#3

21 8 12
                                    

වැඩිදුර පරීක්ෂා කළවිට අපට එතැන තිබී හමුවූයේ රහසිගත උමඟකට පාර කියන විවරයකට බාධා කරමින් දැමූ දොරකි. අවදානම නොසලකා රොජර් ඒ තුළින් ගොස් පරීක්ෂා කිරීමට පෙළඹුණේ අපට වෙනත් විකල්පයක් නොතිබූ හෙයිනි. ඔහු සතුටින් පිනුම් ගසමින් නැවතත් අපකරා පැමිණි අන්දම මතක් වන විට තවමත් මගේ මුවගට සිනහවක් ලැබේ.
අපි ජයග්‍රහණය කළෙමු. එම උමඟ විවර වී තිබූයේ අඩි 10 * 15 පමණ පරිමාණයේ පැවති කුඩා බිම් කඩකටයි. විශේෂත්වය වූයේ එය මානුෂ වර්ගයාගේ ක්‍රියාවන්ගෙන් දූෂ්‍ය නොවී තවමත් කුඩා පැළ වර්ග, කෘමි සතුන් හා කුඩාම කුඩා භූගත ජල උල්පතකට අයිතිවාසිකම් කියන දිය කඩිත්තක් දරාගෙන සිටීමයි.
අපත් සමඟ රැගෙන ආ, විශේෂිත තත්වයන්හිදී නිෂ්පාදනය කරන ලද, බීජ වර්ග ගෙනගොස් අපි යුහුසුළුවම එහි රෝපණය කළෙමු. ඒ මතු ප්‍රයෝජන තකා ය.
ලැබෙන අස්වැන්න මඳින් මඳ දියුණු කරමින්, නව ක්‍රමෝපායන් යටතේ ඒවා රැකබලාගනිමින්, නව බීජ, අල, දඬු, පැළ සිටුවමින් අඟලෙන් අඟල, අඟලෙන් අඟල හෝ එම ක්ෂේම භූමියේ වපසරිය වැඩිදියුණු කරගැනීම අපගේ ප්‍රධාන රාජකාරිය විය. සත්‍ය වශයෙන්ම ගතහොත් එකම රාජකාරිය එය වූ බවට පැවසුවත් එය සාවද්‍ය නොවේ.
කාලයාගේ ඇවෑමෙන් මම දුවකට ජන්මය ලබා දුනිමි. නඩයේ එකම කාන්තාව වීම නිසා මුහුණ දීමට සිදුවූ අභියෝගය හා වේදනාව සාමාන්‍යය තරම ඉක්මවා ගොස් තිබූවත් ඇයගේ සුරතල් මුව කමල දුටුවනම ඒ සියල්ල හිරු දුටු පිනි බිංදු සේ නැති වී ගියේය.
මිත්තණියගේ කතාන්දර වලින් ඇසූවක් මිස මම සත්‍ය ජීවිතයේදී 'පිනි' යනු මොනවාදැයි දැන සිටියේ නැත. ඇය පැවසූ අන්දමට නම් ඒ ශාක මත තැවරී තිබූ ජලයයි. නමුත් ශාක මත ජලය තැවරෙනවා විනා ශාකයක් දැකගැනීමටත් විද්‍යාගාර කරා ක්ෂේත්‍ර චාරිකා යාමට සිදුවූ කාෂ්ටක ළමා කාලයකින් සංග්‍රහ විඳි මා කෙසේ නම් 'පිනි' දැකගන්නද ?
නමුත් සාර භූමියට ( අප හඳුන්වන ආකාරයට ) පිං සිදුවීමට මා දැන් නම් පිනි බිඳු අත්දුටු බවට ප්‍රත්‍යක්ෂය. උදෑසන ගොස් ශාක පිළිබඳව විමසා බලන අවස්ථා වලදී මා ඒවා දැක ඇත. අඩුම තරමින් 'පිනි' නම් ඒවා යැයි මම විශ්වාස කරමි.

වසර 14 ක කාලයක් අධි වේගයෙන් පියඹා ගියේ සියල්ලන්ගේම ජීවිත වලට නව පරිච්ඡේදයක් එකතු කරමිනි. මගේ දියණිය නව යොවුන් වියට එළඹුණේ මොළකැටි අත්පා නෙතු පැහැරගන්නා යෞවනියකගේ රූ සපුවකට පරිවර්තනය කරමිනි. මාගේ මළණුද දැන් කඩවසම් තරුණයෙකි. නමුත් තවමත් 31 හැවිරිදිව සිටි මා කෙරෙන් නම් ඵල වූයේ මාගේ මෑණියන්ගේ සිය 40 ස් ගණන්වල රූපකායට සමාන රූපකායකි. ඔවුන්ගේ දිදුලීමට මම මාගේ තාරුණ්‍යය බිලිදී සිටියෙමි. ඔහු නොමැති ලෝකයේ මාගේ රූ සපුව රැකගැනීමෙහිලා ඵලය කිම ?
මීට වසර කිහිපයකට ඉක්බිතිවම ඔහු අප හැරදමා ගොස් සිටියේය. 31 හැවිරිදි මා වැහැරුණු අන්දම හා සසඳද්දී මියයන කාලයේ 40ස් ගණන් ගතකරමින් උන් ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය ගැන විශේෂයෙන් කතිකා කිරීම අවශ්‍ය නොවේ යැයි සිතමි. ඔහුට එකලදීම ස්වභාවික මරණයකට ගොදුරු වීමට සිදුවීම අරුමයක් ලෙස මා නොදකින්නේ එබැවිනි.

දුවණියත්, මලණුත් මාගේ අභාවයෙන් පසු දිවි ගැටගසාගැනීම උදෙසා නිශ්චිත ලෙසම කාර්‍යය කළ යුතුය. ඉඳින් මෙතැන් පටන්ම ඔවුන්ව එම දුකට යොමු කරන්නේ කෙසේද ? ඒ සඳහා තවමත් වේලාසන වැඩි බව මගේ සිත මට වදදෙයි. මා ගත්තත් මගේ දස හැවිරිදි විය යනු කුඩා පාසල් ශිෂ්‍යයාවක ලෙස කල්ගෙවූ සමයයි. සැමියා මියැදෙන කාලයේ දියණියද එම වයසම පසු කරමින් සිටියාය. මලණ්ඩියද මට සාර භූමියට එක් කරගත නොහැකි වූයේ කුඩා කල පටන්ම දුවගේ ළඟම නෑයා, හිතවතා, මිත්‍රයා පමණකුත් නොව සන්නිවේදකයා ලෙසද ක්‍රියාකළ තැනැත්තා වූයේ ඔහු නිසා ය. මක්නිසාද යත් දියණියගේ කතා කිරීමේ හැකියාව උපතේදීම දෛවය විසින් පැහැරගෙන තිබූ නිසාවෙනි.
එමනිසා ඔවුන් දෙදෙනා පිරමීඩ අතර තනිකර දවල් කාලයේදී සාර භූමිය කරා නික්මීමේ වගකීම මම භාර ගතිමි. නමුත් එය තවත් අයෙකුගේ,...... නැතිනම් දෙදෙනෙකුගේ , කිහිප දෙනෙකුගේ ජීවිතයට බලපෑම් කරනු ඇතැයි මම මඳකුදු නොසිතූයෙමි.

චක්ර ✨️Where stories live. Discover now