囧- දාහතරවන වෙඩිල්ල -囧

1.2K 209 110
                                    

සුන්දර දියතලාව තවමත් අගමෑලි කඩමින් අවදිවෙමින් සිටියේ ය. කදු මුදුනෙහි වූ තරු පන්තියේ හෝටලයේ සදළුතලයේ සිට දෙනෙත් සගල යුගළක් තේ වතු ඔබ්බෙන් පෙනෙන කදු පන්තිය වෙත යොමුව තිබුණි. දුම්දමමින් තිබූ  ග්‍රීන් ටී බදුන් දෙක නිවී ගොස් ඇතිවාට සැකයක් නැත. හිරුද නැගෙන හිරින් නැගෙමින් තිබුණි.

දිවියෙහි පස්වන දශයකට පා තබා සිටිය ද අත්වැටට වාරුදී සිටි තැනැත්තාගේ නහරවල මස් පිඩු පවා යෞවන ජවයකින් යුතු විය. මුහුණෙහි නාසය හා දෑතෙහි වූ කැළැල් පහුගිය දශකයේ අවසන් වූ තිස්වසරක යුද්ධයෙන් ඔහු බැටකෑ වග ද හැගවී ය. නිළ ඇදුම ඇගලා නොසිටිය ද බාහිරින් කැපී පෙනුනු හමුදා පෞර්ශය ඔහු හමුදාවේ ඉහළ නිළධාරියෙකු වග ඇගවී ය. යොවුන් තරුණිය සිය පියාගේ ඉණ වටා ද අතක් දමමින් උරහිස මත්තෙන් හිස හොවා ගත්තා ය.

යොවුන් හැවිරිදි තරුණියගේ දෑසෙහි කුඩා කදුළු පටලයක් බැදී තිබුණි. වියපත් දෑස් ද කියාගත නොහැකි හැගීම් ගොන්නක් සිරකොට ගෙන තිබුණි. ගෙවී ගිය හෝරා දෙකක මොහොත සැගව තිබූ බොහෝ මතකයන් රැසක් පිටතට ඇද තිබු වග සහතිකව පැවසිය හැකි විය.

රටටම යුධ විරුවෙකු වූ මේජර් ජනරල් දේවන්ත විජෙරත්න , ඇයට තවමත් තම මහමෙරක් වන් පිතෘ ස්නේහය විය.  තම පියාගේ යුධ කැළැල් යොවුන් තරුණියට නම් අභිමානයකි. ඇයට ද හමුදාවට බැදීමට ඇවැසි වුව ද පියාගෙන් කිසිදු විටෙක එයට අවසර හිමි නොවී ය.

'' මං කෙල්ලෙක් නිසාද යන්න නොදෙන්නේ ? '' ඒ දිනවල ඇය විමසුවේ නොරිස්සීමෙනි.

'' අපේ කොල්ලෝ යුද්ධ කරලා බේරගත්ත රටේ , ආමි එකට ගිහින් වහල්ලු වෙලා කඹුරන්න ද දුව ? රට විනාස වෙනවා බලාගෙන යුධ හමුදාවට වෙලා පදක්කම් සීයක් පැළද ගෙන ඉන්න ද ? ... ''  යුධ හමුදාවේම විශ්‍රමික ඉහළ නිළධාරියෙකු වූ සිය පියාගේ වදන් දියණියට ද අරුමයක් නොවී ය. යුද්ධයෙන් නිදහස් වුව ද , ණය බරින් හා විදේශිය අතපෙවීමෙන් මෙරට ගොහුරක එරී තිබුණි. රට විනාශ කරන දේශපාලඥයන් විසින් රණවිරුවන්ගේ ලේ දහඩිය කදුළු මතින් ගොඩ නැගූ නිදහස තම දේශපාලන ව්‍යාපාරවල ප්‍රධාන තේමා පාඨය බවට පත් කොට රටේ ඉඩම් විකුණද්දී  , රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ මව් පියන් , බිරින්දෑවරුන් , තමන්ගේ යැයි මව්බිමෙහි අගලකට හිමිකම් නොකිව්වෝ ය.

o⊙ -අභිමෙවන් -⊙oWhere stories live. Discover now