ආයෙමත් කොළඹ රටට.. ඒ දූවිල්ල කාස්ටකේ පිරුණු පලාතට පය තියද්දිම ගිණියම් වෙනවා නොවැ.. රක්වානෙ ඉදන් ඉද්දි ඇගට දැනෙන අමුතු හීතල ඉබේම නැති වෙලා ගියා මේ විස දුමත් එක්ක පෑව්ව අව් පූටකේ හන්දා..
මොනවා කියලා කොරන්ඩද.. අප්පච්චිගෙ අන්තිම බලාපොරොත්තුව උනේ මං විස්සවිද්‍යාලේට යන එක නොවැ.. ඒ හන්දා නෙහ් උන්දැ කාසි වියදම් කරලා මාව කොළඹ ගෙදර නැවැත්තුවෙ.. ඉතින් ගමේ සේරම අතෑරලා දාලා හිත හදාගෙන මට එන්න වුනා ආයෙමත්..
මතක් වෙනවා මගෙ කාව්‍යව හුගාක්.. අන්තිමට දවසෙ හැන්දෑකොරේ රිදී ඇල්ල පාමුල ගල් දෙබොක්කාව අස්සෙ තුරුල් වෙලා උන්න හැටි. මං නොසෑහෙන්න ඇඩුවත් ඒකාගෙ ඇස් වලින් කදුලක් වත් පිට දැම්මේ නෑ ඕන්.. මොනවා වුනත් ඒකාගෙ හිත හයියයි නොවැ.. ඒ හන්දානෙහ් මේ තරම් ආලවන්තකමක් දැනෙන්නේ..
" උබලා අඩද්දි මමත් කදුලු වැගිරුවා නම් මයෙ පුංචි හාමු හිත හදාගන්නේ කොහොමැයි ? ඒ හන්දා ඇති තරමක් අඩලා දොඩලා හිත නිදහස් කොරගන්ට "
කාව්‍යගෙ වචන වල මහා බරපතල තේරුමක් තිබ්බා නොවැ.. ඒකට වැඩිකල් ඉස්කෝලේ යාගන්ට බැරි වුනත් හුගාක් දේවල් තේරුම්ගත්තේ ඉස්කෝලේ ගොහින් අකුරු සාස්තරේ ඉගෙනගත්ත උන්ටත් වඩා හොදට නොවැ. ඒ වුනත් කාව්‍යට පන්සලේ ලොකු හාමුදුරුවො පොත් පත් එහෙම දෙනවාලුනෙහ් කියවන්ඩ.. ඒ හන්දා රටේ තොටේ දේවල්.. ඉතිහාසය එහෙම මේකා මට වඩා දන්නවා.
" ඒ වුනාට මිස්ටර් බණ්ඩාරගෙ ෆියුනරල් එකට අපි එනවානෙහ් සිහිලැල්.. ඒක කරදරයක් නෙවෙයි අපිට.. කොහොමත් අපි රක්වානෙ එන්න නෙහ් හිටියෙත්.. "
අප්පච්චිගෙ මරණය ගැන මං කියද්දි ආන්ටි අන්කල් වගේම ඇමැන්ඩාත් හරියට කම්පා වුනා. ඇත්තටම මට කියාගන්න බෑ වලව්වට යනකන් මං වත් දැනෙගෙන උන්නේ නෑ කියලා. මොකද සියාතු මාව එක්කන් යන්න ආවත් කිසි දෙයක් කීවේ නෑ නොවැ.. එහෙම නොකීවෙ මං කලබල වෙන නිසා බව නොදන්නවා නෙවෙයි. ඒත් නැවතිලා ඉන්න තැන මිනිස්සුන්ට නොකියපු එකත් මගෙ හිතට හරි මදි වගේ.