06

164 45 10
                                    

සාමාන්‍ය පෙළින් පසුව නිහින් පාසල් ගිය දිනයක සයුරි පාසල් පැමිණ තිබුණේ නැත. සාමාන්‍යයෙන් සයුරි සෑම දිනකම පාහේ පාසල් පැමිණියේ ඇයට නිහින්ව දැකීමට තිබූ තදබල උවමනාව නිසා බව නොදැන සිටින්නා සේ සිටින සියල්ලන් දැන සිටියහ.

ඇය ශිෂ්‍ය නායක රාජකාරී සඳහා නොපැමිණිත් විවේක කාලයට ආසන්නව තිබියදී නිල ඇඳුමෙන් නොව ඇගේ ක්‍රීඩා ඇඳුමෙන් පළාත් තරඟ සඳහා අත්සන් කිරීමට පැමිණි බව නිහින් නොදැන සිටියේය.

නිහින්ව බැලීම සඳහා ශිෂ්‍ය නායක කාමරය වෙත පැන පැන යමින් සිටියේ සයුරි එක්වරම මග නතර වූයේ නිහින් සහ ඔවුන්ගේ වයසේ තවත් ශිෂ්‍ය නායකයෙකු වූ තරිඳු කතා කරමින් සිටි හඬ ඇයට ඇසුණු විටයි.

ඔවුන් කෙතරම් වේලාවක් මොනවා කතා කළාදැයි ඇය නොදැන සිටි මුත් ඇයට ඇහුණේ ඉන් වදන් කිහිපයක් පමණි.


'මම සයුරිට උඹලා හිතන විදිහට ආදරේ නෑ බං.. මට එයා එක්ක සම්බන්ධයක් පටන් ගන්න ඕන නෑ..' 

ඒ නිහින්ගේ හඬයි. 

ඉන් පසුව තරිඳු කී කිසි දෙයක් හෝ නිහින් කී කිසි දෙයක් සයුරිගේ කන වැකුණේ නැත. ඇගේ මනස හිස් වූ ආකාරයක් ඇයට දැනුණු අතර කඳුළු පිරි දෑසින් සයුරි කිසිවක් ‌කිසිවෙකුටත් නොකියා පාසලෙන් පිටවී ගියාය. 

සයුරිට ඇසුණු වදන් කිහිපය එය වුවත් එය පසුපසින් තිබූ සම්පූර්ණ කතාව ඇය දැන නොසිටියාය.

නිහින් සහ තරිඳු ශිෂ්‍ය නායක කාමරයේ ජනේලය අසල හිඳගෙන අලුතින් පැමිණෙන හය වසර ළමුන් සඳහා කඩදාසි මල් සකසමින් සිටියහ. ඔවුන් දෙදෙනා එය සකසද්දී තරිඳු එක්වරම නිහින්ට ප්‍රශ්න කිහිපයක් එල්ල කළේ අනපේක්ෂිත ලෙසයි.

'සයුරි උඹට කැමතියිද?' 

'ඔව් නේද?' නිහින් මලක් කපා තමාගේ පසෙකින් තබනා අතරේම කෙටි පිළිතුරක් දුන්නේය.

'ඉතින් ඔයා එයාට ආදරෙයිද? මම කිව්වේ යාළුවෙක් විදිහට නෙවෙයි අර අර විදිහට?' තරිඳු තමාගේ ප්‍රශ්නය වඩාත් දිග්ගසමින් ඇසුවේ කතුරෙන් කඩදාසියක් හිල් කරනා අතරතුරයි.

'මොන විදිහටද?' නිහින්ට තවමත් එහි බරපතලක් නැත.

'ඒකිගේ පෙනුමට? කටහඬට? පිස්සු ගතිගුණවලට වගේ?' 

නිහින් කඩදාසි මලක් නවන්නට විය. 'මම සයුරිට උඹලා හිතන විදිහට ආදරේ නෑ බං.. මට එයා එක්ක සම්බන්ධයක් පටන් ගන්න ඕන නෑ..'

 අවාසනාවකට මෙන් ජනේලයෙන් අනෙක් පස සිටි සයුරිට ඇසුණේ එම වාක්‍ය පමණකි.

තරිඳු වික්ෂිප්ත විය. 'මොකක්ද අපි හිතන විදිහෙයි ඔයා කරන ආදරෙයි තියෙන වෙනස?' 

නිහින් දිගු සුසුමක් ගෙන තමාගේ කඩදාස වැඩය නතර කළේය. ඉන්පසුව ඔහුගේ මුවින් පිටවූයේ ඔහු තම මුළු පාසල් ජීවිතයටම ගැහැනු ළමයෙකු සම්බන්ධයෙන් කළ දිගම වැකියයි.

'මම එයාට ආදරෙයි. මම දන්නේ නෑ කොහොමද කියලා. මට එයාට ඒක කියන්න ඕන. මට එයාව බලාගන්න ඕන. ඒත් මම දන්නේ නෑ එයා ඒක මගෙන් බලාපොරාත්තු වෙන්නේ මොන විදිහටද කියලා. එයාට ගෙදරින් වැඩිය ආදරයක් නෑ. ඉස්සර යාළුවෝ හිටියෙත් නෑ.. මම දන්නේ නෑ එයා මගෙන් පවුලෙන් ලැබෙන ආදරයක් හොයනවද, යාළුවෙක්ගෙන් ලැබෙන එකක් හොයනවද එහෙමත් නැත්තම් හෝමෝන නිසා වෙන ආදරයක් හොයනවද කියලා. කොන් ‌වෙලා කතා නොකර හිටපු ‌කෙනෙක්නේ දැන් ඔය සතුටින් ඉන්නේ. ඉතින් මම එයා බලාපොරොත්තු වෙන දේ නොදී එයාට ආයෙත් රිද්දුවොත්? මට බයයි ඒක කරන්න. ඒකයි මම එයා ගාවට වෙලා හිටියට වචනයක්වත් නොකියන්නේ..' 

සයුරි මේ කිසිවක දැන නොසිටියාය. 

ඇය සිතා සිටියේ නිහින් ඇගේ හැඟීම් අවුස්සාලමින් ඇයව සෙල්ලමකට ගත් බවයි.

එය සයුරිගේ සිත තුළ නිහින් කෙරේ ඇති වූ වෛරයේ මූලාරම්භය විය.


__________

පාරාදීසය

2023. 07. 21

Q : සයුරි මොන වගේ ආදරයක්, අවධානයක් නිහින්ගෙන් බලාපොරොත්තු වුණා කියලද ඔයාලා හිතන්නේ?


පාරාදීසය [gxb] | completedWhere stories live. Discover now