Chapter 02

261 109 43
                                    


දවස් කිහිපයකට පස්සේ ජිමින් ආයෙත් ට්‍රේන් එකට නගිද්දි ඒකේ හිස් සීට් තිබුණෙම නැති තරම්. එයා ඇස් වටේටම යැව්වේ එයාට ඉඳගන්න තැනක් හොයාගන්න. ඇති යන්තම් හිස් සීට් දෙකක් තියෙන තැනක් ජිමින්ගේ ඇස් වලට අහු වුණා. එයා ඉක්මනට ගිහින් සීට් එක උඩට ඇදගෙන වැටිලා සැනසුම් සුසුමක් පිට කළේ එයාගේ පණ නැති වෙන්න ඔන්න මෙන්න වගේ තියෙන කකුල් දෙක දිග ඇරගන්න පුළුවන් නිසා.

එයා ඇස් වහගෙන සීට් එකට හේත්තු වෙන මොහොතේ එයාට දැනුනා එයාගේ එහා පැත්තෙන් කෙනෙක් හිමීට ඉඳගන්න විදිහ. ජිමින් ගන්න ඊළඟ හුස්මත් එක්ක එයාට දැනුනේ දෙහි , කුළුබඩු වගේ දේවල් මිශ්‍ර වෙච්ච ප්‍රසන්න සුවඳක්.

ජිමින් එක ඇහැක් ඇරලා එහා පැත්තේ ඉන්න එක්කෙනා දිහා බැලුවා. එතන හිටපු කෙනා දකිද්දී ජිමින් ගැස්සිලා ගියා.

ඒ හිටියේ අර ආගන්තුක තරුණයා.

එයා හැමදාමත් වගේ ඇඳගෙන හිටියේ කළු පාට. ට්‍රේන් එක යද්දි යන්තම් පැද්දෙන කරාබුවක් එයාගේ එක කනක තිබුණා.

එයා ඉස්සරහ බලාගෙන හිටියේ. වෙනදා වගේම එයාගේ කොණ්ඩෙන් එයාගේ ඇස් වැහිලා ගිහින්. ජිමින්ට ඕනේ වුණා ඒ කොණ්ඩේ පිටිපස්සට කරන්න , එයාගේ ඇඟිලි තුඩු ඒ කොණ්ඩේ අස්සෙන් යවන්න , ඉස්සරහට නැවිලා ඒ කඩවසම් ආගන්තුකයාගෙන් එන මත් කරවන සුළු සුවඳ හිතේ හැටියට විඳින්න.

ජිමින්ව ගල් ගැහුණා. එයාගේ සම්පූර්ණ ඇඟම නිකන් හිර වෙලා වගෙයි දැනුනේ. එයා උපරිම උත්සාහ කළා එයාගේ පිස්සු නටන ස්නායු පද්ධතිය සන්සුන් කරවගන්න. ඉතින් ජිමින් එයාගේ අත් දෙක පපුව ඉස්සරහින් බැඳගෙන ඉස්සරහ බලාගෙන සාමාන්‍ය විදියට හැසිරෙන්න උත්සාහ කළත් ඇතුළෙන් එයා එයාගේ හදවත එච්චර වේගයෙන් ගැහිලා ගැහිලා එළියටත් පනී ද කියලා ලොකු බයකින් හිටියේ.

ජිමින් බලාපොරොත්තු වුණාට වඩා ඒ ගමන සිය දහස් ගුණයකින් හොඳ වුණත් , අනිත් අතට ඒක ටිකක් භයානකයි. එයාට තේරුනේ නෑ කොහොමද එයාගේ හැඟීම් සමථයකට පත් කරගන්නේ කියලා. ඉතින් එයාගේ එකම ප්‍රාර්ථනාව වුණේ එයාගේ එහා පැත්තේ ඉන්න තරුණයා එයාගේ මේ අමුතු හැසිරීම දකින්න නැතුව ඉදී කියන එක.

ටිකකට පස්සේ ජිමින්ට දැනුනා එයාගේ ඇඟට යන්තම් ඒ තරුණයා තට්ටු කරන විදිහ. ඊළඟ තත්පරේ එයාගේ කනට උණුසුම් සුසුමක් පහස දැනුනා. එයා ජිමින්ගේ කනට කරලා කොඳුරද්දී ජිමින්ට දිවුරන්න පුළුවන් එයා මෙච්චර කාලයකට අහලා තිබුණ සරාගීම කටහඬ ඒක කියලා.

"මෙතනින් නේද ඔයා බහින්න ඕනේ ?"

ජිමින්ගේ ඇස් ලොකු වෙලා තිබුනේ. ඒත් ඒ තරුණයා කිව්ව කිසිම දෙයක් ජිමින්ගේ ඔළුවට යන්නේ නැති තරමට එයාගේ ඇඟ සම්පූර්ණයෙන්ම එයාගේ පාලනයෙන් බැහැර වෙලා හිටියේ ඒ කටහඬ නිසා.

වෙන දෙයක් හිතාගන්න බැරුව ජිමින් එයාගේ මූණ අනිත් පැත්තට හරවද්දි එයාගේ ඇස් ඉස්සරහටම මුණ ගැහුනේ ඒ කඩවසම් ආගන්තුක තරුණයාගේ අඳුරු චොක්ලට් පාට ඇස්.

"ඔයා හොඳින් ද ?"

එයා ආයෙත් මිමිණුවේ එයාගේ ඇහිබැමි හකුලවන ගමන්.

ජිමින් ඔළුව වැනුවත් එයා කොහෙත්ම පියවි සිහියෙන් නෙවෙයි හිටියේ. එයාලගේ මුහුණු කොච්චර ළඟින් ද තියෙන්නේ කිව්වොත් ජිමින්ට දැනෙනවා ඒ තරුණයාගේ හුස්ම වැටෙන තාලයත්.

"මේ ඔයා බහින තැන"

ජිමින්ගේ ප්‍රතිචාරය නිසා නැගුණු පුංචි හිනාවකුත් එක්ක ඒ තරුණයා ආයෙත් පාරක් කතා කළා.

එතකොට තමයි ජිමින් ජනේලයෙන් එළිය බැලුවේ. හුරුපුරුදු වටපිටාව එකපාරටම එයාගේ ඇස් වලට අහු වෙද්දී එයාගේ මොළේ ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා.

"ෂිට් !"

ජිමින් ඉක්මනටම එයාගේ බඩු මුට්ටු ඔක්කොම ටික අත් දෙකට අරගෙන ට්‍රේන් එකේ දොර වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දී එළියට පැන ගත්තා.

ජිමින් දුම්රිය වේදිකාවට ගොඩ වුණාට පස්සේ එයා ආයෙත් එයා හිටපු තැන ජනේලයෙන් ට්‍රේන් එක ඇතුළ බලද්දී එයා දැක්කා ජිමින්ගේ මෝඩ වැඩේ නිසා ඒ කඩවසම් තරුණයා හිනා වෙන විදිහ.

ජිමින් රතු වුණා , මේ පාර ඒකට හේතු දෙකයි. පළවෙනි එක එයා හරක් පැටියෙක් වගේ ඒ මනුස්සයා කිව්ව දේ තේරුම් ගන්නේ නැතුව එයා ඉස්සරහ මෝඩයෙක් වගේ හැසිරුණා. එතකොට දෙවනි එක ට්‍රේන් එක ඉස්සරහට යද්දි ජිමින් ඇස් කොනකින් වගේ දැක්ක එයාගේ උඩට ඇකිළුනු නහයත් එක්ක තියෙන හුරතල් පාට බනී හිනාව.


                                       ***

On Your Train | Jikook ✓Where stories live. Discover now