ඇහැල

58 12 2
                                    

හත්වන දිගහැරුම .......................

පිච්චමල් ආරාමය තිබුනෙ කන්දක. මෙහෙ උදවිය ඒකට කියන්නෙ ගිනියකා කන්ද කියලා.
"ඇයි හිච්චි ආච්චි මේකට ගිනියකා කන්ද කියන්නෙ"
මම ඇහුවෙ මම කොහොමත් ගොඩක් දේවල් ගැන කුතුහලයෙන් ඉන්න නිසා.
"ඉස්සර මේ කන්දෙ ඔලුව ගිනිගන්න සුදු ඇදගත්ත සුදු රැවුලක් තියෙන වයසක කෙනෙක් සැරිසරලා තියේලු.
ගම්මු කියන විදිහටනම් ඒ ගම්භාර දෙයියන්ගෙ අවතාරයක්ලු.
ඒ අවතාරය දැක්ක මිනිස්සුන්ව සුවපත් කොරන් තියෙන්නෙ මේ පන්සලේ ලොකු හාමුදුරුවොලු
දීගකන්නෙ මහාවිමල අපේ හාමුදුරුවන් වහන්සේ.
හවස් යාමෙට මේ කන්දෙ ගාටන මස් වැද්දො ඒම තාම ඒ අවතාරෙ දකිනවැයි කියන්නෙ.
මේක දේව අඩවියක්.
පන්සලේ බල්ලෙක් බලලෙක්වත් හදන්න බෑනෙ.
පන්සලට එන ඔක්කොම බල්ලො බලල්ලු පස්සෙන් ගාට ගාට ගොයින් මේ කන්දෙන් පහලට වැටිලා දිවි හානිකොරගන්නවලු."
හිච්චි ආච්චි කීවෙ ඇස් දෙකත් ලොකු කරන්.
අපිත් ඉතින් ඇස් ලොකු කරන් අහන් හිටියෙ ගොඩක් ආසවෙන්.
සුමුදු දුවන් ගිහින් ළග තිබ්බ ගහකින් මොනවදෝ කඩන් ඇවිත් මගෙ කටේ එබුවා.
"මේ මොනාද ඇබුල්ම ඇබුල්." මම මූණත් ඇබුල් කරන් කියද්දි සුමුදු නළ දත් දෙකත් එලියෙ දාන් ඔලුවත් පැත්තට හරන් මන් දිහා බලන් හිටියා.
"දැළඹු ඇඹිල්ල"
එහෙම කියලා සුමුදු සුහස්නගෙයි නෙතුකැන්ගෙයි, සුමුදුගෙ අක්කගෙයි කටටයිත් ඒවා එබුවෙ පැන පැන ගිහින්.
"මේවට මල් බෙරි කියලත් කියනවා"
එහෙම කීවෙ සුමුදුගෙ අක්කා.
කන්ද දිහා බලන් හිටපු ඒ ඇස් දෙක දකින හැමවෙලේකම මට මතකෙට එන්නෙ මගෙ අම්මාව.
හෙතුව තේරෙන්නෙ නෑ සුමුදුගෙ අක්කා දකින කොට මට අම්මව මතක් වෙනවා.
ඒ කටහඩ හරිම නිවුනු හඩක්.සුමුදුගෙ වගේ ටකරං කටක් නෙමේ.
ඒ වචන භාවනාවක් වගේ.
"බලන්න අපි පිට රටින් බ්ලූ බෙරි කිය කිය මහ ගනන් දීලා ගෙන්නන්නෙ අපේ ලංකාවෙ කැලේ කොලේ හැදෙන ජාතිනේ...."
රතු වෙච්ච තොල් එහෙ මෙහෙ කර කර නෙතුකැන් ඒම කියද්දි ඒ තොල් දිහා මට තවත් බලන් ඉන්න බැරි වුනා.
"දැළඹු ඇඹිල්ල පාට තොල්................"
"බ්ලූ බෙරි වලට වඩා මේවා ඇඹුල් අනේ ." සුහස්න එහෙම කීවෙ නෙතුකැන් කියපු කතාවට එකග වෙන්නෙ නෑ වගේ.
"අපි අතීතකාමයෙන් මත් වෙන්න ඕනේ............" නෙතුකැන් එහෙම කියනකොටම සුමුදු නෙතුකැන්ගෙ පපුවට ගැහුවා.
"ඔන්න පටන් ගත්තා.
පණ්ඩිත කතා කියන්න එපා අයියේ.
ඔයැයිලට බැයිද මේ මගෙ පුංචි හිතට තේරුම් ගන්න පුලුවන් දේවල් කියන්න.
මම තාම චූටිනෙ.
උබලා වගේ ඉලන්දාරි නෙමේ මන්."
සුමුදු නලව නලව එහෙම කියනකොට අපි ඔක්කොම ඌ දිහා බලන් හිටියෙ ඌගෙන් ඇහැ ගන්න බැරි නිසා.
"මේ අපේ සුදු පුංචා අයියාටම් ඔය පණ්ඩිත කතා තේරෙනවා ඇති.
මෙයැයි කියෙව්වා මට කුණුහබ්බ කියලා දෙනවා කියලා.
තාම කියලා දුන්නෙ නෑනෙ අම්මපා නෙතුකැන් අයියේ.
මටත් දැන් මේම අහිංසක විදිහට ඉදලා එපා වෙලා අප්පා.
අදවත් මට කුනුහබ්බයක් කියලා දෙනවැයි සුදු පුංචා අයියේ???"
මම දිහා බලන් තොල නටව නටව සුමුදු එහෙම කියද්දි මට පොලොව පලන් යන්න හිතුනා.
"ඇත්තද සුදු පුංචෝ අපිටත් කියලා දෙන්නකෝ අනේ"
නෙතුකැන් මගෙ මූණට එබිලා කට කොනකින් හිනාවෙවී ඒම කියද්දි සරම ගලවලා ඔලුවෙන් හිටගත්තනම් මීට වඩා නම්බුකාරයි කියලා හිතුනා.
පන්සල ඇතුලෙ නිසා මම මුකුත්ම නොකියා හිටියා.
"නෑ නෑ මේ ඔයැයි එන්න එපා.
මම තනියම අහගන්නෙ .
ඔයැයිට ඕන්නම් වෙන දවසක අහගන්න " සුමුදු ඇඹරි ඇඹරි ගෑනි වගේ කියනකොට ඒක අහන් හිටපු සුමුදුගෙ අක්කා උගේ ඔලුවට ටොක්කක් ඇන්නෙ අපි ඉස්සරහමයි.
"ඒ බන් මේ මන් හෙට යනවා ඕයි.තොපි එක්ක තව හිටියොත් මගෙ ඔලුව විකාර වෙලා අංගොඩ නවතින්න වෙයි යකෝ"
සුහස්න ඒම කියනකොට සිරාවටම මට ඌ ගැන දුක හිතුනා.
අපි පන්සලේ ලොකු හාමුදුරුවන්ව හම්බෙන්න ගියේ බෝධි පූජාවත් තියලා.
මම පිරිත් කියන්න දන්නෙ නෑ සුහස්නයි මායි උඩ බලන් ඉදලා නැගිටලා ආවා.
නෙතුකැනුයි සුමුදුයි සුමුදුගෙ අක්කයි හරිම ලස්සනට පිරිත් ගාතා කීවා.
සුමුදුගෙ අක්කගෙ කටහඩ අහන් ඉන්න ඕනෙ කෙනෙක් වෙනම දැහැනකට සම වැදෙනවා.
"සුමුදුගෙ අක්කා වගෙ ගෑනු ලමයෙක් ලබන පිරිමි ලමයනම් ගොඩක් වාසනාවන්ත වෙයි නේද සයාශ් ??"
මගෙ කරට අත දාන් හිටිය සුහස්න ඒම අහනකොට මම ඔව් කියන්නා වගේ ඔලුව වැනුවා.
පන්සල් වත්තෙන් එලියට එන්න කලින් අපි ලොකු හාමුදුරුවෝ න්ව හම්බෙන්න ගියේ පි‍රිත් නූල් බැදගන්න.
මේ ආරාමෙ හරිම නිස්කලංකයි එහා පැත්තෙන් මහ වනේ.
මේ ආරාමෙ ස්වාමීන් වහන්සේලා එලියට වඩින්නෙ දානෙ වෙලාවට විතරයි.
අනිත් හැමවෙලාවකම ගල් ලෙන් වා උන්වහන්සේලා භාවනා කරනවලු.
ලොකු හාමුදුරුවෝ විතරයි ආවාස ගෙයි වැඩ ඉන්නෙ.
ලොකු හාමුදුරුවො තුන් පිරිතෙන් ඔප දමාපු පිරිත් නූල් හැමෝටම බැන්දා.
මට බැන්දෙ අන්තිමට.
ඒ බදින කොට අත ඉල්ලන් උන්වහන්සේ මගෙ අතේ රේඛා දිහා බලන් හිටියා.
"මේ දරුවගෙ වේල පත්කඩේ අරන් එන්න බැයිද ලොකු මැණිකේ??"
සුදු ආච්චි දිහා එහෙම බලන් හාමුදුරුවෝ කීවා.
" අපේ හාමුදුරුවනේ මේ දරුවට වේල පත්කඩක් නැහැනෙව.
මෙ දරුවගෙ අම්මට කට කැඩෙනකන් අපි කියැව්වා ඔව්වා පිලිවෙලක් කොරන්න කියලා.
ඇහුවෙ නැහැනෙව .
අපේ ලොකු පුතාටත් ඒ දොහේ ඔවා ගැන නිච්චියක් තියෙව්වෙ නැතුවා.
ඔව්වා කියෙව්වට වැඩක් නැති නිසා ඒ දොහේ මන් කට වහන් උන්නා අපේ හාමුදුරුවනේ ..........."
"උපන් වෙලාවයි දවසයි අරන් ආයෙ මෙහෙ එන්නකෝ ලොකු මැනිකේ.මන් හදලා දෙන්නම්.මේ දරුවත් එක්ක පොඩ්ඩක් මට තනියම කතා කරන්න ඕනෙ"
එහෙම කියද්දි හැමෝම එලියට ගියේ අවාස ගෙයි මාව තනි කරලා.
ආවාස ගෙයි පුරාම පඩු සුවදයි.
මම පඩු සුවදට ගොඩක් ආස නිසා නහයත් පුම්බන් ඒ සුවද වින්දෙ වෙනම ආස්වාදයක් මට ලැබුන නිසා.
"ඔය දරුවාට මම කියන්න උන්නෙ . ඔය දරුවගෙ ඔය සෘණාත්මක් සිතුවිලි හින්දා ලොකු විනාසයක් වේවි.
තමන්ගෙ හැගීම් ඔය තරමටම හංගන්න හදන්න එපා.
තමන්වම විනාස කරගන්න හිතුන දවසට
විනාස නොවුනා හෝ නැතා
මේ පිච්චමල් ආරාමෙට එන්න.
ඔය දරුවා ප්‍රබල ආත්මෙක හිමිකාරයෙක්.
බලවත්.
තමන්ට විතරක් දැනෙන දේවල් ඉදිරියට වේවි.
බුද්ධියෙන් වැඩ කොරන්න.
එයා අඩගහයි හැබැයි යන්න එපා.............
මෙහෙට එන්න.
මමයි ඇහැල ගහයි ඔය දරුවව බලාගන්නම්......."
ඇත්තටම ඒ කියපු දේ තේරුනේ නැතත් මම පන්සලෙන් එලියට ආවෙ හාමුදුරුවන්ට පසග පිහිටුවා වැදලා.
මම පන්සලෙන් එලියට එනකන් හැමෝම බලන් හිටියා.
සුමුදුනම් කෝට්ටක් අරන් සුහස්නගෙ පස්සට අනින ගමන් ඌව අවුස්ස අවුස්ස හිටියෙ.
සුහස්න කියන්නෙ කනට ගහලා ගියත් ඔහේ බලන් ඉන්න අහිංසකයෙක් නිසා හොදයි ඉතින්............
මෙහෙ ඇලක් තියේ මන් මෙහෙ ආවත් හරි ඇලට යන්න බැරි වුන නිසා අපි ඇලට යන්න කතා වුනා.
ඇල තිබ්බෙ සුමුදුගෙ ගෙට පල්ලෙන්.
ඇලට යන්න කලින් අපි සුමුදුලාගෙ ගෙට ගොඩ වුනා.
ඒ ගෙදර මැටි වරිච්චි බිත්ති තිබ්බෙ.
බිම ගොම ගාලා නිසා අඩිය තියද්දි සීතලයි.
ඇලේ දිය සීරාව නිසා ගේ ඇතුලත් ගොඩක්ම සීතලයි.
ඒ ගෙදර බොහොම පිලිවෙලයි.
අඩිය තියද්දි එක කුණු බින්දුවක් පෑගෙන්නෙ නෑ.
ගෙදර හිටියෙ සුමුදුයි සුමුදුගෙ අම්මයි අක්කයි විතරයි.
අපි ගෙදරට ගියපු වෙලේ සුහස්නයා කුස්සියට ගිහින් හට්ටි වල්ට ඔලුව දාන්න පටන් ගත්තා.
ඊට පස්සෙ ඌ කමනිගෙන් කන්න ඉල්ලුවා.
හිගන්නගෙ පාත්තරේට හෙනහුරා ගැහුවා වගේ.
කමනි කෝමහරි වළං හට්ටි හූරලා අපි හැමෝටම කන්න දුන්නා.
මමයි නෙතුකැනුයි එපා කීවත් සුහස්නට පුදුම වුවමනාවක් තිබ්බෙ ඒ ගෙදරින් කන්න.
අනික දැන් ආච්චිලා දැනගත්තොත් අපි අඩු කුලේ ගෙදරක බත් මුට්ටියකට ඔලුව දැම්මයි කියලා ඉදලා ඉවරයි.
අපිට කන්න තිබ්බෙ බතුයි ලුණුයි පොලුයි ඒක උඩට නයි මිරිස් පොඩිවට කපලා උඩට දාලා.
ආයෙ නෑ පට්ටම රහයි.
මෙච්චර රහට මම කවමදාවත් කාලා තිබ්බෙ නෑ.
සරලයි හැබැයි දිවට සංකීර්ණයි...........
අපේ වලව්වෙන් තුන් වේලම කන නිසා සුමුදුලා වැඩිය ගෙදර ඉයන්නෙ නැතිලු.
කෝමහරි කාලා අපි ඔක්කොම ගේ ඉස්සරහ ගොම පොලොවෙ පැදුරක් දාන් ඉදගත්තෙ කාපු ගමන් ඇලට පනින්න එපා කියලා සුමුදුගෙ අක්කා කියපු නිසා.
සුමුදුගෙ අක්කා දොර මුල්ලට වෙලා අහස දිහා ඔහේ බලන් හිටියා.
සුහස්න සිංදුවක් කියන්න පටන් ගත්තෙ අපි හිතපුවත් නැති විදිහට.
නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ

ඇහැලWhere stories live. Discover now