් ශිල්ප පුහුණුව තියෙන මම වගේ කෙනෙක් අපේ රටේ සේනාව ආරක්ෂා කරන්න නවතින්න ඕනේ කිව්වා... එතකොට ඌට වයස අවුරුදු දාසයයි... යුද්ධ කරන්න පටන් අරගෙන අවුරුදු දෙකක් වෙනවා... නන්දට මට නොතිබුණු නිර්භීතකමක් තිබුණා!-"

අකාල | The TimelessWhere stories live. Discover now