囧- සිව්වන වෙඩිල්ල -囧

1.3K 234 130
                                    

සිය වම්පාදය පොළොවෙහි ගැටෙන ගැටෙන වාරයක් පාසා මෙවන් දැඩි වේදනාවෙන් හැකිළී යයි. කදවුරෙහි නවකයන් සදහා නීතියක් ද විය . ඔවුන් කදවුරු තුළ එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා ගමන් කිරීමේ දී ඇවිදීම තහනම් වූ අතර , දිවීම අනිවාර්ය විය.
ඇවිදීමට හෝ නොහැකිව තමා දුවන්නේ කෙසේ දැයි මෙවන් නොදත්තේ ය.

මනුශ්‍යයෙකුට දකුණු පාදයෙන් පමණක් ඇවිදිය නොහැකි වග දේවන්ත නොදන්නේ ඔහුගේ නූගත්කම නිසා වග පවසමින් මෙවන් බැණ වැදුණේ ය. අනෙක් සහෝදර නවකයන් ද මෙවන්ව දුටුවේ සිය නවකවදයන් දැඩි කිරීමට උල්පන්දම් සපයන යම පල්ලෙකු මෙනි. කිසිවෙකුත් ඔහු හා මූනිඡාචාවට කතා නොකළේ ඉහළ නිළධාරින් වෙතින් හිංසාවට ලක්වීමට ඇති අකමැත්තෙනි .

තව මිනිත්තු හතළිස් දෙකක් පමණ අවි පුහුණුව ද ඇරඹෙන අතර , තමා එහි නොසිටියහොත් දේවන්ත සිය හිස ගලවා අමු අමුවේ පුහුල් දෝසි මෙන්ම අනුභව කිරීමට ඉඩ ඇති වග මෙවන් දැන සිටියේ ය. සිරුර පුරා වැදුණු කිතුල් පොලු පහරවල්වල වේදනාව මෙතකැයි යනුවෙන් කියා නිමකළ නොහැකි තරම් විය. ඔහු සිතා මතා නොහැඩුව ද වේදනාව දෑසෙහි ලවණ පටලයක් බැද තිබුණේ ය. ඔහු මේ මොහොතේ නේවාසිකාගාරයට ගිය හොත් , අනෙක් බටයන් එක්ව ඔහුව මරාදැමීමට වුවත් ඉඩ ඇත. තවත් එක් පහරක් හෝ කෑමට මෙවන්ට කිසිදු අවශ්‍යතාවක් නොවූ අතර ඔහු කදවුරු අංගනයේ තරමක් පාළු ලෙස පෙනුණු කුඩා කණ්ඩියක් මතට වාරුදී සිටගත්තේ ය. එක් අතකින් බැලූ විට තමා පහර කෑ ආකාරයට , තමා තවමත් ඇවිද යාම ද මෙවන්ට විස්මයක් විය.

මිතුරන් කිසිවෙකුත් නොමැති මෙකී , කලබලකාරී එහෙත් නිහඩ ජීවිතය මෙවන් මදකුදු ප්‍රිය නොකළේ ය. අතෙහි තැනින් තැන ඇමිණී ඇති කිතුල් හී විටින් විට පෑරි ගියේ සිරුර තුළම වේදනාව ඉතිරි කරමිනි. පළමු දිනයේම ආබාධිත වූ සහෝදර නවකයෙකු සිහිසුන්ව තත්වය බරපතළ වූ යුධ හමුදා රෝහල වෙත යොමු කළ අයුරු මෙවන්ගේ මතකයේ විය. තත්වය බරපතළ නොවන්නේ නම් ප්‍රතිකාර ගැනීම ද ඔවුන්ට තහනම් විය. සිරුර දැඩි පරිසරයක් සදහා හුරු කිරීම එහි අරමුණ වුවද එය කෙලෙසකවත් පහසු නොවී ය. ඇතැම් නවකයෝ අලුයම ස්නානයෙන් පීණසින් පීඩා වින්දෝ ය. තවත් කොටසක් මඩ සහිත ජලය පානයෙන් විවිධ රෝගාදීයට ගොදුර වූවෝ ය. කෙසේ වුව ද , මරණාසන්න දරුණු රෝගයක් හැර ඔවුන්ට වේදනානාශක හෝ '' පැරසිටමෝල් '' භාවිත කිරීම හමුදා නේවාසිකාගාරය තුළ තහනම් විය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now