කරත්තෙන් බෑව උණ බට ටික ඇදගෙන ගිහින් පහත් දෙබලක් තියෙන අඹ ගහ ලගට දැම්ම විජේපාල අත් දෙක සරමේ පිහිදගත්තා. කුස්සිය පැත්තෙන් ඇහුන හිනා හඩට ඒ දිහා බලපු විජේපාල දැක්කේ ඩිංගකට කලින් තමන් හිටිය පුටුවේ වාඩි වෙලා ඉන්න අවිරාධව.
කුස්සියට ගිහින් කොස් සුද්ද කරන ගමන් හිටිය අශෝකමාලාට කියලා තේ කහට එකක් හදාගත්ත විජේපාල අලුතින්ම හදල තිවුන ආස්මියක් කන ගමන් කහට කෝප්පෙ හිමීට තොල ගෑවා. සීනි දාගෙන තේ බොන්න කියලා ගුරුන්නාන්සේගෙ බිරිද එහෙමත් නැත්නම් විජේපාල ලා කියන විදිහට මැණිකෙ කීප වතාවක්ම කිව්වත් විජේපාල හිනාවකින් ඒ දේ ප්‍රතික්ෂේප කරා.
නිකන්ම කහට කෝප්පේ තොල ගානකොට එන රස සීනි දාපු තේ එකකින් විජේපාලට දැනුනේ නැහැ. විජේපාලගේ ගෙදර සීනි දාලා තේ බොන්නේ අශෝකමාලායි අවිරාධයි විතරයි.
කහට වල තියන තිත්තට තියෙන ඇල්ම නිසාම තමන්ට මේ ජීවිතේ දුක් කම්කටොලු වලටත් ඇල්මක් ඇතිවේදෝ කියලා විජේපාලට නොහිතුනා නෙවෙයි. අවිරාධයි අශෝක මාලායි තමන් එක්ක ඉන්න කම් ජීවිතේට එන හැම පීඩාවක්ම දරාගෙන ජීවත් වෙන්න තමන්ට ශක්තිය තියෙනවා කියලා විජේපාල විශ්වාස කරා.
අලුත් තෙල් වලින් බැදුනු ආස්මී වලින් එන සුවඳ විදින ගමන් රෝස පාට පැණි වලින් සැරසුනු තවත් ආස්මී කෑල්ලක් හෙමිහිට හපන ගමන් විජේපාල බැලුවේ කුස්සිය දිහා. බංකුවක් උඩ ඇන තියාගත්ත අශෝකමාලා කහ පාටට දිලිසෙන කොස් මදුලු ටික එක භාජනේකට දාලා කොස් ඇට තලන්න ගත්තා. තැලෙන පාරට කොස් ඇටේ තියෙන සුදු පාට පොත්ත ගැලවුනාම අශෝකමාලා ඊළගට කරේ ඒ පොතු ටික කොස් ඇටෙන් ගලෝලා ඉස්සරහෙන් තිබුනු නෑඹිලියට දාන එක.
නිල් පාට මල් වැල් ගිය පීරිසි කෝප්පේ අඩියෙ ඉතුරු වුනු කහට ඩිංග විසි කරලා දැම්ම විජේපාල අශෝකමාලා අතට කෝප්පෙ දීලා ඉස්සරහ පැත්තට ආවේ අදම උණ බට ටික කෑලි කරන්න හිතන ගමන්.
කොළ පාට වයිරම් වැටුනු කහපාට උන බටේ දික් අතට දෙකඩ කරන්න පුලුවන් වෙන්න මන්නෙ බස්සපු විජේපාල අඹ ගහේ දෙබල මැදින් උණ බටේ දැම්මා. දෙබලේ දෙපැත්තේ අතු දෙකේ ගැටිලා මන්නෙ එක තැන හිර වෙද්දී මෙහෙන් විජේපාල උණ බටේ ඉස්සරහට තල්ලු කරා.
YOU ARE READING
ආතුරයා || Nonfic Bl
Non-Fictionලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක...