සීනි කෝපි තේ කිරි තේ
වෙරළු මසන් ජම නාරං
කොස් දෙල් පොල් මිරිස් ගන්න
එන්න එන්න මෙන්න අපේ
සීනි බෝල හෝටලේ....///🎶 🎶
පාට පාට සීනි බෝල පිරුණු බෝතල් දිහා ඉබේම වගේ බැලුව තරබාරු මිනිහා හිස මුදුනේ තට්ටේ පෑදීගෙන එන ඔලුව කැසුවේ පැත්තක තියෙන රේඩියෝව දිහා නුරුස්සන විදිහට බලන ගමන්. කේන්තියෙන් වගේ රේඩියෝව වහලා දැම්ම මනුස්සයා ආයෙත් උස ස්ටූල් එකේ වාඩිවුනා.
" මටත් දැන් එන්න එන්න මෙන්න මගේ සීනි බෝල හෝටලේ කියන්න විතරයි බැරි වුනේ "
තනියම මුමුනපු හැට පැනපු වයසක මනුස්සයට කේන්ති ගිහින් හිටියේ අද දවසටම එකම එක පැණි රස කෑමක් වත් කොල්ලො කුරුට්ටන්ට විකුන ගන්න බැරි වුනු හින්දා. වෙනද නම් ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන පොඩි ඈයො මේ වෙලාවේ කඩේ පිරෙනවා. ඒත් අද එකෙක් වත් කඩේ දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ.
තිරියායට තිබුණු එකම සිල්ලර බඩු කඩේ වුනේ වයසක මැණික්ගේ මේ කඩ කෑල්ල. මැණික් කියන්නේ විශ්‍රාම ගිය පොලිස් නිලධාරියෙක්. ඒ හින්දා ගමේ මිනිස්සු ඔක්කොම වගේ මැණික්ට කිව්වේ මැණික් රාළහාමි කියලා. උපන් ගෙයි අමු කුනෙක් වුනු මැනික්ගේ අඹුවත් මැණික්ට ගැලපෙන ජාතියේ එකියක් වුනා. මැණික් රාළහාමි කුනා නම් මැණික්ගේ අඹුව කුනාගෙත් කුනා කම්බා කුනා කියලා තමා ඉතින් ගොඩක් අය නොදන්න කෙනෙක්ට මැනික්ගේ අඹුව ගැන දෙන පලවෙනි ඉඟිය.
සිංහල අලුත් අවුරුද්දටවත් අලුත් ඇදුමක් අදින්නේ නැති මැණික්ගේ අඹුව නිතරම ඇන්දේ කඩමාලු වගේ රෙදි. පාට ගිය රෙදි කෑලි ඇදගෙන හිටියට මොකද මනුස්සයගෙ කනේ තිබුනේ මහ විසාල රත්තරන් තෝඩු දෙකක්.
මැනික්ලා කියන්නේ කොච්චර ලෝභ මිනිස්සුද කියලා දන්නවා උනත් තිරියායේ හැමෝම ආවේ මේ කඩේට. කඩ මණ්ඩිය කියලා කියන මේ ඉසව්වේ මැණික්ගේ කඩේට ඈතින් බුලත් පුවක් විකුණන කඩයකුයි තව එළවලු කඩ කිහිපයකුයි තිබුනා. අලුතින් දැම්ම කෑම කඩෙත් දැන් දැන් කඩ මන්ඩියේ සෑහෙන්න ජනපිරියයි. කොච්චර කඩ තිබුනත් ඒ කඩ වලට මේ කඩෙත් එක්ක හැප්පෙන එක ලේසි වුනේ නෑ.
YOU ARE READING
ආතුරයා || Nonfic Bl
Non-Fictionලදු කැලෑව මැදින් වැටුනු අඩි පාර කෙළවර වුනේ මදක් ඉඩ කඩ සහිත භූමි භාගයකින්. තවමත් වල් පැලෑටි නොවැවුනු පොළවයි කෙලවරකට වෙන්න එක මත එක ගොඩ ගසා තිබූ මානා පදුරු වලිනුයි පෙනුනේ කවුරු හරි ළගදි එතන සුද්ධ පවිත්ර කර ඇති බවයි. පුදුමයෙන් අවට බැලූ මුතූගේ ඇස් දෙක...