7_

78 36 1
                                    

-"එපා....! මාව අතාරින්න."

හෝසොක් විලාප තබමින් අවදි වූයේය. ඔහුගේ පුළුල් නළලත දෙපසින් වැගිරුණු දා බිඳු ඔහුගේ සිහිනය කෙතරම් බියකරු දැ යි යන්නට සාක්ෂි දැරුවේ ය. මොහොතක් නොකඩවා තදින් හුස්ම ගත් හෝසොක් දෙනෙත් විසල් කරගෙන තමා දුටු සිහිනය ආවර්ජනය කළේ ය. එය ඔහුගේ මනස කලබලකාරී කිරීමට සමත් විය.

සයනය අසළ මේසය මත තිබූ වතුර වීදුරුව එක හුස්මට පානය කළ ඔහු හඬ නැගෙන ලෙස නැවත හිස් වතුර වීදුරුව මේසය මත තැබුවේ ය. සුව නින්දක් ලබා ගැනීමට තරම් මානසික ඒකාග්‍රතාවයක් ඔහු සතු නොවී ය. ගැඹුරු හුස්මක් ගත් හෝසොක් හඬක් නොනැගෙන ලෙස තරප්පු පෙළ බැස නිවසේ ප්‍රධාන දොර විවර කළේ ය.

එක්වරම ඇතුළට පැමිණි ආගන්තුක සිසිල් සුළං රොදක් ඔහුගේ මුහුණ සිප ගත්තේය. අංගනයට බැස පෙරළා දොර වැසූ ඔහු සෙමෙන් සෙමෙන් නිවසින් ඉවතට පා තැබුවේ ය.

ඔහුගේ සෙමෙන් ගමන ක්‍රමයෙන් වේගවත් ඇවිදීමක් බවට පත් විය. අනතුරුව එය දිවීමක් බවට පත් විය. ඔහු අඛණ්ඩව මාවත දිගේ දුව ගියේය. හති වැටෙන තුරු හැල්මේ දිව්වේ ය.

අවසානයේ හෝසොක්ගේ නර්තන විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසළින් ඔහුගේ ගමන නතර විය. විද්‍යාලයේ ඉදිරි දොරටුව අසළ ආරක්‍ෂාවට සිටින එකම මුරකරුවා ද තද නින්දක ය.

ප්‍රමාද වී පැමිණෙන දිනවලදී ජිමින් ඇතුළට පැමිණෙන ආකාරය පිළිබඳ ඔහු දිනක් තමා සමග කියූ බව ඔහුට මතක ය. කෙදිනකවත් ඔහු කියූ දෙසට ගොස් නොතිබූ හෝසොක් ජිමින් පැවසූ මං සලකුණු ඔස්සේ පැති තාප්පය අසළට ගියේ ය. මද වේලාවක් විපරම් කළ හෝසොක්ට එහි කඩතොළු වූ ස්ථානයක් සොයා ගැනීමට හැකි විය. දෙවරක් නොසිතූ ඔහු එම ස්ථානයට පා තබා ඇතුළට පැන ගත්තේ ය.

තමා මේ කුමක් කරන්නේද යන වග ඔහුට නිනව්වක් නැත. තමා පසුපස එලවා එන අඳුරෙන් බේරීම සඳහා මෙහි දිව ආවා විනා ඔහුට අරමුණක් ද නොතිබුණි.

තාප්පයෙන් ඇතුළට පැනගත් හෝසොක්ට වඩාත් ආරක්‍ෂාකාරී බවක් හැඟුණේ ය. නිතැතින්ම ඔහුගේ දෙපා විද්‍යාලයේ රංගශාලාව වෙත ඇදුණි.

GLOOM  || JHS || ✅Where stories live. Discover now