"තද කළු පාට බූට් සපත්තු අඩිය ට තැලෙන තෙතබරිත වියළි කොළවලින් නැගුණු චිරිස් චිරිස් නාදයත්, කන ලඟින් ම රැව්පිලිරැව් දෙන නොනවතින හෝ..හෝ... සංගීතයත් ලඟ ලඟ ම දිය ඇල්ලක් හුස්ම ගන්න බව මට පසක් කළා.
මිනිස් පුළුටක් නැති අහීමාන ක්නක්ල්ස් කන්දේ තනිකඩ දේශ ගවේෂණයක පිටත් වෙලා කිසිම ඇහැකින් ඉඳුල් නොවුණු දර්ශනයක් චිත්‍රයකට නගන්න, ඒ ලස්සන මේ ලෝකෙට පෙන්නන පළවෙනි ම කෙනා වෙන්න ආසාවක් මට තිබුණේ මම කොලොම් තොටින් ගොඩ බැස්ස පලවෙනි දවසෙ ඉඳලාම.
ඇස් හරහා වැටිලා තිබුණු නිල්කොළ පාට අත්තක් එහාට කරපු මගේ ඇඟ පුරා හිරිගඩු පිපුනේ ඒ මැවුණු අයස්කාන්ත දර්ශනය නිසා. දෙවියන්වහන්සේගේ ආශිර්වාදලත් දිව්‍යමය තටාකයක වගේ සුදෝසුදු ජලධාරා ඇද හැලුණු ඒ දිය ඇල්ල වගේ ස්වභාවික නිර්මාණයක් මම කවදාවත්ම දැකලා තිබුණේ නැහැ. ඒ දර්ශනයෙන් වශීකෘත වෙලා නොදැනුවත්වම අඩියෙන් අඩිය ඉස්සරහට ම ගිය මාව ඊලඟ මොහොතේ එක පාරට ම පාසි බැඳුණු ගලක පැටලිලා ඇද ගෙන වැටුණේ නහර පුරා දුවන සීතලෙන් කටු අනින රිදුමකින් මගේ අතපය ගල් වෙනකොට. මෙච්චර වෙලා කඳු තරණයට වාරු වුණු එක ම සැරයටියත් මගේ ග්‍රහණයෙන් ගිලිහිලා යනකොට ප්‍රබල ජල තරංගත් එක්ක මම පොර බැදුවේ මගේ ගමන් මල්ල ගල්පර දෙකක් අතරේ හිර වෙලා මට හෙල වෙන්නවත් බැරි වෙනකොට. ටිකෙන් ටික මගේ හුස්ම ගබඩාව හිස් වෙනකොට ජීවත් වෙන්න තිබුණු ආසාවත් මගෙන් දුරස් වෙන්න ගත්තා. මගේ ඇඟේ සෛල අස්සේ ඉතුරු වෙලා තිබුණු අන්තිම ශක්ති ධාරාවත් එකතු කරලා උඩට එන්න දරපු අවසන් වෑයමත් අසාර්ථක වෙද්දී මං නිසලව ම දෑස් පියාගත්තා.
"ජබෝස්..."
ඈතින් යමක් වතුරට වැටෙන සද්දෙත් එක්ක ගං ඉවුර කැලඹිලා යනකොට වතුර යටින් ලං උනු පපුවක උණුහුමක ට මාව හිරවුණා. ඒත් එක්කම දෙපැත්තෙන් ම මතු වුණු බාහු යුගලයක් මගේ බඳ වටේට වෙළුණේ ටිකෙන් ටික මගේ ඇඟ යටකරගෙන තිබුණු ජල තලයේ බර ලිහිල් වෙනකොට. මම ඇස් පියාගෙන ම ඒ පපුවට තවතවත් තුරුල් උනේ ඒ සිනිඳු මස්පිඬු අස්සෙන් කාන්දු වුණු උණුසුමත්, ආරක්ෂාවත් මගේ කලබල හදවතට අමුතු ම සනීපයක් ගෙනාපු නිසා.....
YOU ARE READING
අසීමාන්තික | | "UNCONDITIONALLY"
Fantasy"කුණාටුවකට අහුවුණු ඩැන්ඩියලින් මලක් වගේ අපිත් රේණු සිය ගාණකට බිඳිලා කොහේදෝ පාවෙලා යනවා මට දැනෙනවා මිහිත්...☘️💙" ~ හයාන් (2024) 初恋のすみれ 秘めたる涙、虹を作る My virgin violet, Hidden tear drops, create rainbo...