07

173 46 9
                                    

"මොනවා වෙලාද ‌සයුරිට?" පෙහාන් විමසුවේ ඔවුන් කතා කරමින් සිටිනා තැනට නිහින් පැමිණි විගස සයුරි එතනින් ගස්සාගෙන පිටවූ විටයි.

"මමත් දැන් බලන් හිටියේ. නිහින්ව දැක්ක තැන නොදැක්කා වගේ යනවා." කසුනි වදයට පත් හඬකින් කියද්දී නිහින් සයුරි එතැනින් පිටව යන දෙස බලා සිටියේය. 

"එයාගේ හැටිනේ ඉතින්." ඔහු සයුරිව බේරා ගැනීමට මුසා පැවසුවද ඔහුද සිත කොණකින් ඇගේ වෙනස්වීම ගැන වදවන්නට විය.

"උඹ කියනවා නම් කමක් නෑ." පෙහාන් නැවතත් තමාගේ රාජකාරියට අවධානය යොමු කරමින් පැවසුවේය.

උසස් පෙළ සඳහා නිහින්, සයුරි සහ කසුනි තිදෙනාම වෙනත් පාසල් සඳහා ඇතුළත් වූ අතර එම පිටවීමේ දිනයේදී පවා නිහින් සමගින් වදනක් හෝ කතා කිරීමට සයුරි පියවර ගත්තේ නැත. නිහින් ඇයව මුණ ගැසීමට උත්සාහා කරනා සෑම අවස්ථාවකදීම ඇය ඔහුව මගහැර සිටින්නට උත්සාහා කළාය.

උසස් පෙළ වසර දෙකටම සාමාන්‍ය පෙළ මිතුරන්ගේ හමුවීමේ ප්‍රතිශතය දශම තිත් දෙකකුත් පසු කර ගොස් තිබූ අතර වසරකට වරක් හෝ ඔවුන් එකිනෙකා දුටුවා නම් ඒ මහ පාරකදී පමණි.

කෙසේ නමුත් නිහින් සහ සයුරි දෙදෙනා නම් බොහෝ විට උසස් පෙළ පන්ති සඳහා එකම ආයතනය කරා ගිය අවස්ථා බොහෝ විය. ‌ඒ සියලු අවස්ථාවලදී සයුරි ඔහුගෙන් ඈත්වී සිටියාය. ඔහුගේ බැල්ම ඇය කරා වැටෙන සෑම වාරයක් පාසාම ඇය ඒ බැල්ම මගහැර ඉවත බලාගත්තාය.

සාමාන්‍ය පෙළට වඩා උනන්දුවකින් ඔවුන් දෙදෙනාම අධ්‍යාපන කටයුතු වල යෙදී සිටි මුත් සිත කොණකින් දෙදෙනාම තවමත් එකිනෙකා ගැන සිතමින් සිටියහ.

අවසාන වතාවට ඔවුන් දෙදෙනා අතර වදන් හුවමාරුවක් සිදු වූයේ උසස් පෙළට මාස තුනකට පෙරයි. වසර තුනක් තුළදී සයුරි ඔහුට පැවසූ ප්‍රථම වදන් කිහිපය එය විය.

සෙනසුරාදා දහවලක ඔවුන්ගේ ‌භෞතික විද්‍යා සීඝ්‍ර පුනරීක්ෂණ පන්තියක විවේක කාලයේදී පහළ මාලයට බැස ආ නිහින් දුටුවේ මේසයක තනිව හිඳගෙන කිරි පැකට්ටුවක් පානය කරමින් සිටි සයුරිවයි.

ඇය බොහෝ විට තනිව සිටියද බොහෝ සිසුන් ගැවසී අවස්ථාවලදී නිහින් ඇය කරා ඇවිද යාමට පෙළඹුණේ නැත. නමුත් මේ අවස්ථාවේ සිසුන් බොහෝ දෙනා විවේකයට ආයතනයෙන් පිටත ආපනශාලා කරා ගොස් තිබූ බැවින් ආයතනයේ ආපනශාලාවේ සිටියේ සිසුන් විස්සක් තිහක් පමණකි.

සිතට ධෛර්ය ගත් නිහින් සයුරි ආහාර ගනිමින් සිටි තැනට පිය නැගුවේය. ඔහුගේ අඩි හඬ ඇසෙනවාත් සමගම යන්තමින් හිස ඔසවා බැලූ ඇය එතැනින් නැගිටීමට උත්සාහා කළාය.

"සයුරි.. මට කතා කරන්න.." ඇය පිටවී යෑමට තැත් කරත්ම නිහින් ඇගේ අතකින් අල්ලා ගත්තේය.

"මට ඉන්න දෙනවා!" සයුරි තර්ජනාත්මක හඬකින් පවසද්දී නිහින් ඇගේ අත අතහැරියේය.

සයුරි එතැනින් පිටව ගිය අතර නිහින් හිස් බැල්මකින් යුතුව ඇය පිටව යන දෙස බලා සිටියේ කිරීමට කිසිවක් සිතා ගත නොහැකිවයි.

එතැන් පසු නුවර එළිය ගමන දක්වාම සයුරි ඔහු දෙස බැලීමට හෝ වද වූයේ නැත. උසස් පෙළ පීඩනයත් සමගින් නිහින්ටද ඇය ගැන සිතීමට තිබූ කාලය අවම වූ අතර මගකදී ඇයව දුටු විට ඔහුට දැනුණු අමුතු ආකාරයේ වේදනාව හැරුණු කොට වෙනත් කිසිඳු වේදනාවක් ඔහුට නොදැනිණි.

නමුත් ඔහුගේ ඒ දුක හා ඔවුන් දෙදෙනා අතර තිබූ පීඩනකාරී වාතාවරණය නැවතත් කරළියට ගෙන එමින් නුවර එළියේ බංගලාවේ අඳුරු කාමර කහ එළියකින් දීප්තිමත් වී තිබිණි.


_________

2023. 07. 22

පාරාදීසය

Q : සයුරි මේක තේරුම් ගනීවිද.. එහෙමත් නැත්තම් මේ කතාව ඉවර වෙන විදිහ ගැන වෙනත් අදහසක් ඔයාලට තියෙනවද? 


N/A | අද මම මේක අප්ඩේට් කරන්නත් නෙවෙයි හිටියේ. ඒත් ජීවිතේ පළවෙනි වතාවට රීඩර් කෙනෙක් මේකේ අප්ඩේට් ඉල්ලලා තිබ්බා. ඒ සතුට වෙනුවෙන් අනික් වැඩ ටික පැත්තකට දාලා මේක ලියන්න ගත්තා.

ස්තූතියි beluga-z !


පාරාදීසය [gxb] | completedWhere stories live. Discover now