Part 5

36 16 6
                                    

මාරියා හිමීට ඇස් ඇරියා. නහය කඩාගෙන යන බෙහෙත් ගඳ ආයෙත් දැනෙන්න ගත්තා. උගුර කට වේලිලා ගිහින් ඔලුව පුපුරන්න තරම් රිදෙන්න අරන් තිබ්බ නිසා හරිම අමාරුවෙන් ඇඳ උඩ වැතිරිලා ඉන්න මාරියාට සිද්ධ වුනා. පැය ගානක් තිස්සේ ඩොක්ටර්ස්ලා තමන්ට මොනා කලාද කියලා බලාගන්න ලොකු උවමනාවක් තිබ්බත්, ඔලුව උස්සලා ශරීරයේ පහල කොටස බලන්න බැරි තරම් මාරියා දුර්වල වෙලා හිටියා.

"අහ්හ්!! ඔයා නැගිටලා. මේ කොහෙද ඉන්නෙ කියලා දන්නවා නේද?"

කරුණාවන්ත කටහඬක් ඇයව ඇමතුවා.

"ඔපරේශන්!!"

"ඒකට මොකද උනේ?"

අමාරුවෙන් තොල් අතරෙන් වචන දෙක තුනක් පිට කරගන්න මාරියා සමත් උනා.

"ඔක්කොම හොඳින් උනා. සංසුන් වෙලා ඉන්න. වැඩිය එහෙට මෙහෙට හෙලවෙන්න එපා. ඩොක්ටර් ඇවිත් ඔයාට කතා කරයි. එතකන් ඉන්න."

සංසුන්ව ආයෙමත් කොට්ටෙ උඩට ඔලුවේ බර දුන්න මාරියා නිර්වින්දකයට ආයෙමත් එයාව ගිලගන්න ඉඩ දුන්නා.

දවස් දෙකකට පස්සේ ඩොක්ටර් ආවා.

"අපිට පරපෝශිතයාව හම්බුනා. අක්මාවයි, බඩ වැලයි අතරේ හිටියේ. ඒක මෙච්චර දවස් ඔයාගේ අවයවවල එල්ලිලා ඒවායෙන් පෝශණය වෙවී ඉඳලා තියෙන්නෙ. ඒ නිසා ඒවට ටිකක් ඩැමේජ් වෙලා. බෙහෙත් ටික හරියට බීලා, හොඳට කාලා බීලා, ඇඟට රෙස්ට් එකක් දුන්නම ඒක හරි ගිහින් ඔයා ආයෙත් හිටියා වගේම නිරෝගී වෙයි."

වැලමිටට බර දුන්න මාරියා චූට්ටක් ඇඳෙන් ඉස්සුණා.

"මට ඒක බලන්න පුලුවන්ද? පරපෝශිතයා?"

වෛද්‍යවරයා ඔලුව දෙපැත්තට වනලා නෑ කියලා ඇඟෙව්වා.

"බෑ. අපි ඒක ලැබ් එකට යැව්වා. එයාලා ඒක ටෙස්ට් කරයි. ඊට පස්සේ ආයේ ඒකේ බලන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. ඇයි ඔයාට නිකන් ඔයාගේ ඇඟෙන් කෑල්ලක් අයින් උනා වගේද දැනෙන්නේ?"

විහිලුවක් කිරීමේ අදහසින් වෛද්‍යවරයා ඇහුවා.

"නෑ" මාරියා ටිකක් තදට කියලා අනිත් පැත්ත හැරුණා. ඊට පස්සේ මෙහෙම මිමිණුවා.

"මට ඕනේ උනේ ඔයාලා ඒක ඔක්කොම අයින් කරලද කියලා බලාගන්න විතරයි."

"අපි සම්පූර්ණයෙන් ඒක අයින් කලා. බය වෙන්න දෙයක් නෑ. අපි ඔක්කොම පිරිසිදු කලා."

"එහෙනම් කමක් නෑ."

සැත්කමෙන් සතියකට පස්සේ මාරියා ගෙදර යන්න තරම් සනීප බව වෛද්‍යවරයා තහවුරු කලා. සතියක් විතර ගෙදර නොහිටියා නිසා අමුතුයි වගේ දැනුනත් ඉක්මනට ගෙදර එන්න ලැබීම ගැන මාරියා සතුටු වුනා. රෑ නින්දට යන්න කලින් බාත් රූම් එකේ කණ්නාඩිය ඉස්සරහට ගිය ඇය තුවාලය වෙලලා තිබ්බ ගෝස් එක අතින් ඇදලා ගලෝලා දැම්මා. සිහින් තුවාල කැලැලක් සුදුමැලි හම උඩ, තද රතු පාටට තිබ්බා. කැලලක් තිබ්බා උනත් හම කලින් තිබ්බ ගානටම වෙනස් වෙලා තියෙනවා දැක්ක මාරියා කාලෙකට පස්සේ සනීපෙට නිදියගත්තා.

FLUKEWhere stories live. Discover now