6_

85 37 1
                                    

හෝසොක්ගේ රෝගය නිසා ඔහුව සමූහ නර්තනයකට එකතු කරගන්න තීරණය කළ ද හෝසොක්ගේ දක්‍ෂතාවයට මුල් තැන දුන් පුහුණුකරු ඔහුව ඒකල නර්තනයක් සඳහා තෝරාගත්තේ ය.

පෙර වතාවට වඩා හොඳින්ම පුහුණුවීම් කළ ද හෝසොක්ගේ හිත තවමත් පැකිළෙමින් තිබුණෙ ඔහුට ඔහු ගැන හරි හමන් විශ්වාසයක් නොතිබුණු නිසාවෙනි.

ප්‍රසංගයට පෙර දින සිදු කළ අවසන් පෙර පුහුණුවේ දී හෝසොක් කොපමණ කලබල වී සිටියා දැ යි කිවහොත් කිහිප අවස්ථාවකදී ම ඔහුගේ පියවර වැරදීම හේතුවෙන් පුහුණුකරුගෙන් බැනුම් ඇසීමට පවා ඔහුට සිදු වුණි.

නිවසට ගිය ද ඔහු සිටියේ නොසන්සුන්ව ය. රාත්‍රි ආහාරය වෙලෙහි ද තම පිඟානට පමණට වඩා ආහාර බෙදා ගත් ඔහුට ඒ සියල්ල ආහාරයට ගැනීමට නොහැකි වීම නිසා සිය සොයුරියගේ නෝක්කාඩු වදන් ඇසීමට සිදු විය. සේදීමට තිබෙන රෙදි අල්මාරියට දමා මවගෙන් ද බැනුම් ඇසීමට සිදු විය. අවසානයේ සිත සන්සුන් කර ගැනීම සඳහා ගීතයක් ඇසීමට සූදානම් වුව ද ඉයර් ෆෝන්වල ඇතිව තිබූ ගැටය ලිහා දැමීමට නොහැකිව එය ද පසෙකට විසි කර කෝපයෙන් ඇඳට වැටුණේ ය.

හෝසොක්ගේ සිතෙහි නිමක් නොමැති සිතුවිලි දස දහස් ගණනක් තෙරපෙමින් තිබිණි. ඒවා ඔහුගේ නින්ද ප්‍රමාද කිරීමට සමත් විය. තමාට වේදිකා භීතිය වැනි රෝගයක් ලබා දීම පිළිබඳ ව ඔහු දෙවියන්ට බැන වැදුණේ ය. එහෙත් අනෙක් අතට තමාට මෙතරම් අනගි දක්ෂතාවයක් ලබා දීම පිළිබඳ ව ඔහු දෙවියන්ට ස්තූති කළේ ය.

සයනයේ ඒ මේ අත පෙරළෙමින් සිටි ඔහු කරා නිදි දෙව්දුව ළඟා වූයේ හෝසොක්ගේ මව පැමිණ ඔහුගේ නළල මතින් උණුසුම් හාදුවක් ද තැවරූ පසුව ය. ඇය කාමරයට පැමිණෙන විට තමා සිටින්නේ ගැඹුරු නින්දකයැ යි ඇයට නොඇඟවූවා නම් තමාට ඒ හාදුව හිමි නොවන බව ඔහු දැන සිටියේ ය. කෙසේ වුව ද ඇගේ හාදුව ඔහුගේ නොසන්සුන් සිතට සහනදායී හැඟීමක් එක් කළේ ය.

වේදිකාව ඝන අඳුරේ ගිලී පැවතුණි. මේ සිටින්නේ කොහිදැ යි හොඳින්ම දන්නා නමුත් හෝසොක් අඳුර තුළ ඇවිද මංමුලා වූවේ ය.

එක්වරම මුළු ශාලාවේ ම විදුලි එළි දැල්විණ. තමා වේදිකාවේ තනි වී ඇති බවත් ප්‍රේක්‍ෂකයන්ගේ තියුණු අනුකම්පා විරහිත දෑස් තමා දෙසට එක එල්ලේ යොමු වී ඇති බව හෝසොක් දැනගත්තේ ය.

සිය එක් පියවරක් හෝ වැරදුණහොත් ඔවුන් තමාව අඳුරට රැගෙන යනු ඇතැයි ඔහු බිය විය. ඔවුන්ගේ තෙතමනයක් රහිත වියළි සිත් තුළ තමා වෙනුවෙන් අනුකම්පාවක් නොමැති බව ඔහු දැන සිටියේ ය.

සංගීතය ආරම්භ විය. ඔහුගේ දෙපාවෝ ඔහුට ද නොදැනුව ම නර්තනය ඇරඹූහ. පෙර වතාවේ සිදුවුණු සිදුවීම් පෙළ සිනමාපටයක් සේ හෝසොක්ගේ මනස තුළ සක්මන් කළේ ය. ඔහුගේ දෙපා විසල් වේදිකාව මතත්, සිත භයංකාර අඳුරු සිතුවිලි අතරත් සිරවී තිබුණි. ඔහුටත් නොදැනීම ඔහුගේ නර්තනය සිදු විය.

ප්‍රේක්‍ෂකයන්ගේ උකුසු ඇස් හෝසොක්ගේ නර්තනය දෙසට යොමු වී ගත වුණු හය වෙනි විනාඩිය ද සාමකාමී ව නිමා විය. "වාසනාවන්ත හත" යැයි පැවසුවාට එම හත් වෙනි විනාඩිය හෝසොක් කරා අවාසනාව ගෙන ආවේ ය. එක්වරම ඔහුගේ පය පැකිළී වේදිකාව මත ඔහුව දණ ගැස්විණි.

සංගීතය නතර විය. හෝසොක් පියවි සිහියට පැමිණියේ ය. ප්‍රේක්‍ෂකයන්ගේ හුස්ම ගන්නා හඬකුදු නැසී ගියේ ය. හොඳින් කන් දුනහොත් අල්පෙනෙත්තක් වැටෙන හඬක් පවා ඇසීමට තරම් නිහඬ බව ප්‍රබල විය. එපමණටම ඒ නිහඬ බව භයංකාර විය.

ප්‍රේක්‍ෂකාගාරය දෙස හිස ඔසවා බැලීමට බිය වුණු හෝසොක් මුහුණ බිමට බර කරගෙන සිටියේ ය. ඔහුගේ නළල පසකින් ගලා ගිය දහඩිය බිඳුවක් වේදිකා බිමට පතිත වනු ඔහු බලා සිටියේ ය.

තමා වටා අඳුරු වී යනු ඔහුට දැනුණි. දැනුණු අත්භූත හැඟීම ද සමග ඔහු හිස ඔසවා බැලුවේ ය. අඳුරු සෙවණැලි රාශියක් ඔහු වටා ගමන් කරනු හෝසොක් දුටුවේ ය. එය ඔහුව තව තවත් බියට පත් කළේ ය.

එම අඳුරු සෙවණැලි කෙමෙන් කෙමෙන් ඔහු වෙත ළඟා විය. කිසිවෙකුටත් ඔහුව දැක ගැන්මට නොහැකි වන පරිදි හෝසොක්ව වසා ගත්තේය. තම හුස්ම සිරවී යනු ඔහුට හැඟුණි. කෑ ගැසීමට උත්සාහ කළ ද ඔහුගේ මුවින් හඬක් නොපිටවුණි. තම දෙතොල් වියළී ගොස් වදන් උගුර තුළම සැඟවී ගොස් ඇති බැව් ඔහුට දැනුණි.

අඳුරු සෙවණැලි ක්‍රමයෙන් ඔහුව අඳුර තුළට ඇදගෙන ගියේ ය. මිදීමට උත්සාහ කළ ද ඔහු තව තවත් සෙවණැලි අතර සිර විය.

-"එපා...! මාව අතාරින්න."


ඔබ අඳුර තුළ ඇවිදීමට උත්සාහ කරන්නේ ද මනා සිහියෙන් යුතුව පියවර තබන්න. මන්ද යත් එක් වැරදි පියවරක් ඔබව සදාකාලිකව අඳුරු ආගාදයක් තුළ සිර කර දමනු ඇත.

GLOOM  || JHS || ✅Where stories live. Discover now