Part 2

43 15 14
                                    

ඊලඟ දවස් කීපය මාරියා එයාගේ බෙහෙත් වට්ටෝරුව වරද්දන්නේ නැතුවම ගත්තා. උදේටයි, රෑටයි, වෛද්‍යවරිය කියපු විදියටම. කිහිප වේලක් බෙහෙත් බොද්දි, ගැටිත්ත අඩු වේගෙන ගිහින් ඒක නොපෙනී යන්න පටන් ගත්තා. ඒත් මාරියා හිතපු විදියට එයාට ඒකෙන් කිසි සහනයක් නම් ලැබුනේ නෑ. එයා හිටියටත් වඩා අසනීප උනා. මුලින් මුලින් නිකන් අපහසුතාවක් විතරක් දැනෙන්න ගත්තත්, පස්සේ නිතරම තද ඔක්කාර ගතියක්, ඇඟට කිසිම ජීවයක් නැති ගතියක් එක්ක තද ලෙඩ ගතියක් දැනෙන්න ගත්තා. අන්තිමට මාරියා ආයෙත් වෛද්‍යවරිය හම්බෙන්න යන්න තීරණය කලා.

"බෙහෙත් බොන්න පටන් ගත්තට පස්සෙද මෙහෙම උනේ?"

වෛද්‍යවරිය ඇහුවා.

"සමහරවිට ඔයාට බෙහෙත් අජීර්ණ උනා වෙන්නත් පුලුවන්. දැන් ගැටිත්ත කොහොමද? අඩුයිද?"

"ඔව් ඒක අඩු වෙලා ගියා."

මාරියාගේ උදරයේ ගැටිත්ත තිබ්බ හරිය ඇඟිලි තුඩු වලින් ඔබලා, තද කරලා බලපු වෛද්‍යවරිය,

"ඒක අඩු වෙලා තමා. දැන් හොඳටම අඩුයි. බෙහෙත් ටික දිගටම බිව්වා නම් හරි. ඒත් දැන් ඔයාට බෙහෙත් අජීර්ණ ගතියක් තියෙන නිසා ආයේ ඒවා බොන්න එපා. ඒවා නැවැත්තුවම ඔය තියන අපහසුතා මගෑරිලා යයි. දැන් අපි විශේෂඥ වෛද්‍යවරයා හම්බෙන එක ඉක්මන් කරමු."

මාරියා ගෙදරට ගියා. වෛද්‍යවරිය කිව්වා වගේම ඇඟේ තිබ්බ අපහසුතා, ලෙඩ ගතිය ඉක්මනට තුරන් වෙලා ගියා. ඒත් ගැටිත්ත!! ඒක ආයෙ ආවා. තිබ්බටත් වඩා ලොකුවට ආවා ගැටිත්ත, හෙලවෙන බව දැන් නම් හොඳටම පේන්න ගත්තා. මාරියාට තව දුරටත් ඒ හෙලවීම එයා මවාගත්ත එකක්ද ඇත්තක්ද කියලා කරදර වෙන්න උවමනා උනේ නෑ. මේ පාර නම් ඒක ඇත්තක් කියලා හොඳටම පෙනුනා. ඒ වගේම මේ පාර ගැටිත්ත වටේ හමත් වෙනස් වෙමින් තිබ්බා. තෙල් ගතියට දිලිසෙන්න පටන් ගත්ත හමේ, එක එක සෛලය වෙන වෙනම ලොකුවට, වෙන්වෙලා පේනවා වගේ පෙනුමක් ඇවිත් තිබ්බා.

විශේෂඥ වෛද්‍යවරයා එක්ක හමුව ඉක්මනටම ලෑස්ති කරලා දෙන්න වෛද්‍යවරිය සමත් උනා. මාරියාත් පොඩ්ඩක්වත් පරක්කු නොකර ඒ හමුවට හරි වෙලාවටම සහභාගී උනා.

"මං දන්නෙ නෑ මේ මොකක්ද කියලා?"

පහුගිය දවස් කීපයම, ගැටිත්ත ගැන විතරක්ම කල්පනා කර කර ඒක ගැනම වද වෙවී හිටිය මාරියා ඊට අමතරව සෑහෙන්න බියපත් වෙලා හිටියා.

ගැටිත්ත සහ වටේ සමේ වෙනස හොඳට අධ්‍යනය කරපු විශේෂඥ වෛද්‍යවරයා පොඩ්ඩක් ඔලුව කසලා මෙහෙම කිව්වා.

"මට මේකේන් සාම්පල් කීපයක් ගන්න වෙනවා."

උස ඇඳ උඩට නැඟලා ඒකේ දිගා උන මාරියා, වෛද්‍යවරයා දිග සිරිංජර කටුවක් අතට ගන්නවා ඇස් කොනෙන් වගේ දැක්කා.

"ඕක රිදෙනවද?"

"මේක ඇතුල් කරද්දි පොඩ්ඩක් දැනෙයි. ඊට පස්සේ මොකුත් අමාරුවක් නෑ."

ඒත්, වෛද්‍යවරයා සිරිංජර කට්ට හම පසාරු කරලා ඇතුලට දාපු ගමන්ම, මාරියාට දරාගත නොහැකි වේදනාවක් ආවා. ඇඳෙන් පොඩ්ඩක් උඩට ඉස්සිලා කෑගහපු මාරියා එහෙම්මම සිහිසුන් උනා. සිහිය එනකොට මාරියා ඉස්සෙල්ලාම දැක්කේ වෛද්‍යවරයාගේ මුහුණ.

"සොරි, සාම්පල්ස් ගද්දි මීට කලින් කාටවත් ඔහොම වෙලා නෑ."

වෛද්‍යවරයාගේ කණගාටුදායක මුහුණ මාරියාට වේදනාව අමතක කරවන්න සමත් උනා. මාරියා හෙමීට ඇඳ උඩ වාඩි වෙන්න උත්සාහ කලා. වෛද්‍යවරයා මාරියාට ඒකට උදව් කරන්න පසුබට උනේ නෑ.

"ඔයාට ටිකක් විවේක ගන්න ඕනේද?"

"ඔව් තව ටිකක් වෙලා මෙහෙම හිටියම හරි යයි."

"කමක් නෑ කමක් නෑ. ඔයා ඇති තරන් වෙලා ගන්න."

මිනිත්තු දෙක තුනකින් යථා තත්වයට පත් වුන මාරියා වෛද්‍යවරයාට ස්තූති කරලා කාමරෙන් පිට වුනා. පිට වෙද්දි මාරියාව කාර් එක ලඟටම එක්කන් එන්න තරම් වෛද්‍යවරයා කරුණාවන්ත වුනා.

"මං පුලුවන් තරම් ඉක්මනට ටෙස්ට් රිසාල්ට්ස් ටික ගන්න බලන්නම්."

මාරියා පිටව යද්දි වෛද්‍යවරයා සහතික උනා.

FLUKEWhere stories live. Discover now