ආරම්භය

20 5 0
                                    

ග්‍රීෂ්මයේ තවත් එක් විඩාබර දිනයක නිමාව සනිටුහන් කිරීමට සැරසෙමින් මළ හිරු ක්ෂිතිජ ඉම අද්දරින් රශ්මිය විහිදුවමින් තිබිණ. මුහුණට වැටෙන හිරු රැස් මුවා කරගැන්මට එක් අතකින් මුහුණ වසාගෙන අනෙක් අතෙන් ඔවුන්ගෙන් මිදීමට යත්න දරමින් අරගල කරන්නා වූ  තරුණ ගැටවරයෙකු තදින් අල්වාගෙන ඉදිරියට ඇදෙමින් සිටියේ සෙබළුන් යැයි සිතිය හැකි වස්ත්‍රයන් ගෙන් සැරසුණු හැඩිදැඩි පුද්ගලයන් දෙදෙනෙකි.

           " යන්න දෙනවා. මාව අතාරිනවා. මේක මහ අසාධාරණයක්. කිසිම වරදක් කරලා නෑ මම. මේවට දවසක වන්දි ගෙවාවි නුඹලා අනිවාර්යයෙන්ම. "

   ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී යාමට අසාර්ථක උත්සහයක යෙදෙමින් සිටි තරුණ ගැටවරයාගේ කෝපවත් කෑ ගැසීමට ඒ මොහොතේ මාර්ගයේ සිටි පුද්ගලයන් කිහිප දෙනෙකුද නැවතී බලා සිටින්නට වූයේ අනුකම්පාව මුසු බැල්මකිනි.

       යදමින් සිරකර තිබූ ඔහුව තදින් අල්වාගෙන ඉදිරියෙන් පෙනෙන කවාකාර ගල් බැමි ද්විත්වයකින් වට වූ උස් ද්වාරයකින් වැසුණු ස්ථානයක් වෙත සෙබළුන් දෙදෙනා ගමන් කරමින් තිබිණ. ඔවුන් දෙදෙනාගේම පපුව හරහා හැඳ සිටි සන්නාහයේ සටහන්ව තිබූ රවුම්ව ගමන් ගත් අග්නි ධාරාවක් මධ්‍යයේ ,එකිනෙක වෙලී සිටින්නාවූ රඹ පැහැ ගත් මකරුන් දෙදෙනාගෙන් යුතු ලාංඡනය ඔවුන් රෝවේශියානු අධිරාජ්‍යයේ කුමන හෝ සේනාංකයකට අයත් සෙබළුන් බවට ඉඟි සැපැයීය.

       පලා යාමේ නිශ්ඵල උත්සහාය මදකට නතර කළ තරුණයාගේ විමසිලිමත් දෑස වටපිටාව වෙත යොමුවිණි. නමක් ගමක් නොදැන සිටියාට දුටුගමනින්ම එය ආරක්ෂක බලකොටුවක් වග ඔහුට වැටහිණ. කවකාර බැමි ද්විත්වය එක පසෙකින් විසල් ලෝහමය ද්වාරය ටත්, අනෙක් පසින් මද උසකින් යුතු කුළුණු ද්විත්වයකටත් මැදිව තිබිණ. ඒ කුළුණු ද්විත්වය මධ්‍යයෙන් පාෂාණයෙන් නිර්මිත විසල් වූ ආරක්ෂක කුළුණක් අහසට එසැවී තිබිණ. ඒවාට ඉදිරියෙන් සෙබළුන් විශාල ගණනකට රැස්ව සිටිය හැකි හිස් ඉඩකඩක් ඉතිරිව තිබූ අතර තැනින් තැන ගබඩාවන් වැනි ගොඩනැගිලි කිහිපයක්ද දක්නට ලැබිණි.

        " කුඩා ආරක්ෂක බලකොටුවක්"

        එසේ සිතමින් තරුණයා ඒ බිම් සැකැස්ම සිය මනසේ සටහන් කරගත්තේ අවස්ථාවක් ලද විගස පැන යාමට හැකිවූවොත් ප්‍රයෝජනවත් වන වග දන්නා නිසාවෙනි. සෙබළුන් දෙදෙනා තරුණයාව රැගෙන යමින් සිටියේ මධ්‍යයේ පිහිටි කුළුණ වෙතටයි. ඉක්මන් ගමනින් කුඩා පියගැට කිහිපයක් නැගි සෙබළුන් දෙදෙනා එහි ද්වාරය වෙත එද්දීම එතැන සිටි මුරකරුවන් එය විවෘත කිරීය. අභ්‍යන්තරය මද අඳුරකින් යුතු විය. සෙබළුන් ගේ හදිසි ගමන නිසාවෙන් එය කුමානාකාරයේ ස්ථානයක් ද යන වග බලාගැනීමට තරුණයාට හැකියාව නොලැබිණ. අඳුරු පැසේජය හරහා ⁣ඉදිරියට ගිය සෙබළුන් දෙදෙනා පිවිසියේ මධ්‍යම ප්‍රමාණයේ ශාලාවක් වෙතටයි. එහි අසුන් සැකැස්මෙන් එය රැස්වීම් ශාලාවක් වග දැනවීය.

කාල අසරුවා ⚔ Where stories live. Discover now