Chapter 1

276 17 4
                                    

1 වැනි පරිච්ඡේදය

"වෙන විකල්පයක් නෑ, ඇම්බෝ. මට සමාවෙන්න," සාලියාගේ හඬ ඔහුගේ මනසේ දෝ\කාර දුන්නේ වලලන්නට වෙරදරන කෝපය ගොඩදමමිනි.
"එක්කො ඔයා කසාද බැඳලා අම්මගේ දේපල අයිතිකරරගන්න ඕන. එහෙම නැත්නම් මේ කෙල්ලො තුන්දෙනාගෙයි 'ලයිෆ්' සමූහ ව්යාපාරයෙයි භාරකාරත්වය ජායිරුන්ට භාර දෙන්න ඕනෙ."
ජායිරුන් නැන්දාගේ නම ඇසෙනවාත් සමගම අමාෂ් දත්මිටි කෑවේ සිතේ බුර බුරා නැගෙන කෝපය දෙගුණ වෙද්දීය. ඇය කාටවත් හොඳක් කරන්නේ නැත. ඈ යන යන තැන ඇවිලෙන ගින්දරට පිදුරු දමන වග අමාෂ් අත්දැකීමෙන් දන්නේය. ඒ කෙසේ වෙතත් අම්මා ඔහු උරමත බලහත්කාරයෙන් පටවා ගොස් ඇති වගකීම් ගොන්න කරගහන්න අමාෂ් සූදානම් නැත. අම්මාගේ වියෝව පිලිබඳ දැනගත් මොහොතේ සිත කම්පා වූ වග සැබෑය. එතෙක් ඈ පිලිබඳ වූයේ නොරිස්සුමකි. එහෙත් එයාකාරව අමනාපය පෙන්නා ඈ රිදවන්නට තවත් ඈ ජීවතුන් අතර නැතිවග දැනෙද්දී සිත වාවන්නට වූයේ නැත. ඇගෙන් හා පවුලෙන් ඔහු පැන දුවද්දී අවුරුදු දහසයක කොළුගැටයෙකි. තමා ප්රතික්ෂේප කළ මේ ජීවිතයෙන් සහ බැඳීම් වලින් ඔහුට ගැලවෙන්නට බැරුවා විය යුතුය. නැතිනම් යළිත් භූමරංගයක් සේ කැරකී උන් තැනටම තමා පැමිනෙන්නේ නැත.
විච්චූර්ණ වූ ලෝකයෙන් තමාව ඇද ඉන්දියානු සාගරයේ තනි වූ කඳුළු බිඳුවට කවුරුන් හෝ විසිකළාක් බඳුවූ හැඟීමක් අමාෂ්ගේ සිත පුරා උඩු දුවන්නට විනි. මේ පොලොව හැරදා මේ රටින් පිටමං වූයේ යළිත් කවදාවත් මෙහි නොපැමිනෙන බලාපොරොත්තුවෙන්ය. ඒ මේ මව් දෙරණට වෛරකළ නිසා නොව, ඒ තරමට තම මවගේ ඇසුර නොරිස්සූ නිසාය.
"ඔයා නං කරන්නෙ හිත රිදෙන විහිළු, ආන්ටි සාලිහා. දැනට ඒ ගෙදර කෙල්ලො තුන්දෙනෙකුයි, වයසක ගෑනු කෙනෙකුයි ඉන්නවා මදිද හොල්මං කරන්න? තවත් ගෑනියෙක් ඒ ගොඩට? විකාර තමා!"
අමාෂ් හිස දෙපසට සැළුවේ හිතට නැගෙන තරහ සමතයකට පත්කරගන්නටය. සාලිහා රවුම් ඇස් කණ්නඩි අතරන් ඔහු දෙස බලා එය හරිගස්සාගත්තේ හරියට විකෘර්තිව පෙනෙන ඔහු යළි යතාතත්වයකට පත්කරගත හැකිවෙතැයි විශ්වාසකළාක් සේය. පසුව මෙතෙක් වේලා ඈ අධ්යනය කරමින් උන් නීති පත්ර අතට ගත්තාය.
"මාත් කැමතියි මෙක විහිළුවක් නං, අමාෂ්. ආ...ඔයාම කියවලා බලන්නකෝ."
කඩදාසි කිහිපය අමාෂ් වෙතට දිගුකරමින් ඈ කීවාය. එය ගනු වෙනුවට අමාෂ් හිඳහුන් පුටුවේ පස්සට වී හාන්සි වූයේය. ඒ, ඔය ලියවිලි පිලිබඳ තමාට කිසිම උනන්න්දුවක් නැතිවග අඟවන්නටය. අමාෂ්ගේ උදාසීන ප්රතිචාරය දැක සාලිහා කඩදාසි මිටිය මත ඊයම් බරුවක් තැබුවාය.
"මන් මෙයාව දන්නේ නෑ" අමාෂ් අකමැත්තෙන් කීය. නොරිස්සුම් සහගත හැඟීම් ඔහුගේ හඬ බාල කරන්නට සමත් විය. තමා මේ තරම් පහත් තත්වයකට වැටුනේ කෙළෙසද? අම්මාගේ යෝජනාව සැලකිල්ලට ගැනීම පවා මෝඩකමක් නොවේද?
"අම්ම කෙනෙක් තරම් දරුවෙක්ව දන්න වෙන කෙනෙක් නෑ, ඇම්බෝ. විශ්වාස කරන්න දැංවත්," සාලිහා සංයමයෙන් කීවේ ඔහු සිත තේරුම්ගෙනය.
අමාෂ්ගේ කට ඇද වූයේ සිතට නැගෙන සමච්චලයේ බරට වාගේය. අම්මාට ඔහු සිත තේරුම්ගන්නට පුළුවං වුනා නම් වසර දහසයකට පෙර ඇගෙන් පැන දුවන්නට ඔහුට සිදුවන්නේ නැත. අම්මා ඔනෑ කමින්ම ඇගේ ජීවිතයෙන් තමන්ව එලවා නොගත්වග අමාෂ් දන්නේය. තරුණ සිත තැලෙන තරමට වැඩ සිද්ද වීම කාටවත් නවතාගන්නට බැරි විය. එසේ නවතාගන්නටත් කාටවත් ඕනෑකමක් තිබුනේත් නැත. අමාෂ් කවදත් අම්මාගේ හිතුවක්කාර දරුවාය. ඇගේ අවසන් ගමනදා හෝ ලඟ ගැවසෙන්නට බැරි වූ අවාසනාවන්තයාය.
අමාෂ් දිගු සුසුමක් හැරියේ ඉල ඇටවලට තෙරපෙන හදවත සැහැල්ලු කරගනු වස්ය.
"මේක ඔයාට කරදරයක් කියලා මං දන්නවා, අමාෂ්. මට සමාවෙන්න ඇම්බෝ."
සාලිහා නිරතුරුවම ඔහුගේ හුරතල් නමින් කතා කරද්දී අමාෂ්ට සිහි වූයේ තම ළමා කලය. එය ඉඩෝරයට හසුවී ඉරිතලා ගිය මහ පොලව මතට ඉසෙන දිය බිඳක් සේ වූ සැනසීමක් සිතට ලංකර දෙන්නට සමත් විය.
"අඩුම ගාණේ අම්මගේ අවසන් කැමැත්තට ගෞරවයක් හැටියටවත්..." සාලිහා යළි කීවේ අඩමාණයටය.
"මං අකමැති උනත්?" පහව ගිය නොරිස්සුම ආයෙත් ඇවිත් ඇඟේ පැටළුනේ ජන්ම පුරුද්දට වාගේය. සාලිහා ඈ සිතට දැනි කෝපය දිගු සුසුමක අමුණා හැරියාය.
"ඔයාට තෝරගන්න විකල්පයන් දෙකක් තියෙනවා, ඇම්බො." ඇගේ හඬ ටිකක් සැරය.
"එක්කො ඔයා කසාද බඳින්න එකඟ වෙනවා. එහෙම නැත්තං මේ කිසිදෙයක් ඔයාට අදාල නැහැ කියලා ආයෙත් ඔයාගේ පුරුදු ලෝකෙට යනවා." සාලිහා උන්නේ නොරිස්සුමකින් නොවුනත් අමාෂ්ගේ සිත නොරිස්සුමෙනි. ඔහුගේ හදවත එයාකාරවූ සත්කාරවලට හුරු වූ තෝතැන්නකි.
"හැම දේම එයාට අයිති නෑ. මට එයාලගේ භූදලේ ඕන නෑ ආන්ටි සාලිහා. මට මගේ තාත්ත ජීවත් වෙච්ච ගෙදර වටිනවා. ඒකට කොහෙවත් ඉන්න එවුං අයිතිවාසිකම් කියනවට මං කැමති නෑ." අමාෂ් වියරුවෙන් වාගේ එක් අතක් කඩදාසි ගොඩ මත ගැසීය. ඒ වේගයට ඊයම් බරුව උඩ විසි වී මේසය මත පෙරලෙන්නට වූයේ සාලිහාගේ දෙනෙත් ඒ වෙත යාකරමිනි. අම්මා තරමට වයසැති අම්මාගේ හොඳම මිතුරිය කියූවකට කිසිම ගරුසරුවකින් තොරව එයාකාරව පෙරලා ප්රති පිලිතුරු බැඳීම නොහොබිනා දෙයක් වග ඔහු සිත තරවටු කරන්නට වූයේ සාලිහාගේ දෙනෙත් ඔහු නෙත් මග හරින්නට වූ තැනය. එහෙත් එ පිලිබඳ ඔහුට පසු තැවීමක් වූයේ නැත. අඟලක් අඟලක් ගානේ තාත්තාගේ ආදරයේ හුස්ම පොද තැවරුණු ඒ නිවසේ අම්මා ඇගේ ලක්ෂපති සැමියා හා ජීවත් වන්නට හිත හදාගත්තේ කොහොමදැයි අමාෂ් නිරතුරුවම සිතුවේ පිලිකුලෙනි.
ඔවුන් දෙදෙනාට තාත්තාගේ ඉපැරණි නිවසට වඩා නව මාදිලියේ සුඛෝපබෝගි නිවසක ජීවත් වන්නට තිබුනා නොවෙද? අම්මා ජීවත්ව ඉන්නා තුරු කවමදාකවත් එංගලන්තය හැරදා ලංකාවට නාවේත් මේ නිසාය. නොහික්මුණු තමා නිසා ඇගේ ලෝකය අපායක් කරන්නට ඔහුට උවමනා වූයේ නැත. අම්මා හා අවසන්වරට ඇතිවූ බහින්බස් වීම අදටත් ඔහු සිත තුල දෝංකාර දෙන්නට වේ. අම්මාට වරක් එපා වූ ඔහුට අම්මා යළි කිසිදා දකින්නට ඕනෑ වූයේ නැත. ඒ ප්රාර්තනය දෙවියන් අකුරටම ඉටුකර දුන්නේය.
ඒ වග දැනෙද්දී අමාෂ් දැනුනේ අපහසුතාවයකි. ඔහු නිවුනු නෙතින් සාලිහා දෙස බැලුවේය. ඔහු ඈ බිය ගැන්වූ වග අමාෂ්ට වහා අවබෝධ වූ නිසාම යලිත් පුටුවේ පස්සට වී හිඳගත්තේ දෑත් එකිනෙක පටලාගනිමිනි. තම කෝපය සාලිහා නැන්දාට පෙන්වීම වරදක් වග ඔහු සිත කියන්නට විනි. වරක් අමාෂ් දෙස බැලූ සාලිහා ඊයම් බරුව ගෙන යළිත්වරක් කඩදාසි මත තැබුවාය. ඈ කරන්නේ ඇයට භාර වූ කර්තව්යය, අමාෂ් සිතුවේ පසුතැවීමෙනි. සාලිහා දෙස එක එල්ලේ බලන්නට බැරි වූ අමාෂ් මේසය මත දැන් අපිලිවෙලකට ඇති කඩදාසි දෙස බැලුවේය. කවුළුවෙන් කාර්යාල කුටිය තුලට පීරාගෙන ආ මද සුළං රැල්ල කඩදාසි ගොඩ පිරික්සන්නට වෙර දරන්නේය. නිදහසේ සීසී කඩ විසිරෙන්න ආසාවෙන් වාගේ කඩදාසි එකිනෙක දඟකරන්නට විය. එහෙත් ඊයම් බරුවේ බරින් නිදහස් වන්නට ඒවාට නොහැක්කේ හරියට තම උර මත පැටවුනු මේ අනවශ්ය වගකීම් ගොන්න නිසා ලතවෙන තමා සේයැයි ඔහු සිතුවේය. අම්මා ජීවත් වුවහොත් තමා පත්ව ඇති තත්ත්වය දැක සතුටුවෙනු ඇත්ද? ඈ ඉකිබිඳ හඬා වැලපෙනු ඇත. නැත. අමාෂ් පිලිබඳ ව උපන් අනුකම්පාවට නොව. කෙසේ හෝ පවුලේ බර කත් දරන්නට කියා පින්සෙන්ඩු වෙනු ඇත. ඇගේ කපටි සැලසුම් වලට කෙසේ හෝ ඔහු නම්මාගන්නට වෙර දරනු ඇත. දෑ ඇඟිලි තද වූයේ නිරායාසයෙනි. ජීවත්ව සිටියදීත්, මියගිය පසුවත් ඇගේ සෙනෙහසට උරුම කියන්නේ අර තිවුන්නුය.
"මට දැනගන්න පුළුවංද අම්මා තෝරගෙන තියෙන ලේලි පොඩ්ඩ කව්ද කියලා?"
බොහෝ වේලාවකට පස්සේ අමාෂ් අකමැත්තෙන් වුව යළි හඬ අවදි කළේය. සාලිහාගේ කට කොණක ඇඳෙන සරදම් සිනහව ඈ ගිල ගන්නට තැතනුවත් කළුවු තොල් අග යන්තමට රැලි වැටෙනු අමාෂ් දුටුවේය. ඔහුට දැනුනේ අම්මා පිලිබඳ වූ කෝපයකි.
"අමාෂ්, ඔයා තාමත් කසාද බැඳලා නැතතං...හරි, මං දන්නවා ඔයා තාම තනිකඩයෙක් කියලා...ඒත් වෙන කා එක්කවත් පැටලැවිල්ලක් නැත්තං..."
"මෙච්චර කල් මං සරුංගල් ඇරියෙ නෑ ආන්ටි සාලිහා...පැටලෙන්න." අමාෂ් වචන දමා ගැසුවේ අමනාපයෙනි. සාලිහා අතකින් මුව වසාගත්තේ මේ කොල්ලාගේ නොරිස්සුම වැඩිකරන්නට ඇයට උවමනා නොවූ නිසාය.
"ඒ..බී, සංවර, හොඳ හැදිච්ච ගුණයහපත් කෙල්ලෙක්..." අමාෂ් කොක් හඩලා හිනැහුනේ සිතැතුලෙන්ය. ඒ විස්තරය හොඳ මංගල කිංකිණි පිටුවකටය.
"ඒ බී? රහස් ඔත්තු වේවාවෙ කෙනෙක්ද?" ඔහු ඇසුවේ උපහාසයෙනි.
"ආමිනා ඉස්මයිල්," සාලිහා කීවේ උපැස්යුවල ගලවන ගමන්ය. ඒ නම ඇසූ මොහොතේ අමුතු දෑ සිතට නැගුනේ නැත. අර චිත්රපටවල වාගේ පසුපසින් ආත්මීය සංගීත රාවයක් ඇසුනේද නැත. දැනුනේ නිකංම නිකන් හිස් බවකි. එසේ නූනා නම් පුදුමය. ඔහු හඳුනන්නේ එකම නමකි. සිත මුමුණන්නේත්, පතන්නේත් ඒ එකම නම විතරමය.
'ඒ සුවිශේෂි කෙනාට නං තමුන්ගැන කිසි ගාණක් නෑ.' ඔහුගේ යටි සිත මතක් කර දෙන්නට විය. ඈ හමුවී වසර හතකට වැඩිය. ඔහුගේ යෝජනාවට පවා පිලිතුරක් නොදී ඈ අතුරුදන් වූයේ තම සිතත් පැහැරගෙන යමිනි. එදා පටන් ඈ අමතක කර ජීවත් වෙන වගට සිත දිව්රාගත්තත් හැමදාකම ඒ පොරොන්දුව පිලිබඳ සිහිවන්නේ සිත රිදවාගත්තායින් පසුවය.
"අම්මාගේ ඉද්දාව කාලයේ මේ ළමයා තමයි අම්මව බලාගත්තේ." සාලිහා ආඩම්භරයෙන් කියද්දී අමාෂ්ගේ දෙබැම එසවුනේ පුදුමයෙනි. අම්මා සිය ලේලිය කරගන්නට සිහින මැව්වේ මෙහෙකාරියකද? ඔහු සිත ඔච්චම් කරන්නට විනි.
"එයා තමයි දැනට ලයිෆ් සමූහ ව්යාපාරයේ භාරකාරයා."
අමාෂ්ගේ කොඳු නාරටිය කෙළින්වූයේ නිතැතිනි.
"මොකක්?!"
"හුරුබුහුටි හොඳ උගත් කෙල්ලෙක්, අමාෂ්."
සාලිහාගේ ඉරියව් සැහැල්ලු බවක් උසුලන්නට විය.
'මේ ගෑනි මන්තරකාරියක්ද කොහෙද. නාකි ගෑනු දෙන්නම ගොනාට අන්දවගෙන' ඔහුගේ සිත උපහාස කරන්නට විය.
"සාමාන්ය කෙල්ලක් නෙමෙයි අමාෂ්...සාමාන්යයෙන් අසාමාන්ය කෙල්ලක්...ඔයා අකමැති වෙන එකක් නෑ." අවසන් වදන් ටික සාලිහා කියාගත්තේ ඈටම වුවත් අමාෂ්ට ඈ කියුවක් හොඳ හැටි කණවැකුනි. ඔහුගේ දෙතොලග පොඩි සෙලවීමක බඳුන්වූයේ නිරායාසයෙනි. පුදුමයකුත් වෙන්න බෑ...පොඩ්ඩක් අසාමාන්ය වෙලා හරි එයාට ඕන විදිහට මේ ගෑනු දෙන්න අල්ලේ නටවන්න පුළුවං වෙලා තියෙනවා...ඔහු ඔහුටම කොඳුරාගත්තේය.
'සාමාන්යයෙන් අසාමාන්ය කෙල්ලක් විවාහ කරගන්නවා තරම් මෝඩකමක් තවත් තියෙන්න පුළුවංද? ඔය කියන හැටියට නං යුද හමුදාපති කෙනෙක් වගේ. දෙවියනේ...බේර ගන්න මාව!' ඔහුගේ යටි සිත කෑමොර දුන්නේ නිදහස පතා ආයාචනාකරන්නට මෙනි.

***
ඉද්දාව-  'බලා හිදීමේ කාලය' නොහොත් සැමියා මියගිය හෝ දික්කසාද කල බිරිද දස දිනකුත්, සිව් මසක කාලයක් බලා සිටිය යුතුය. ඒ බොහෝ දුරට ඒ කාන්තාව ගැබ්ගෙන සිටින්නේදැයි දැන ගැනීම වස්‍ය. මේ කාලයේ ඇයට විවාහ වන්නට බැරිය. ඉස්ලාමයේ පරම්පරාව පිලිබද දැනගැනීමේ අයිතියට ලැබෙන්නේ විශේෂ ස්තානයක්. දරු ගැබක් ඇති තැන වෙනත් කසාදයක් කරගත්විට දරුවා කාගේදැයි දැන ගැනීම අපහසු වෙනවා.

***
වචනෙන් වචනෙට පරිවර්තනය නොකරන නිසාත්, මේ මගේම කෘතියක් නිසාත් කතාව පොඩ්ඩක් එහා මෙහා වෙනවා. යතුරු ගෑ හැටියෙම මුහුණු පොතට දාන්නෙ කියවන්න බලං ඉන්න කට්ටිය නිසා. වැරදි ඇති අනන්තවත්. හැමදාම වගේ මග ඇරලා කියවන්න. හැබැයි ගැටළුවක් වගේ දැනුනොත්, පැටලෙනවා වගේ දැනුනොත් කියන්න අමතක කරන්න එපා.

ආදරේ විතරමයි- Nothing but LoveWhere stories live. Discover now