#7

15 5 4
                                    

මම ප්‍රථමයෙන් දුටු තද දිදුලීම මගේ බලාපොරොත්තුද අවුළුවා දැමුවද, එය කෙමෙන් දිදුලීමේ සිට පිපුරුමකින් අවසන් වූ පසු ඇවිළී ගිය බලාපොරොත්තු අනපේක්ෂිත ලෙස අවසන් වීම කරණකොටගෙන, නල එක්වරම නිවීගත නොහී බලාපොරොත්තු වෙනුවට සන්තානය දහනයට පටන් ගති.

ඒ දාහයෙන් අරුත්ගැන්වීමට අදහස් කළේ ; මෙතෙක් ජීවත් වීමට ඉතිරිව තිබූ එකම බලාපොරොත්තුව ද නිශේධ වීමෙන් ඉක්බිති තවදුරටත් පණ රැකගැනීමට දත කෑමේ උත්සාහයක නිරත නොවෙනු යන්නැ ' යි මට සිතුණි. ඒ සමඟම පත්ලෙන්ම නැඟී ආ තදබල වේදනාවෙන් සිහිසුන් වීමට මත්තෙන් හස්තයේ උන් බිළිඳා සුරක්ෂිතව දියණියට ලබාදීමට තරම් මම වාසනාවන්ත වූවෙමි.

මා එනතුරා දෑත් දිගුකර සිටින මෑණියන්ගේ සිනාමුසු වත කමල අනන්තය දෙසින් දුටුවද , සොවින් හඬන්නා වූ දියණියගේ ශබ්දය තීව්‍රව ඇසෙද්දී ඉච්ඡා බලයෙන් නැඟී සිටීමට වෙර දැරුවද එය ඒ වන විටත් මගේ පාලනයෙන් ගිලිහී ගොස් තිබූ බව මට දැණුනි.

'මට සමාවෙන්න දුව ! මගෙ චූටි පුතාව ආයිත් බලන්න වෙන්නෙ නෑ. එයාගෙ සෙල්ලම්. ඒ හිනාව. තවත් පුංචි එකෙකුත් එක්ක දුව මේ හැමදේම කොහොම බලාගන්නද. අනේ වස්තුව අම්මට සමාව දෙනව නේද? ආච්චි අම්මට ඔයාව හරියට බලාගන්නවත් වුණේ නෑනෙ සුදු මැණික.'

මේ ආකාර දහසකුත් හැඟීම්වලින් මනස වේගයෙන් වෙහෙසට පත්වෙමින් තිබූ පසුබිමක, ඒ සියල්ල පරයා අවදිවෙමින් තිබූ අදහස නිරවද්‍ය එකක්ද යන්න මට නිශ්චය කරගැනීමට නොහැකි වූයේ, එය මරණාසන්න අවස්ථාවක කෙනෙකුගේ මනෝකායට දැනෙන විකෘති උන්මාදනීය සිතුවිල්ලක්දැ ' යි අවසිහියෙන් වුවද මම මගෙන්ම ප්‍රශ්නකළ නිසයි.

අත්තමලාගේ කාලයටත් බොහෝ ඉහත කාලයේදී පුරාවෘත්ත යැයි උපකල්පනය කරගෙන සිටි දිගු හනුවලින් යුත් වල්ගැති සත්ත්ව කොට්ටාසයට රූපකායෙන් බොහෝ සමාන අන්දමේ නව උත්පාදනයන් අප ද නිර්මාණය කළා නොවෙද ? ඔවුන්ට සෝරසයින් යැයි නම් තැබීමටද හේතුව වූයේ එයයි. ජෛව යුද්ධ සඳහා භාවිතා කළ ඒ ජාන විකෘති කළ ජීවීන් මිනිසාගේ නිසි අධීක්ෂණයෙන් තොරව මේ වනවිටත් වඳවී ගොස් ඇතුවාට සැක නැහැ. නමුත් ඔවුන් කළ විනාශයන්ට සාක්ෂ්‍ය මහපොළොවෙන් එතරම්ම ලේසියෙන් මකාදැමිය නොහැකි වේවි. ඔවුන්ගේ අස්ථි කොටස් හමුවන අනාගත ජීවීන් කවුරුන් හෝ කුමක් සිතණු ඇතිද ? මෙවන් බලවතුන් සමඟ සාමාන්‍යය ජීවීන්ට වාසය කිරීම අසම්භව්‍යය යැයි සිතමින් ඔවුන් භූමිය පාලනය කළ කාලයක් බවට මෙසමය නම් කරනු ඇත.

මගේ මළණුගේ අකල් මරණයට හේතුවූ පොළඟා මට තවත් අතීතාවර්ජනාවක් කරයි. මත්ස්‍යයින් හා උරගයින් ප්‍රථමයෙන් ජනිත වූ සංකීර්ණ ජීවීන් බව 5 වසර විද්‍යාව ගුරුතුමී ඉගැන්වූ අයුරු මට අද ඊයෙක මෙන් මතක ය. නමුත් එම ප්‍රකාශය ජනිත වූවා නොහොත් විකසනය වූවා ලෙස නොව යළි ජීවය ලැබූවා යැ ' පැවසීම වඩාත් උචිත වේයැ' යි මට සිතේ. මන්ද මට හැඟෙන ආකාරයට වත්මන වෙමින් පවතින්නේ එයයි.

මගේ දරුපවුල තවදුරටත් ජීවත් වුවහොත් අනාගතයේදී ඔවුන් කුමක් කරනු ඇතිද ? ආදිවාසීන් යැයි අපට පවසන ලද අතීත පෘථිවි වාසීන්ගේ තත්ත්වයට ඔවුන් නිසැකවම ඇදවැටේවි. දැනටමත් විලිවසාගැනීමට ගස්කොළන්වලින් එළලන ලද ඇඳුම් අඳින අපි තිබෙන වැරහැල්ලද ගෙවී ගිය පසු කුමක් කරමුද ? කථනයද නොහැකි මගේ දියණිය දරුවාට හා මා පුතුට කුමක් වටහා දෙන්නද ? ඔවුන් තනිවම බේරීමේ කලාව නූගත්තොත් මියැදේවි. පිසූ ආහාර අනුභවය , නිවසක ජීවත් වීම, ඇඳුම් භාවිතය හා ශිෂ්ට ගතිලක්ෂණ ඔවුන් කෙරෙන් බැහැරවීමට ඇති ඉඩකඩ වඩාත් වැඩිවන්නේ ඔවුන්ගෙ ජීවත් වීමේ අරගලය හමුවේ මෙවන් දෙයින් ප්‍රයෝජන නැතැයි ඔවුන් නොපමාවම සිතන නිසයි.

එමෙන්ම මාමා හා දියණියන් අතර සම්ප්‍රභෝග එකකුස උපන් සහෝදරයින් ට ජාතකවන ළදරුවන් සාමාන්‍යකරණය වීම වැළක්විය නොහැකි වේවි. සාමූහික ජීවීන් වන මින්සාගේ පාලුව හා හුදකලාවට හෝර්මෝනද අතපෙවූ පසු ඔවුන් වැළක්විය නොහැකි බවට මගේ දියණිය දැනටමත් නිදසුන් සපයා ඇත්තී ය.

මා සිතුවම් අඳිමින් කුඩා පුතුට මා ජීවත් වූ ලෝකය පිළිබඳ මවා පෙනුවූ අයුරුද මතකයට නැඟේ. ඒ සිතුවම් පිරමීඩ බිත්ති වලින් නොමැකී ගියහොත් කටකතා, පුරාවෘත්ත, අතිශෝක්තියෙන් අනූන කතාන්දර රාශියකට මූලබීජ වේවි.

නැවත ආදි ජීවීන්ගෙන් හා හරිත වර්ණයෙන් පොහොසත් වෙමින් සිටින මිහිතලය නැවුම් වාතය, ප්‍රණීත රසඵල, ශබ්ද නඟා පෙණකැටි විසුරුවන ගංගා උපද්දවන කාලය වනවිට ඒවා සියැසින් දැකගැනීමට මම වාසනාවන්ත නොවෙමි. නමුත් ඒවා දැකගැනීමට නව පරපුරක් බිහි කිරීමට වරම් ලබත්වා' යි මගෙ පවුලට සදා ආශීර්වාද කරමි. ඒත් සමඟින් මෙම වේදනා දෙන්නා වූ කාල චක්‍රය නැවත ඇති නොකිරීමට ඔවුන් වගබලාගනිත්වා යි ප්‍රාර්ථනා කරමි.



- සමාප්තයි -

චක්ර ✨️Where stories live. Discover now