05

152 44 10
                                    

'පුදුමයි මුන් දෙන්නා අහුවෙන්නේ නැතුව  ඉන්න එකත්.' සහන් ආපන ශාලාව පසුකර යන අතරේ තමාටම පවසා ගත්තේ ආපන ශාලාවේ කොණක තිබූ බංකුවකට හිඳගෙන සිටි නිහින්ව සහ සයුරිව දැකීමෙන් අනතුරුවයි. 

ඒ පාසල අවසාන වී පැයකට පමණ පසුවයි. එදා සවස් කාලයේ ඔවුන්ට පැවති ක්‍රීඩා තරඟ නිසාවෙන් ළමුන් කිහිප දෙනෙකු පාසලේ තැනින් තැන සැරිසරමින් සිටි අතර පැසිපන්දු පුහුණුවීම් සඳහා නතර වූ සයුරි මෙන්ම ටෙනිස් තරඟ සඳහා නතර වූ නිහින්ද ඒ අතර විය.

ක්‍රීඩා පුහුණුවීම් තුනහාමාරට ආරම්භ වන නිසාවෙන් විවේකය සඳහා නිදහස් කර තිබූ ළමුන් අතරෙන් ආපන ශාලාවේ සිටියේ නිහින් සහ සයුරි පමණකි. බොහෝමයක් ළමුන් ඉන් එහා පස තිබූ සමූපකාරයෙන් විවිධ කෙටි ආහාර ගනිමින් සිටියහ.

නිහින්ගේ ඉදිරිපිට දිගහැර තිබුණේ ඔහුගේ කෑම පෙට්ටියයි. ඔහු දකුණතින් එය ආහාරයට ගනිමින් සිටි අතර ඔහුගේ වම් අත නම් නිදහසේ තිබුණු බවක් පෙනෙන්නට නොතිබිණි. මේසය මතින් ඔහුගේ අත තදකර තබා අල්ලාගෙන සිටි සයුරි ඔහුගේ අත මතින් හිස තබා දෑස් පියාගෙන සිටියාය.

නිහින් ඊට කිසිඳු විරුද්ධත්වයක් හෝ ප්‍රතිරෝධයක් එල්ල නොකර කිසිවක් නොවූවාක් මෙන් තමාගේ පාඩුවේ ආහාර ගනිමින් සිටියේය.

සමූපකාරයෙන් ගත් කිරි පැකට්ටුවක් බොමින් එතැනින් ගමන් ගත් සහන්ට ඔවුන් දෙදෙනා දැකීමෙන් කිරි උගුරේ සිරවූ අතර තමාටම වදන් කිහිපයක් මතුරා ගත් සහන් ඉක්මනින් එතැනින් ඉවත්ව ගියේය. 

කාලයත් සමගින් නිහින්ගේ අතක් මත නින්දට වැටීම සයුරිගේ ජීවන පුරුද්දක් බවට පත්ව තිබිණි. පාසලේ උගන්වන කාලය තුළ මෙය සිදු නොවූවද එය බෙහෙවින් සිදුවන්නට ගත්තේ සාමාන්‍ය පෙළින් පසුව ඔවුන් ශිෂ්‍ය නායක රාජකාරී සඳහා පාසල් පැමිණෙන කාලයේදීය. 

සාමාන්‍ය පෙළින් පසුව පැවැත්වුණු භාෂා දිනයේ සංවිධාන කටයුතුවල නම් ලැයිස්තු සහ අනෙකුත් සංස්කරණ කටයුතු වල යෙදී සිටියේ නිහින්ය. ඔහුගේ සහයට කාර්යක්ෂමව වැඩ කරන සයුරිව යොදා තිබූ අතර කවුරුන් කෙසේ කීවත් ඔවුන් දෙදෙනා නම් තමාගේ රාජකාරී අතපසු නොකර ඉටු කරන බවක් සියල්ලන්ට දැකිය හැකි විය. 

නිහින් පරිඝනකාගාරයේ කොණක හිඳගෙන නම් ලැයිස්තුව සකසමින් සිටියදී කොහේදෝ සිට දිව විත් හති ළමින් සිටි සයුරි ඔහුගේ එහා පසින් හිඳගත්තාය. පෙහාන් තමාගේ ගිටාරගේ තත් සකසමින් භාෂා දිනය උදෙසා ගීතයක් පුහුණු වෙමින් සිටි අතර සහන්, අනුත්මි සහ කසුනි ඇතුළු සියල්ලන් සැරසිළි කටයුතු වල යෙදී සිටියහ. 

'මට මහන්සියි.' සයුරි කීවේ නිහිගේ දෙපා අසල බිම තිබූ ඔහුගේ වතුර බෝතලය ගෙන එය හිස් කරන්නට පෙරයි.

නිහින් මෘදු සිනහවකින් ඇයට පිළිතුරු දුන් නමුත් වදනක් හෝ නොකියා නැවතත් තමාගේ ලැයිස්තුව සකසන්නට විය.

'ඕක ඉවර වෙන්නේ නැද්ද අප්පා. තාම ඔයා ඕක ට්‍රාන්ස්ලේට් කරනවද?' සයුරි ඔහුගේ බාහුව මතින් හිස තබා පරිඝනකයට එබුණාය.

'මේක ටිකක් අමාරුයිනේ. මම හෙමින් ඉවර කරන්නම්.' සයුරිගේ බෙලෙක්ක හඬට කිසිසේත් නොගැළපෙන තරමේ සන්සුන් හඬකින් නිහින් පිළිතුරු දුන්නේය. 

'හ්ම්ම්..' සයුරි හූමිටි තබමින් ඔහුගේ බාහුව මතින් තමාගේ හිස ඉවතට නොගෙන දෑස් පියාගත්තාය.

නිහින්ට නම් ලැයිස්තුව සැකසීමට ඔහුගේ අත නිදහස් කරගැනීමට අවැසි වුවත් ඔහුට සයුරිගේ හිස තම අතින් ඉවත් කිරීමට හිත දුන්නේ නැත.

තමාගේ හුරුපුරුදු වමතට මදක් සයුරි වෙනුවෙන් කාලය වැය කිරීමට ඉඩ හැර දකුණතින් පමණක් නම් ලැයිස්තුව සැකසීම ආරම්භ කළේය. 


_______

පාරාදීස

2023. 07. 21

Q : නිහින් සයුරි දෙන්නට ආදර සම්බන්ධයක් තිබ්බද.. නැත්තම් ඒ දෙන්නා එහෙම නොකියා ඒ වගේ හිටියද? 

පාරාදීසය [gxb] | completedWhere stories live. Discover now