දිවයුරු වෙර 6

1.4K 280 170
                                    

ඇසළ මල් පිරි රත්‍රන් මාතස්‍ය උද්‍යානය තවමත් දිවා කළ වර්ෂාවෙන් පිබිදෙමින් පැවතියේ ය. සුග්‍රීවගේ පියවර තැබීම තවමත් අවිධිමත් වූ අතර ඔහු තමාට එහා පසින්   ගමන් කළ ස්වප්නාදී වෙතින් එය සැගවීමට හැකිතාක් උත්සහ කළේ ය.

පියාණන් විසින් ඇයව පිටතට කැදවාගෙන උද්‍යානය පෙන්වන ලෙස පැවසුවේ පැරණි හැදුනුම් කම් යළි පුබුදුවා ගැනීමට වග සුග්‍රීව දැන සිටිය ද ඔහු ස්වප්නාදී වෙත වදනකුදු නොපැවසුවේ ය. ඇය ද තමා වෙත බාධා නොකරමින් තනිව උද්‍යානය නැරඹීම ද සුග්‍රීව සහනයට පත් කළේ ය.

සිය මලණුවන්ලා විටින් විට ඇසළ ගස් අතරින් එබෙමින් තමා හා ස්වප්නාදී දෙස බලනු ද සුග්‍රීව දුටුවේ ය. නිසැකවම ඔවුන් පුහුණු පිටියට වී තමාගේ හා ස්වප්නාදීගේ තොරතුරු එක් රැස් කරමින් සිටින වග සුග්‍රීව අනුමාන කළේ ය. සිය කුඩා මලණුවෙක් වූ හේෂරාභ අවසානයට ඇසළ ගසක් පිටුපසට වී මිගාර සමගින් ඔත්තු බැලූ ආකාරය ද සුග්‍රීව හොදින්ම දුටුවේ ය. ඔවුන් ඉහළ ගල් තලාව මත සිටි විනුධ වෙත සංඥා කරන ආකාරයත් , අනෙක් මුනි ශිෂ්‍යයන්ගේ වෑකන්ද අසළ රැස්ව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන වග පැවසීමට සුග්‍රීවට අපහසු නොවී ය.  සිය මලණුවන්ලා එක්ව තමාට හිස රදය සාදන ආකාරය සුග්‍රීව සෞම්‍ය ලෙස ඉවසුවේ ය.

ස්වප්නාදී වනාහී සුග්‍රීවගේ කුඩා කළ සමීපතම මිතුරියක් විය . ඇය නිතඹ ද වළලුකර දක්වා දීර්ඝ අලංකාර කෙස් වැටියකට හිමි කම් කී අතර දීඝ අසපුවේ ඔෟෂධ රහස්  ද ඇය නිතර භාවිත කරමින් ස්වභාවික රූමත් බවක් අත් කරගෙන සිටියා ය. සියල්ල සාමාන්‍ය වූයේ නම් සුග්‍රීව ඇය දෙස බලා සෞම්‍යව කතාබහ කරනු ඇති වූ මුත් , පෙරදින රාත්‍රියේ වූ සිදුවීම් හා සිය සිරුරෙහි වූ දුර්වල බව සුග්‍රීව පසුගාමී කළේ ය.

'' සුග්‍රීව.. '' අවසානයේ ස්වප්නාදී නිහඩතාවය බිද හෙළුවේ ය. අන් තරුණියන් මෙන් ඇය යටහත් පහත් නොවූ අතර ඇයගේ ස්වාධීන ගුණයන් සුග්‍රීව ප්‍රිය කළේ ය. කාන්තාවන්ට මුනි අසපු තුළ ශිල්ප ඉගැන්ම පිළිබද වූ වාරණ මදකුදු නොතැකූ ඇය දීඝ අසපුවේ සියලු වෙද ශිල්පය ද මැනවින් ප්‍රගුණ කර සිටියා ය. සිය සහෝදරයන් තමා හා ඇය වටා කැරකෙමින් ඔත්තු බලනු ඇයගේ තීක්ෂණ දෙනෙතට ද හසුව තිබූ වග සුග්‍රීව වටහා ගත්තේ ය.

🌸 දිවයුරු වෙර 🌸Where stories live. Discover now