8_

112 41 23
                                    

සියල්ලන් බලා සිටි සංවත්සර දින උත්සවය එළඹුණි. උද්‍යෝගයෙන් සිටි බොහෝ අය අතර චකිතයෙන් සිටි ඇතැමුන් ද සිටියහ. හෝසොක් ද ඔවුන්ගෙන් අයෙක් වූ නමුත් චකිතයට එහා ගිය අධිෂ්ඨානයකින් ඔහුගේ සිත පිරී තිබුණි.

කෙසේ වෙතත් හෝසොක්ටත් වඩා හෝසොක් පිළිබඳ ව ජිමින් නම් බිය වී සිටියේ ය.

මීළඟ අංගය ලෙස මයික්‍රොෆෝනයෙන් හෝසොක්ගේ නර්තනාංගය නිවේදනය කරද්දී බර හුස්මක් ගත් හෝසොක් වේදිකාව මතට යෑමට සූදානම් වූයේ ය. එක්වරම ඔහුගේ පිටුපසින් පැමිණි ජිමින් හෝසොක්ව තරයේ වැළඳ ගත්තේය. මදක් වික්‍ෂිප්ත වූ නමුදු හෝසොක් ද පෙරළා ජිමින්ව වැළඳගත්තේ ය.

-"ඔයාට පුළුවන්...මොන දේ වුනත් මං ඔයත් එක්ක ඉන්නවා."

හෝසොක්ව අතහැරි ජිමින් එසේ කියද්දී හෝසොක් ඔහුට උණුසුම් සිනහවකින් සංග්‍රහ කර වේදිකාවට නැංගේ ය.

තවමත් තිරය වැසී තිබුණු නමුත් ප්‍රේක්‍ෂකයන්ගේ විවිධ කතා බහ තිරය එපිටින් හෝසොක්ගේ කන වැකුණේ ය. තම හදවත වේගයෙන් ගැහෙන බව දැනුණු ඔහු පපුවට සෙමින් තට්ටු කරමින් සන්සුන් වන ලෙස තරවටු කළේ ය.

පෙරදින රාත්‍රියේ අත්භූත තරුණිය විසින් ලබා දුන් තද කළු රෙදි පටිය ඔහුගේ සාක්කුවේ තිබුණි. එය පිටතට ගත් හෝසොක් ඒ දෙස බැල්මක් හෙළා එයින් සිය දෑස බැඳ ගත්තේ ය.

තවත් මොහොතකින් තිරය විවර වනු ඔහුට දැනුණු අතර ප්‍රේක්‍ෂකයන්ගේ වේගවත් අත්පොළසන් නාදය ඔහුට ඇසුණි. එනමුත් ඒ කිසිඳු අයෙක්ව තමාට නොපෙනීම පිළිබඳ දහස් වාරයක් ඔහු සතුටු වූයේ ය. ප්‍රේක්‍ෂකයන්ගේ තියුණු ඇස් අඛණ්ඩව තමා වෙත එල්ල වී තිබෙනු දැකීම ඔහු තුළ නොපහන් හැඟීමක් ඇති කළ ද මෙවෙලෙහි ඉන් බාධාවක් නොමැති විය.

සංගීත ඛණ්ඩය ආරම්භ වෙද්දී හෝසොක් නිදහසේ පාද තැබුවේ ය. ඒ සමගම ප්‍රේක්‍ෂකාගාරය ද නිහඬ වී ගියේ සංගීත ඛණ්ඩයේ උස් හඬ නිසා ය. පිහාටුවක් තරමේ සැහැල්ලුවකින් හෝසොක් නර්තනයේ යෙදුණේ ය. ඔහුගේ දක්‍ෂතාවය අවිවාදාත්මක විය.

අවට ඇති සියලු දේ පිළිබඳ ව හෝසොක්ට මොහොතකට අමතක වී ගියේ ය. තමා පමණක් මෙලොව ඉතිරි වී ඇති බව ඔහුට හැඟෙන්නට විය. එය ඔහුව නිදහස් පුද්ගලයෙකු බවට පත් කළේ ය. එතරම්ම වූ සැහැල්ලුවකින් ඔහු රිද්මයානුකූලව දෑත් හා දෙපා චලනය කළේ ය.

සංගීත ඛණ්ඩය අවසානයේ දී තිරය වැසී ගියේ ය. හෝසොක් දෑස් බැඳි රෙදි පටිය ගලවා ගත්තේ ය. තවදුරටත් ප්‍රේක්‍ෂකයන්ව නොපෙනුණු නිසා ඔවුන්ගේ ප්‍රතිචාරය කෙසේ වේ දැයි හෝසොක් පසු වූයේ චකිතයෙනි.

එක්වරම ප්‍රේක්‍ෂකාගාරයෙන් ඇසුණු කන් බිහිරි කරවන තරමේ අත්පොළසන් නාදය ඔහුගේ මුවට අහිංසක සිනහවක් ගෙන ඒමට සමත් විය.

එවිටම කොහෙන්දෝ පැමිණි ජිමින්, හෝසොක්ව වැළඳගත්තේ ප්‍රීතියෙන් කෑ ගසමිනි.

-"ඔයා හොඳට කළා...ජන්ග් හෝසොක්, ඔයා උපරිමයෙන් කළා."

හැමදෙයක්ම අවසානෙදි හෝසොක් දස ලක්‍ෂ වතාවක් තමාට උපකාර කළ අත්භූත තරුණියට සහ තද කළු රෙදි පටියට ස්තූතිවන්ත වූයේ ය.

සෑම අඳුරු වලාකුළක් තුළම රිදී රේඛාවක් ඇත.

- නිමි -

GLOOM  || JHS || ✅Where stories live. Discover now