-සයිවර් කඩේ 2-

405 120 49
                                    

සිගරට් දුම.. පිළිකා කාරකයි කියලා නොගහපු තැනක් නැහැ.. ටීවි එකක , චිත්‍රපටියක දුම් බොන හැමතැනම යටින් දාන්නේත් දුම් බීම පිළිකා ඇතිකරයි කියලා.. එහෙමයි කියලා මිනිස්සු නොබි ඉන්නවාද ? එහෙමත් නැහැ.. ඕක බිව්වේ නැත්තන් , එහෙමත් නැත්තන් බොන කෙනෙක්ගේ ළග ඉදන් ඕක පෙනහළු ඇතුළට යවානොගන්න දවසක් නැති තරම්..

තව පොඩ්ඩෙන් මාතෘකාවෙන් පිට පනිනවා. කියන්න ගියේ ඒ අළු පාට ඇස්වල අයිතිකාරයා ගැන නේ.. ඒ සිගරට් දුම් වළල්ලේ තිබුන ලා රස්නේ මගේ මූණේ වැදුනා... ඒත් එක්කම නහය විනිවිද ගියේ සිගරට් දුම... අලු පාට ඇස් දෙකට ගැළපෙන කළුපාට ටී ෂර්ට් එක දාඩියෙන් පෙගිලා තිබුනේ සයිවර් කඩේ ඇතුලේ තිබුණ බොයිලේරුව නිසාද ?

'' මෙන්න කොල්ලො කොත්තුව.. '' සුදුපාට අයින බිදිච්ච වීදුරු පිගානක ලන්ච් ෂීට් එකක් උඩ තියපු දුම්දාන රංගය්යාගේ කොත්තුව ඊළග විනාඩියේ මගේ ඇස් දෙක ඉස්සරහ.. නමට චිකන් හොදි උන , මිරිස් හොද්දක් දාපු ඇලුමිනියම් තසිමත් මේසේ උඩට එනකම් අළුපාට ඇස් දෙකේ බැල්ම නම් එකපාරක්වත් මේ පැත්තට යොමු උන පාටක් නැ...

'' සර්ට ?  '' කොත්තුව ගෙනත් දිපු වේටර් අළු ඇස්වල අයිතිකාරයාගෙන් ඇහුවා.. නිදහසේ සිගරට් එක උරලා වායු දූෂණයට දායක වෙච්ච එයා , කෙලින්ම උණු උණුවෙන් දුම්දාන මගේ කොත්තුව මැදින් හැන්ද එබුවේ මං හා හා පුරා කියලා පළවෙනි කට කටට දාගන්නත් කලින්...

'' ප්ලේන්ටි දෙකක්.... ''

මේ ජිවිත කාලේ අවුරුදු විසි දෙකට මං අහලා තිබ්බ ගුප්තම කඩහඩින් අළු ඇස්වල අයිතිකාරයා කිව්වේ එච්චරයි.. වැරදිලාවත් මේ මනුස්සයාව මං කලින් දන්නවාද ? අපේ ඔෆිස් එකේ කවුරුහරිද ? සැකයිනේ.. නැත්තන් මොන මනුස්සයාද ජිවිතේට දැකලවාත් නැති මනුස්සයෙක්ගේ කොත්තුවකින් හතරෙන් තුනකට වගකියන්නේ ? හිගන්නාගේ පාත්තරේට හෙනහුරා කඩාපාත් උනා වගේ කොත්තුවේ කටවල් දෙකකට වඩා කන්න උනේ නැතුව ඇති මට..

උණුම උණු ප්ලේන්ටි දෙක පිරිසි කෝප්පයක තියලා එසැණින් එතැනට ආවේ රාජකුමාරයො දෙන්නෙක් වගේ... සිනි අඩුත් නැතුව වැඩිත් නැතුව ගානට ප්ලේන්ටිය දාන්න ඒ මනුස්සයාට තියෙන්නෙත් හොද පළපුරුද්දක්.. දවස තිස්සේ බොයිලේරුව අස්සේ තැම්බෙන එකට වඩා ලේසියි නේද සොච්චම් පඩියට මේ කරන කරන ඔෆිස් රස්සාව ?

'' ඤාව්... '' සයිවර් කඩේ ඇතුළේ පිණ්ඩපාතේ යන බඩදරු පූසි.. වෙනදාට නම් කොත්තුවෙන් මං මොනවාම හරි ඉතිරි කරලා දෙනවා පූසිට... ඉතින් වෙනදා පුරුද්දටද මන්දා මගේ ගාවට ඇවිදින් කකුල වටේ එතෙන්නේ... අද නම් දෙන්න මුකුත් නෑ , හිගන්නාගේ පාත්තරේට හෙනහුරා ගහලා ගියා.. පුසිගෙත් ඉව කියන්නේ මං ගාව කිසිම දෙයක් නැති බව තේරිලාද මන්දා අළු ඇස් අයිතිකාරයා ගාවට ඇදුනේ ඉව කරන ගමන්...

ඒත් බඩදරු පූසි බඩගින්නට හොයපු අහිංසක ඉල්ලිමට ලැබුන උත්තරය දරුණු පා පාහරක්... අළු පාට ඇස් දෙකේ අයිතිකාරයා පූසිට ගැහුව පයින් පාර කොච්චර සැරද කියනවා නම් ඒ කැහැටු බැළලි විසි වෙලා ගිහින් හතරගාතය වාරු නැතුව අැදගෙන වැටුනා.. තිරිසන් සතා උනත් ඌත් බඩදරු අම්මා කෙනෙක්...!!!! මනුස්සයෙක්ට පුළුවන් ද තිරිසන් සතෙක්ට උනත් මෙහෙම සලකන්න ? එතකොට තිරිසන් සතයි මනුස්සයායි අතරේ තියන වෙනස මොකක් ද ?

සමහර විට පළවෙනි බැල්මෙන් එයාව මැන්නා වැරදි ඇති මං.. එයා ඇදගෙන ඉදපු කළුපාට ෂර්ට් එක දැන් මට ඕනවාට වඩා කැපිලාත් පේනවා.. ඒත් ඒ සේරම අස්සේ අළුපාට ඇස් දෙක තාමත් කලබලෙන් එහා මෙහා දුවනවා.. ඉතින් එයා , අළු ද කළු ද සුදුද ? හමේ පාටින් නම් සුදුයි.. ෂර්ට් එකින් නම් කළුයි.. ඇස් දෙකින්.... ම්ම්... එයා අළු මනුස්සයෙක්.. මං හිතින් විනිශ්චය දුන්නා...

එයා කරන හැම වැඩකින්ම මට ගෙනාවේ තිගැස්මක්... ප්ලේන්ටිය හිස් කරලා කෝප්පේ පිරිසිය උඩින් තිබ්බාත්, කා(ර්) එකේ යතුරින් මේසේට තට්ටු කළාත්, අළුපාට ඇස් දෙක හතරවටේට පොඩ්ඩක් කරකැව්වාත් මං ගැස්සිලා ගියා.. ඇග ඇතුළෙන්ම මට අනතුරු අගවනවා එයාගෙන් ඈත් වෙන්න කියලා.. ඒත් , මොකක්ද මං නොදන්න මායාවකින් එයාගේ අළුපාට ඇස් දෙක මාව බැදලා තියාගත්තා..

බොයිලේරුවේ දුම තාමත් සයිවර් කඩේ පිරිලා.. කෑම සුවද එක්කම අතරින් පතර සිගරට් දුමත් මගේ නහය විනිවිදිනවා.. එතකොට නැවතුනේ නැත්තේ එකම එක දෙයක් විතරයි.. ඒ රංග අය්යාගේ කොත්තුව වැටෙන රිදම් එකයි . එයාගේ අළුපාට ඇස් ලුහුබදින මගේ වැඩකට නැති කළුපාට ඇස් දෙකයි විතරයි...

උණුසුම් කෑම කඩේ ඇතුළේ රස්නේ තව තව වැඩි වෙන්නේ බොයිලේරුවෙන් ද ? නැත්තන් රත් වෙච්ච කබලෙන් ද ? රංග අය්යා කබල උඩට දාපු තෙල් ටික සූස් සද්දෙන් ඒ තත්පරෙන් රත් වෙන සද්දේත් මගේ කන් දෙක ලාවට ග්‍රහණය කරගත්තා... මං පියවි සිහියට ආවේ එතකොට....

මගේ ඉස්සරහා තිබ්බ පුටුව හිස් වෙලා තිබ්බා.. ඒ වෙනුවට ඉතිරි වෙලා තිබ්බේ රුපියල් පන්සියේ කොළයක් විතරයි....

.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

* simulations ගොඩක් තියෙනවා. ටිකක් අවධානෙන් කියවන්න.

-සයිවර් කඩේ-  [ Short Chapters] Where stories live. Discover now