ප්‍රථම දිගහැරුම

571 63 14
                                    


"මගෙ කොල්ලා නැතුව මං ජීවත් වෙලා මොකටද මහත්තයෝ.. ඇයි දෙයියනේ මාත් ඌ එක්කම නොමැරුනේ.. මගෙ කොල්ලා නැතුව මං මේ පැල්පතේ කොහොම තනියෙන් ඉන්නද.. අනේ මගෙ දෙයියෝ.. මාවත් අරං පලයං රත්තරනේ.."

වහලෙන් පහළට එල්ලිලා තියන මකුළුදැල් මැද්දෙන්, කහ පාට අඳුරු එළිය මැටි බිත්තිවල තිබ්බ මූස්පේන්තු පාට අඩුකරාද කියන්න මං දන්නෙ නෑ. එකතුවෙලා හිටිය දහ දොලොස් දෙනාගෙ කඩුකුසුවෙන් ගේ පුරා තිබ්බ මූසල නිහැඬියාව අඩුවුනාද කියන්න මං දන්නෙත් නෑ. උදේ පටන් ගත්ත මොර සූරන වැස්ස තාම අඩු වුනෙත් නෑ.. ඒ හැමදෙයක්ම මැද්දෙන් අමුතු පාලු හැඟීමක් මගෙ ඇටමිදුලු පවා හාරගෙන ඇතුලට ගියා..

මගෙ ඇස් තිබ්බෙ ඒ පුංචි ශරීරෙ ළඟ. ජීවිතේ පළවෙනි වතාවට ලස්සන සූට් එකක් ඇඳලා පිළිවෙලට ඇඟිලි පටලන් ඉන්න ඒ නිවිච්ච රූපෙ ළඟ. ඒ මූණෙ සුදුමැලි පාට, වෙනදා රෝස පාටින් දිලිසෙන අද වේලිලා ඉරිතැලුනු තොල් මට මතක් කළේ කඩදාසි මලක්. ඒ කඩදාසි මල ලස්සනට පෙනුනෙ මට විතරද කියන්නත් මං දන්නෙ නෑ..

"උණ වැඩිවෙලා රක්තපාතෙට යනකන්ම බෙහෙත් ගන්න ගිහින් නෑ. ඩෙංගු කියන්නෙ කැස්ස හෙම්බිරිස්සාව වගේ දෙයක්ද?"

"අනේ ඉතිං මං දන්නවද මහත්තයෝ.. බෙහෙත් ගන්න යමු කිව්වම කිව්වෙම ආච්චි අම්මෙ තව ටික දවසකින් මට සනීප වෙයි කියලා.. අනිවාරෙන් ඉස්කොලේ යන්න ඕනි කිව්වා අලුත් සර් හොඳට උගන්නනව කියල.. අනේ මගෙ පණ එහෙම කිව්වා මහත්තයෝ.."

මට වටපිටාවෙ වෙන දේවල් ඇහෙනව, පේනවා. ඒත් මට ඒවගෙන් වැඩක් උනේ නෑ..

හැකි නම් මම
හුස්ම පිඹිනවා උඹට
සත්තයි
කඩදාසි මල..











🌼🌼🌼











"අපි දැන් යමු කවිහාර සර්." අමල් ඇවිත් මගෙ උරහිසින් හෙල්ලුවා.

අපි හිටියෙ කනත්තෙ. වෙන මළගෙවල්වල වගේ මග පාර දෙපැත්ත, වළ වටේ සුදු කොඩි, මල් වඩම් පුරවල තිබ්බෙ නෑ. මෙතන හිටොයෙ සුදු ඇඳගත්ත මිනිස්සු හතර පස් දෙනෙක් විතරයි. එක මල් වඩමක් විතරක් තියලා, එක ඉටිපන්දමක් පත්තු කරලා තියන කඩදාසි මල නිදන් ඉන්න තැන දිහා මං බලන් හිටියා. එතන නම ගහපු සිමෙන්ති පුවරුවක්වත් නෑ.. කවුරුවත් ම දැනගන්න එකක් නෑ පිපෙන්නත් කලින්ම මලක් මෙතන පරවුනු වග..

"යමු."

"පුදුම ළමයි දැන් ඉන්නෙ. තමන්ගෙ යාලුවෙක්ගෙ මළගේකට එන්නෙ නෑනෙ. ඒලෙවල් කියලා පුදුම ඇම්මෙන් ඉන්නෙ."

"හ්ම්ම්."

"මොනව උනත් සෙනෙහස් අහිංසක කොල්ලා. පව්. ඉගෙනගන්න ලොකු උවමනාවක් තිබ්බා. අම්මා අප්පා හිටිය නම් ඔහොම වෙන්නෙ නෑ. අර වයසක උන්දැට තේරෙන්නෙ නෑ කොල්ලෙක් බලාගන්න. වයස අනූවක් විතර ඇති."

"එයාලට ආදායමක්?"

"ඒ කාලෙ රජයේ රස්සාවක් කරල තියන නිසා පෙන්ශන් එක එනවලු."

"ඒ ළමයගෙ අම්මා තාත්තා?"

"අම්මා දාලා ගිහිං, පස්සෙ තාත්තා බීමට ඇබ්බැහි වෙලා මැරිලා ගිහින්."

"ම්ම්ම්."

"කවිහාර සර්ට හොඳ වියදම් නේද.. අපරාදෙ අපට ළමයිගෙන් කීය කීය හරි එකතුකරගන්න තිබ්බෙ.."

"ඒකට කමක් නෑ අමල් සර්. මං ඒ ළමයගෙ පන්තිභාර ගුරුවරයනෙ."

"ම්ම්.. එහෙනම් මං ගියා සර්. හෙට ඉස්කෝලෙන් හම්බෙමු."

"ඕකේ."

මං ආපහු හැරිලා කනත්ත දිහා බැලුවා. කඩදාසි මල ට තනිද කියන්න මං දන්නෙ නෑ.. ඒත් පංතියෙත් හැමදාම තනියෙන් හිටපු නිසා උඹට ඒක හුරු ඇති. පපුවෙ හිරියක් වැටීගෙන එද්දි මං නොදැනුවත්වම වෙන පාරකට යන්න හැරුනා. ඔව්. මට ආයෙ සැරයක් ගිහින් එන්න ඕනි.. කඩදාසි මලේ හුස්ම වැටුන තැනට..

පිපෙන්නත් කලියෙන්
පරවුනාම
ගහට කොච්චර
දුකයිද..

















කඩදාසි මල් [completed] (bxb/ Sinhala bl)Where stories live. Discover now