කොහොම හරි අන්තිමට පැය භාගයකට විතර පස්සේ අයියයි මායි බීච් එකට ආවා. තාමත් මේ මනුස්සයා නෙවෙයි මාත් එක්ක වචනයක් හරි කතා කරේ ගෙදරින් ආපු විදිහටම තාමත් රවාගෙනම ඉන්නවා එක්කො රවන්නෙ මොකටද කියලා වත් කියපන්කො මගුල... මාත් ඉතින් එයාටත් රවාගෙනම බයික් එකෙන් බැස්සා.
"තමුසෙ මොකාට පේන්නද ඔච්චර කොටට ඇදන් ආවේ..."
ඈ යකෝ !! මේ මනුස්සයා මෙච්චර වෙලා රවාගෙන හිටියේ මං මේ කොටට ඇදන් ආපු නිසාද.. ඒත් ඉතින් බීච් එකට එනකොට මොකාද දිගට ඇදන් එන්නෙ ?? පිස්සුද මේ මිනිහට...
"ඈ හලෝ... ඕකට ද එවෙලේ ඉදන් මට රවාගෙන හිටියේ, කලින් කියන්න එපැයි..."
ඇයි අප්පා මේ මනුස්සයා මේ අදාලම නැති දේකටනේ බොරුවට රවාගෙන ඉදලා තියෙන්නෙ.
"හැබැයි ආපහු ඔහොම ඇදගෙන කොහෙ හරි ගිහින් මට අහුවෙයන්කො තමුසෙ..."
"ආ.. හරි වැඩක් නෙ අප්පා මං මොකක් ඇදන් ගියත් ඔයාට මො---- හ්- හරි හරි අනේ..."
මොන ඒස කමක්ද යකෝ මේ !! මං මොකටද මෙයා කියන හැම එකටම එකඟ වෙන්නෙ... අනිත් එක මං මොකක් ඇදන් ගියත් මෙයාට මොකද...ඔක්කොමත් හරි මූ එකපාරක් රවලා බලපු ගමන් මගේ කට වැහෙන්නෙ මොකද අප්පා... මං ආස නෑ අනේ මේ වෙන දේවල් වලට. ඒ අස්සෙ අර සෙහස් කියන බූරු පුතානෝ කොහෙද දන්නෑ...
ආහ් ! කියනකොට ම අර එන්නෙ මෑන්.. ඒත් කවුද අර අනිත් එකා.... මොනා නැතත් ඌ නම් හැන්සම් පොරක් වගේ හැබැයි. පොඩ්ඩක් ඉඳහන් ඒ එන කෙනා නිකං අදීශ අයියත් වගේ හැබැයි ටිකක්... හෑ !!! අදීශ අයියා වගේ නෙවෙයි බන් ඒ ඌම තමා, ඒත් අදීශ අයියා මොකද සෙහසුත් එක්ක කරන්නෙ ???..
මං ඉතින් සෙහසව දැක්ක ගමන් ඌ ඉන්න පැත්තට යන්න හැදුවේ, ඒත් කොහෙද මාව මොකක් හරි කොක්කක පැටලුනානේ.. මං ඉතින් පැටලුනු කොක්ක මොකක්ද බලන්න පිටිපස්ස හැරුනා. ආය වෙන කවුද ඉතින් මට කොකු ගහන්න ඉන්නෙ..."ඇයි ??.."
"මේක අරන් ඇදගන්නවා..."
"ඒ මොකටද ඕක මට.."
"මෙහාට එනවා... පණ්ඩිතකම නම් තියෙනවා තමුසෙගෙ.."
මූ එහෙම කියලා එකපාරටම මගේ වැලමිට ලඟින් ඇදලා අරගෙන එයාගේ ඉස්සරහින් හිටවගත්තා. පස්සෙ එයා මට දික් කරගෙන හිටපු ජැකට් එක මගේ ඉනවටේ ගැටගැහුවා. හැබැයි ඒ ගමන් කියපු දේත් එක්ක නම් මාව රත් වෙලා ගියා.