සයවන දිගහැරුම

279 50 6
                                    


හිමදූවෙ වැහි ඍතුව මූසල තරමට ම ලස්සනයි. රෑ එළිවෙනකන් වහින මොරසූරන වැහි නිසා පොළොව හැමනිතරම තෙතයි. තද කොළපාට ගස් වල බැඳෙන සුදුපාට මීදුම පාරවල්වත් නොපෙනෙන තරම ට තදයි. වැහි පුසුඹ මිහිරියි. ඒත් මගේ හිත පාලුයි. හැම උදයක්ම, දවාලක්ම, රෑක්ම පාලුයි. හිමදූව දාලායන්න බැරි තරම් හිතින් බැඳිලා තිබුනත්, යන්න දින දවසින් දවස ළංවෙද්දි, ඇබ්බැහි වුනු ආදරණීය දින පොතක පිටුත් එකිනෙක ඉවර වුනා.

".... අලුත් සර් බැඳලා කියලා අමල් සර් කියනවා මං අහගෙන. සර්ට දුවෙකුත් ඉන්නවලු. මං දන්නෙ නෑ මගෙ හිත මෙච්චර වේදනා දෙන්නෙ ඇයි කියලා. සර්ගෙ දුව සර් වගේද දන්නෙ නෑ. ඒත් සර් කවදාවත් පවුල ගැන කතාකරලා නෑ. මං තවදුරටත් ඒ ගැන හිතුවෙ නෑ. මං අවධානෙ දෙන්න ඕනි විභාගෙට. වෙන දේවල් ඕනි නෑ. ඒත් අලුත් සර් මතක්වෙද්දි පපුවෙ පැත්තක් රිදෙන එක නවත්තගන්න අමාරුයි. අලුත් සර් දිහා මං දැන් වැඩියෙ බලන්නෙ නෑ. සර්රුත් මාත් එක්ක වැඩියෙ කතාකරේ නෑ. මට දුකයි."

මට මතක්වෙනවා මං ඒ ඇස්වල කතාව තේරුම් අරන් සෙනෙහස්ව මගෑරපු දවස්. ඒ දවස්වල මට ඒක වදයක් වුනා. හිතේ තිබ්බ ප්‍රශ්න කන්දරාව නිසා අනවශ්‍ය ආකර්ෂණයක් පවා පෙනුනෙ වදයක් විදිහට. එහෙම නොකර ඉන්න තිබ්බා කියලා දහස් වතාවටත් මට අද හිතෙනවා. අඩුම තරමෙ මට කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න තිබ්බා. එහෙම උනා නම් උබේ අන්තිම දවස් ටිකේවත් උබ සතුටින් ඉඳියි නේද..

මතකයක්
මතකයක් විතරක්ම
නොවන විට
හැඟීම් ගිනිතබයි
දවයි පාරවයි හිත
නුඹ ගියා
හිතේ තව කැළලක්
ඉතිරි කර..













🌼🌼🌼










"... ගුරු දිනේට බුලත් හුරුලු අතින් අරන් අපි පෝළිමට ගුරු විවේකාගාරෙට යද්දි අලුත් සර් හිටියා. ළමයි ඔක්කෝම වැන්දහම අන්තිමට ඉතුරු වුනේ මම. මම ඒ සපත්තු අත්දෙකෙන්ම අල්ලලා දණගහලා වැන්දා. සර් හින්දා මගෙ ජීවිතේ ගොඩක් වෙනස් වුනා. ඒකට මං ස්තූතිවන්ත වෙන්න ඕනි. සර් මගෙ ඇස් මගෑරියා. ඒ කේන්තියටද කියන්න මං දන්නෙ නෑ. ඒත් සර් සාධාරණයි. මං ශිෂ්‍යයෙක් විතරයි. ඒක තේරුම්ගන්න ඕනි. සර් මට කිව්වෙ එක දෙයයි ' තමන්ගෙ අධ්‍යාපනය ගැන හිතන්න. වෙන බහුබූත හිතන්න එපා. හිමදූවෙන් එහා විසාල ලෝකයක් තියනවා.' සර් කිව්ව දේ මට තේරුනා. මං ඒ ඇස් දිහා බැලුවා. ඔව්, මට තේරුනා."

මං දිනපොත වැහුවා. වටපිටාව නිශ්ශබ්දයි. අඳුරුයි. මගෙයි සෙනෙහස්ගෙයි අවසන් කතාබහ. ඒ ඇස්වල කතාවට මං දරුණුත් නොවන දරුණු උත්තරයක් දුන්නු දවස. ඒ හැඟීම් ප්‍රතික්ෂේප නොකර ප්‍රතික්ෂේප කරපු දවස. මං කළේ කළ යුතු දේ. ඒත් ඒ වචන මාව රිද්දන්නෙ මගෙ සීයට සීයක් අවංක නොවුනු නිසාද.. දෙමව්පියො වෙනුවෙන් විවාහයක්. බිරිඳ වෙනුවෙන් දරුවෙක්. මට අවශ්‍ය නොවුනු ඒත් මං ළඟාකරගත්ත ජීවිතයක්. ඒක මගෙ තෝරාගැනීම. හැඟීම වෙනුවෙන් ජීවත තුනක් අසරණ කරන්න බැරි තැන මං මාව රවට්ටන්න උත්සාහ කරපු තැන. ඒත් කඩදාසි මල මටත් වඩා ශක්තිමත් වෙලා අවංක හැඟීම් එළියට දාපු දවස.

"මට තේරෙනව සර්. මට සමාවෙන්න ඒත් මං ආදරෙයි."

එදායින් පස්සෙ ගෙවුනු දවස් පාලුයි. ඒ දිග ඇස් තවදුරටත් මගෙ ඇස්වල ගැටුන්නෑ. කවුරුවත් මං එනකන් මග බැලුවෙ නෑ. කවුරුවත් ගුරු විවේකාගාරෙ ගාවින් නිතරම ඇවිදන් ගියේ නෑ. කවුරුත් හවසට අහම්බෙන් මාත් එක්කම යන්න මුණගැහුනෙ නෑ. හරියට කවදාවත් ම එහෙම කෙනෙක් මගේ ජීවිතේ හිටියෙ නෑ වගේ. නොසෑහෙන්න පාලු දැනුනත් ඒ පාලුව මගෙ උරුමයක් බව මං මට මතක් කරන් නිශ්ශබ්ද උනා. මේ මට උරුම, මං තෝරගත්ත ජීවිතය.

කතාකරන ඇස්
මුණ නොගැහුනු දවස්
කල්පයක් වැනිය.
ඒ දිග හවස්
මුමුණපු රහස්
නොඇසුනානම් හොඳය..











කඩදාසි මල් [completed] (bxb/ Sinhala bl)Where stories live. Discover now