4_

89 38 1
                                    

නර්තන අභ්‍යාස විද්‍යාලයේ හෝසොක්ගේ වයස් කණ්ඩායමේ සිසුන් අතර දක්‍ෂතම සිසුවා හෝසොක් බව විද්‍යාලයේ කාටත් නොරහසකි. ඕනෑම පියවරක් ඉක්මනින් ග්‍රහණය කර ගැනීමට ඔහුට තිබුණේ සහජ හැකියාවකි. ඔහුගේ නර්තන හැඩතල පවා නර්තන කලාවේ නිපුණයෙකු තරමට ම ඉතා උසස් මට්ටමේ පැවතුණි.

එහෙයින් හෝසොක් එකල විද්‍යාලයේ කවුරුත් හොඳින් හඳුනන දීප්තිමත් සිසුවෙක් විය. නමුදු සියල්ල වෙනස් වීමට ගත වූයේ කෙටි කාලයකි.

විද්‍යාලයේ පැවතුණු විශේෂ ප්‍රසංගයක කොටස්කරුවෙකු වීමට හෝසොක්ට ද අවස්තාව හිමි විය. දිවා රෑ නොබලා ඔහු ඒ වෙනුවෙන් කැපවී නිරන්තරයෙන් පුහුණුවීම් කටයුතුවල නිරත වුණේ ය.

ප්‍රසංගය දිනයේ ඔවුන්ට නියමිත නර්තනාංගය වෙනුවෙන් නිවේදනය කරද්දි ඊට අදාළ සියල්ලෝ වේදිකාවට පැමිණිය හ.

මොහොතකින් වේදිකාවේ වසා තිබුණු තිරය හැරෙද්දි ප්‍රේක්‍ෂකාගාරයෙන් කන් බිහිරි කරවන තරමේ අත්පොළසන් නාදයක් ලැබුණි. අතුරු සිදුරු නොමැතිවම පිරී ගොස් තිබුණු ප්‍රේක්ශකාගාරය දෙස හෝසොක් බලා සිටියේ තුෂ්ණිම්භූතව ය. ඒ ඔහු මෙතරම්ම විසල් ප්‍රේක්‍ෂකයන් පිරිසක් සජීවීව සියැසින් දුටු ප්‍රථම වතාවයි.

ඒ ගැන කල්පනා කිරීමට ඉඩක් නොතබා සංගීතය ආරම්භ විය. හෝසොක් ද දෙවරක් නොසිතාම තාලයට අත් පා හසුරවන්නට විය. නමුදු කෙතරම් නොබලා සිටීමට උත්සාහ කළ ද ඔහුගේ ඇස් දුවන්නේ තමා ඉදිරියෙන් සිටින මහා ජන ගඟ වෙතට ය. ඒ සියල්ලන්ගේම නෙත් යොමුවී ඇත්තේ තමා දෙසට බව ඔහුට හැඟෙන්නට විය. ඔවුන්ගේ තියුණු දෑස් තමා විනිවිද යන බව ද ඔහුට හැඟෙන්නට විය.

සිය වෙව්ලන දෙපා තවදුරටත් ඔහුට අවනත නොවන බව ඔහු වටහා ගත්තේ ය. කෙමෙන් ඔහුගේ සම්පූර්ණ සිරුරම ඔහුට අවනත නොවී ගියේය. බොඳ වුණු දෑස් මුළුමනින්ම වැසී යාමට පෙර හෝසොක් එක් වරක් ප්‍රේක්‍ෂකාගාරය දෙස බැල්මක් හෙළුවේ ය.

එයින් පසු හෝසොක්ගේ දිවියේ නරකම කාලය උදා විය. අන් කිසිවෙකුටත් සම කළ නොහැකි ඔහුගේ හැකියාව නම් වූ චන්ද්‍රයා වේදිකාභීතිය නැමැති අඳුරු වළාව විසින් වසා ගන්නා ලදි.


සම්පූර්ණ කුටියක්ම ආලෝකමත් කළ හැකි ඉටිපහන් එළිය සැඟවීමට කුඩා පොල් කටුවක් වුව ද ප්‍රමාණවත් ය.

GLOOM  || JHS || ✅Where stories live. Discover now