"පොඩි ඉස්කොලේ මහත්තයා, මම ඇතුලට එන්නද?" දොරට නැගුනු තට්ටුවත් සමඟ ඇසුනු පොඩි මැණිකේගේ කටහඬ මම වහා හඳුනාගත්තෙමි.
පාසලේ වැඩකටයුතු හමාර කොට වලවුවට ආ මම උක්කුං විසින් සපායා දුන් දුම් දමණ උණු වතුරින් හොඳින් ඇඟපත සෝදා මගේ කාමරයේ ඇඳට වී මදක් ඇලවී සිටියෙමි. පොඩි මැණිකේගේ හඬින් ගැස්සී ගිය මම මගේ උඩුකය නිරුවත වසාගනු වස් ශර්ට් එකක් වහා හැඳගත්තෙමි. බොත්තම් පියවාගැනීමට තරම් කල් නැති බැවින් හැකි ඉක්මනින් ඇඟිලි වලින් කොණ්ඩය පීරාගත්තෙමි.
"අහ් එ-එන්න!" මම කලබලය අතරේ කීවෙමි. විවර වූ දොර හා තිර රෙදි අතරින් ආවේ තේ පෝච්චියක් අතින්ගත් ඇගේ සිහින් රුවයි. මගේ අඩ නිරුවත් ශරීරය දෙස බලා ඇය කට කොණකින් සිනහවක් පෑවාය.
"අම්මා කීවා පොඩි ඉස්කෝලේ මහත්තයාට තේ දෙන්නය කියලා!" ඇය මේසය මතින් තේ පෝච්චය තබමින් කීවාය.
"ආහ් ඔහොම තියන්න! පොඩි මැණිකේ තේ හදන්න මහන්සි වෙන්න එපා. මට හදාගන්න පුළුවන්!" ඇත්තම කීවොත් මා මෙතෙක් වේලා සිටියේ තේ හදාගැනීමට කම්මැලිකමේය.
"මම නෙමේ හැදුවේ. උක්කුං!" ඇය සිනාසෙමින් කීවාය. මමද සිනහවකින් පිළිතුරු දුන්නෙමි. මම බලාපොරොත්තු වූයේ ඇය ඉන්පසු කාමරයෙන් පිටවී යාවියි කියාය. එහෙත් මගේ පුදුමයට හේතු වෙමින් ඇය කාමරය සිසාරා බැල්මක් හෙලුවාය. සමහරවිට ලොකු මැණිකේ ඇයට මගෙන් මොනවාහෝ ඉගෙනගන්නැයි කීවා විය හැක. ඇයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි මම නොදත්තෙමි. ඇය මැණිකේ කෙනෙක් ය. තරුණ වියේ ගැහැණු ළමයෙක් ය. ඇයට වාඩි වෙන්න යැයි කිව හැකි වුවත් ඒ ආරාධනාව ඈ වරදවා වටහාගත හැක. අප දෙදෙනා අතරේ නිහඬතාවය පැවති අතරේ මම කමිසයේ බොත්තම් පියවා ගත්තෙමි.
"කොළඹ හොඳද?" අවසානයේ ඈම කථාව ඇරඹුවාය. කොළඹ? හොඳද?
"කොළඹ කියන්නේ අමුතු තැනක් පුංචි මැණිකේ. ඒක හොඳ නරක අතරේ තියන හීනි නූලේ දෙපැත්තට තාලෙකට දෝලනය වෙනවා. සමහර කෙනෙක්ට ජීවිතේ ජයගන්න කොළඹ කියන්නේ සතර මහ නිධානය වගේ තැනක්. තවත් සමහර කෙනෙක්ගේ මුළු ජීවිතේම විනාස වෙලා යන්න හේතුවත් කොළඹ. කොළඹ එක එක ජාතියේ මිනිස්සු ගොඩාක් දෙනා හඳුන්වලා දීපු සමාජ සංස්කෘති ගණනාවක සංකලනයක්. හොඳ නරක අතර වෙනස අඳුනන්න පුලුවන් කෙනෙක්ට නම් කොළඹ සැපපහසු හාන්සි පුටුවක් වගේ... මෙහෙදි වගේ නෙමේ මිනිස්සු කුළමළ ජාති බේධ එහෙදි ගනංගන්නේ නෑ... හිඟන්නා හිඟන්නාගේ පාඩුවේ හිඟාකාගෙන ජීවත් වෙනවා, වෙළෙන්දෝ එයාලගේ විදිහට වෙළදාම් කරනවා, ලොකු ලොක්කෝ එයාලටම වෙන් කරගත්ත ලෝකවල සැපපහසුවට ජීවත් වෙනවා. කවුරුවත් ඒ සමාජ ගැලීම වෙනස් කරන්න ඇඟිලි ගහන්නේ නෑ. හැමෝම ගෙවන්නේ බොහෝදුරට ඒකාකාරී ජීවිතයක්" මම හැකි පමනින් විස්තර කර දුන්නෙමි.
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන...