හතළිස්වන පරිච්ඡේදය

348 72 55
                                    

පස් දිනක් ගෙවී ගොස් තුබුණේ ‍රුද්‍රාරගේ උවටැන් අතරතුර ධ්වජේශ්වර කෙමෙන් සුවය ලබද්දීය.සිරුරේ වූ කැපුම් සියල්ල සුව අතට හැරී ගොස් තිබීමටත් අනතුරට ලක් වූ හස්තය හා පාදය මෙතරම් ඉක්මනින් නිරුපද්‍රිත වෙමින් පැවතීමටත් බාහිරින් ලැබූ ප්‍රතිකාරයන්ට වඩා ඔහුගේ අභ්‍යන්තර සුව්‍යාධී ධ්‍යාන බලය හේතුවක් වී තිබිණ.

පස් දිනක් මුලුල්ලේ දේශනයන්ට සහභාගී වීමට පමණක් ධ්වජේශ්වරගේ නෙත් මායිමෙන් ඈත් වී සිටි රුද්‍රාර මේ වන විට ඔහුට හුරු වී සිටියේය.තමා සමගින් රුද්‍රාර සිටින සෑම මොහොතක්ම ප්‍රයෝජනයට ගත් ධ්වජේශ්වර ඔහු ලවා සිය දේශන සටහන් හා සැලසුම් පිළියෙල කරගත්තාම පමණක් නොව,කුඩා යමක් හෝ ඔහුට උගැන්වීමට හුරුව සිටියේය.

තුන් වේලක් ධ්වජේශ්වර හට කැවීමත්,ඔහුට අඩි කිහිපයක් ඈතින් නිදා ගැන්මටත් රුද්‍රාර දැන් හුරු වී සිටියේය.එමෙන්ම වෙනදා දකින සිනහවෙන් තොර සැඟවී ජීවත් වන රුද්‍රාර වෙනුවට ධ්වජේශ්වර ඔහු තුලින් ආලෝකමත් යෞවනයෙකු මදින් මද පිටතට ගැනීමට සමත්ව සිටියේය.තවමත් අනෙකුන් ඉදිරියේ ඔහු පුරුදු රුද්‍රාරම වූවත් සරයුත් වායුත් ඉදිරියේ මෙන්ම ධ්වජේශ්වර හමුවේ ඔහු සැහැල්ලු වීමට උත්සාහ කරමින් සිටියේය.

වෙනදා හෙලන සැක මුසු රෞද්‍ර බැල්ම වෙනුවට මේ වන විට ඔහුගේ දිදුලන දෙනෙතේ බැල්ම ධ්වජේශ්වර ඔහු වෙතට දැහැන් ගත කරවමින් පැවතින.වෙනදා එකම ඇලි පැහැයෙන් යුතු සුදුමැලි කම්මුල් මේ දින වල ඔහුගෙන් පිටවන කුඩා සිනහවට අනුබල දෙමින් යාන්තමින් පළොල් පැහැව ගොස් තිබිණ.වෙනදා දින ගණනාවකට ඔහුගේ මුවින් පිටවන වචනයන්හී එකතුවක් මේ වන විට එක් දිනක් තුළදී ඔහුගේ මුවින් පිටවෙමින් තිබිණ.

මේ වන විට තනිවම සිය කාර්‍යයන් කොට ගැනීමේ එතරම් අපහසුවක් නොතිබුනේ වුවද ධ්වජේශ්වර රුද්‍රාර හට එය පෙන්වීමට ගියේ නැත.ඔහුගේ අතින් කැවෙන කුරුලු කටවල් වලට ධ්වජේශ්වර හුරුව සිටියේය.තමා හට වේදනාවක් වේ යැයි බියෙන් මෙන් සිය සිරුරේ තුවාලයන් නොමැති තැනින් දැනෙන රුද්‍රාරගේ මෘදු ස්පර්ශයන්ට ඔහු හුරු වී සිටියේය.ඇතැම් කලෙක සිය දෑසට හමු වන ඔහුගේ දෑස කලබලව පොළවට යොමු කරන දර්ශනයන්ට ධ්වජේශ්වර හුරුව සිටියේය.සෑම රාත්‍රියකම තමාට අඩි කිහිපයක් ඈතින් ඇසෙන සංසුන් මෘදු සුසුම් ස්වරයන්ට ධ්වජේශ්වර හුරුව සිටියේය.

_🔥භවාන්තර🔥_ [Historical BL]Where stories live. Discover now