Chapter 4

128 10 5
                                    

4 වැනි පරිච්ඡේදය

"ඕකේ ලේඩි, හෝල්ඩ් ඕන්! මට පස්වෙනි පාරටත් වැරදි නොම්බරයක් කියලා අහගන්න ඕන නෑ. නැත්තං දොරක් නැති ඔෆිස් කැබින් එකක් ඉතුරු වෙයි ඔයාට."
අමාෂ් එක හුස්මට කීවේ එහා ඉමෙන් දුරකථනය විසන්දි වන්නට මත්තෙන්ය. ඔහුගේ අහංකාරය හිස මුදුනටත් එහාය. එහෙත් තමන්ට ඉතිරිව ඇති වෙනත් විසඳුමක් නැත. මේ විවාහයට ඇගේ අකමැත්ත තමන්ගේ වාසිය තකා යොදාගන්නට අමාෂ් සිතුවේය.
"ඔයාට මගෙන් මොනවද ඕන කරන්නේ?" එහා ඉමෙන් සිහින් හඬක් ඇසුනි.
"ඔයා දන්නවා මට ඕන කරන දේ."
"මං හිතුවේ මාළු බාන්න යනවා කියලා." ඈ නොරිස්සුමෙන් කියද්දී අමුතු හැඟීමක් සිතට දැනෙන්නට විය. ඒ නිසාද ගිරිය පුප්පන්නේ?' ඔහු තමාගෙන්ම අසාගත්තේය.
"මුහුදු හිඳිලා...ග්ලෝබල් වෝමිං." අමාෂ් සැහැල්ලුවට කීවේ ඈ හා මිතුරු වන්න සිතාගෙනය.
"මට ඔයාව හම්බ වෙන්න පුළුවංද? මට අපේ ගිවිසුම ගැන කතා කරන්න ඕනේ." ඈ පෙරලා යමක් කියන තුරු අමාෂ් මොහොතක් බලා උන්නේය. එහෙත් ඈ නිහඬය.
"හ්ම්! හොඳයි. මට සමාවෙන්න. මට උදව් කරන්න පුළුවං ඔයාට විතරයි."
අහංකාරකම පසෙකලා ඔහු වදන් ඇමිනුවේ ඔහු තරමටම මුරණ්ඩු කෙල්ලක් වග වටහාගෙනය. එහා කොණින් ඇසුනේ ඇගේ දිගු සුසුමක හඬය.
"හරි... හරි. මං කියපු හැමදේම ආපස්සට ගන්නං. මට විනාඩියක් දෙන්න වැදගත් කාරණයක් කියන්න තියෙනවා."
අමාෂ් කීවේ ස්වරය වෙනස් කරමිනි. කෙල්ලකට මේ තරම් බාල්දුවූ අවස්ථාවක් නැති තරම්ය. ආදරයට සිඟමන් යැද්දේ එකම එක් කෙනෙක්ගෙනි. එහෙත් ඈ ඔහු හා වැඩි කතාවක කවදාවත් පැටළුනේ නැත. පැත්තකට වෙලා ඈ දෙස බලමින් ඇයට පෙම් කළේ තමන් මිස ඇය නොව. ජායිරුන් නැන්දාගේ පසුම්බියක් වන් වූ කපටි සිනහව මතක් වෙද්දී තමා කොතරම් පහත් තත්ත්වයකට වැටී හෝ මේ වැඩේ කරගත යුතු වග ඔහුගේ පැසුණු බුද්ධිය මතක් කර දෙන්නට විනි.
"ඉන්ෂා අල්ලාහ්, මං ආන්ටි සාලිහාට කියන්නං." ඒ ඇසෙත්ම ඔහුගේ තද ඇහි බැමි එකිනෙක යාවුනි.
"පෙරකදෝරුවෙක් මොකටද අපේ කසාදෙ ගැන කතාකරන්න?" අමාෂ් කීවේ මුහුණ පුලුටු කරගෙනය. සාඉහා නැන්දා ඉදිරියේ තම උපායන් ගැන කතා කරන්න බැරිය. කුමක් හෝ කියා අම්මාගේ අභිමතයන් ඔහු ලවා ඉටුකරගන්නට සාලිහා නැන්දා දන්නීය. අම්මාත් ඇයත් ගජ මිතුරියන් වූයේ අහම්බයෙන් නොවන්නේ ඒ නිසාය.
"මං තාම ඔයාව කසාද බඳින්න කැමැත්ත දුන්නේ නෑ. අනෙක ආන්ටි සාලිහා නිකංම නිකං පෙරකදෝරුවෙක් නෙමෙයි. මට හිතවත් කෙනෙක්. මං අනික් අයවගේ ඒ හිතවත්කමට පයින් ගහන කෙනෙක් නෙමෙයි."
ඈ කියද්දී අමාෂ් රහසේ ඈ අනුකරණයකරමින් හිස තාලෙකට දෙපැත්තකට වැනුවේ 'තවත් ගුරෙක්' යැයි තමාටම කියා ගනිමිනි. සමහර විට හැම ගැහැණියක්ම පල්පුරුදු පෙරකදෝරුවන් වෙන්ටැති, සිත ඔච්චම් කරන්නට විනි.
"මං ඔෆිස් එකට එන්නද? නැත්තං ලයිෆ් එක ඉස්සරහ තියෙන කොෆී ශොප් එකට එනවද?" ඈ කියුවක් ගණනකට නොගෙන ඔහු ඇසුවේය.
"ආන්ටි සාලිහාට පුලුවං වෙලාවක මාව හම්බවෙන්න එන්න."
'තනියම හම්බවෙලා කතාකළහම මොකද වෙන්නේ?' අමාෂ්ගේ මුහුණ කළු ගැහුනේ ඇගේ හිතුවක්කාරකමටය.
"මෑම්...මං කසාද බඳින්නේ ආන්ටි සාලිහාව නෙමෙයි. ඔයයි මමයි. අනෙක මං ඔයාව ගිලින්නෙ නෑ." සරදම් ස්වරයෙන් කීවේ සිතේ බුබුළු දමන අමනාපය වසංකරගනිමිනි.
"මට සමාවෙන්න, ඒත් මට බෑ."
"මං කියනෙක අහගන්නකෝ...මට ඔයාගේ සම්පූර්ණ නම මතක නෑ...අර විකාර නම කියන්නේ මොකද කියලා මං දන්නෙත් නෑ." අමාෂ් දිගු කතාවක් කියන්නට පටන් ගත්තද ඔහුගේ සැබෑ ස්වරූපයට බැරෑරුම් බව ඔරොත්තු නොදෙන තරම්ය.
"ආමිනාහ්, මගේ නම ආමිනාහ්. ඒ විකාර නම මගේ මුලකුරු." අමාෂ්ට කතාකරන්නට ඉඩ නොදී ඈ වදන් දමා ගැසුවාය. ඔහු පිලිබඳ වූ අපැහැදීම ඇගේ හඬින් මනාව ඉස්මතුවන්නට විනි. අමාෂ් මහ හයියෙන් සිනා වුනේ අවන්හලේ ඇතැමෙකුගේ අවධානය පැහැරගනිමිනි. ඈ එය කියූ ආකාරය සිනා ගන්වන සුළුය. හොස්ස ලඟින් මැස්ස ගියා සේ මේ තරුණිය ඔහු කියන්නකට තරහා ගන්නේ ඇයි?
"වට් එව! ඔයා ගැන මොකුත්ම නොදැන මං කොහොමද ඔයාව කසාද බඳින්නේ?" අමාෂ් හේතු පැහැදිලි කරන්නට වෙර දැරුවේය. බෝඩිමක් බලද්දී පවා කාමරය බෙදාගන්නා කෙනා හා ඇබිත්තක් කතා කරන්නේ කෙටි කාලයක් වුව එකම කාමරය බෙදාහදා ගන්නට හැකි වේදැයි බලන්නටය. එහෙව් එකේ කසාදයක් කරගනිද්දී අනාගත සහකාරිය හා කතා බහ කර පිලිවෙලක් වීමේ ඇති වැරැද්ද කුමක්ද? සැබෑය. ඈ හා පවුල් කන්නට ඔහුට කිසිම අවශ්යතාවයක් නැත. එහෙත් එකම ගෙදරක සහකරුවන් ලෙසින් ජීවත් වන්නට යන ඔහුත් ඇයත් කතා බහ කර ගැනීම වැරැද්දක් ඇත්තෙහිද?
"එකනම් ප්රශ්නේ දැනගන්න ඕන වෙලාවට දැනගන්න පුලුවං...කසාද බැඳයින් පස්සෙ." ඈ කියද්දී අමාෂ්ගේ කට කොණ දඟකාර සිනහවක් රැඳෙන්නට විනි.
"ඒ කියන්නේ මේකට කැමතියි?" කතුරවගේ චතුර ඇගේ කතාව අඩපණකරමින් ඔහු ඇසීය.
"නෑ, කොහෙත්ම නෑ."
"කැමති වෙයි,"
"කවදාවත් නෑ." ඈ උන්නේ කෝපයෙන් වග අමාෂ්ට හොඳ හැටි තේරුණි. එහෙත් ඉන් සැලෙන්නට ඔහු සූදානම් නැත.
"ඒ කියන්නේ හිතවත් අයගේ හිත් බිඳිනවා කියනෙකද?" අමාෂ්ගේ ඉඟිය තේරුනු ඇය මදකට නිරුත්තර වූවාය.
ඉලක්කයට පහර දුන් වග සිත කියාගත්තේ මහ උජාරුවටය. ඇය අම්මාටත්, සාලිහා නැන්දාටත් හුඟක් සමීප වග ඇගේ හැසිරීමෙන් ඔහු මේ වන විට වටහා ගෙන හමාරය. ඔවුන් වෙනුවෙන් මේ යුවතිය ඕනෑම දෙයක් කරනු නො අනුමානය.
"මොනවද මං එක්ක කතා කරන්න තියෙන්නේ?" ඇය ඇසුවේ පැරදුනු ස්වභාවයෙනි.
"කොච්චරක් තියෙනවද? කෝපි කෝප්පයක් බොනගමන් කතා කරමුද?" අමාෂ් ඇසුවේ වට පිට පිරික්සමිනි. අවන්හලේ ඒ තරම් සෙනඟක් ගැවසුනේ නැත. නිදහසේ ඔහුගේ සැලසුම පිලිබඳ කතිකාකරගන්නට පුළුවන. එහෙත් ඇගේ නිහැඬියාව පසක් කර දුන්නේ ඇගේ කැමැත්තට ඔහු කන් යොමු කළ යුතු බවය. ඈ කෝප කරවා ඔහුගේ සැලසුම් සාර්තක කරගත නොහැක.
"හොඳයි. මට තේරෙනවා ඔයා කියනෙක. මට ඔයාගේ උදව් ඕන. මං ලංකාවට ඇවිත් දවස් තුනක්වත් නෑ. මං ඔයා ගැන මොකුත්ම දන්නේ නෑ...අර කෙල්ලො තුන්දෙනා ගැන...ලයිෆ් එක ගැන...මොකුත්ම දන්නේ නෑ." ඔහු කීවේ ඈ සිත දිනාගන්නට සේය.
"අහ්...මට තේරුණා...ඔයාට ලයිෆ් එක ගැන කිසිම දෙයක් දන්නේ නෑ කියලා..." ඈ යුහුසුළුව කීවාය. අමාෂ්ගේ දෙනෙත් නලලේ ඉන්දැවුනේ ඈ ඒ කියූ ආකාරයටය.
"අහ්...නෑ...නෑ..නෑ...ඔයාට මං කිව්වෙක එක තේරුණේ නෑ ලිට්ට්ල් මිස් පර්ෆෙක්ට්. මං කිව්වේ මට ලයිෆ් සමාගම ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියලා."
"මමත් කිව්වේ ඔයා කියපු දේම තමයි. ඔයා කවදාවත් ලයිෆ් එක ගැන පැහැදීමකින් ඉඳලා නෑ...නන්නත්තාර වෙන්න ඇරෙනවා මිසක්." ඒ කියා ඇය තත්පරයකට දෙකකට නිහඬ වූයේ ඈ කියූවක් ඔහුගේ සිතේ ගැඹුරුම තැන ස්පර්ෂ් කරන්නට ඉඩ හරින්නට වගේය.
"මං කිව්වෙ ලයිෆ් සමාගම ගැන." ඈ කී වචනයක් වචනයක් පාසා අමාෂ්ගේ හදගැස්මේ වේගය වැඩි වුනි. 'ඒ වගේ මට කතාකරන්න මෙයාට කොහෙන්ද එච්චර හයියක්?' ඔහුගේ කැලඹුණු යටි සිත කීවේ නොරිස්සුමටය.
"ඔය කිව්වේ ලයිෆ් සමාගම ගැන විතරක්ද? ඊට එහා දෙයක් තියෙනවා වගේ." අමාෂ් සිතාමතා ඈ අපහසුතාවයට පත් කරන්නට සිතුවේය.
"ඊට එහා ගොඩක් දේවල් තියෙනවා මිස්ට හසන්...ඔය ලයිෆ් එකේ අගේ දන්නේ ඒකට ආදරේ කරන අයට."
"අහ්! පොඩ්ඩක් ඉන්න! ඔයයි මමයි කතා කරන්නේ එකම මාතෘකාව ගැනද?"
පැටළුණු සිතැතිව අමාෂ් ඇසුවේය. ඈ කීවේ සමාගම පිලිබඳවමද?
"අපි දෙන්නට වෙන මොනවද කතා කරන්න තියෙන්නේ ලයිෆ් සමාගම ගැන කතා කරනවා ඇරෙන්න? මං හදවතින් ඔයාගේ අම්මාගේ අවසන් කැමැත්තට එකඟ වෙන්න බැඳිලා ඉන්නවා...ඔයා නීත්යානුකූලව බැඳිලා ඉන්නවා...ඒකයි වෙනස."
ඇගේ ඒ කතාවින් අමාෂ් සැනසුම් සුසුමක් හෙලුවේය. ඈ මෙතෙක් වේලා කතාකොට ඇත්තේ තම පවුලේ ව්යාපාරය පිලිබඳව විතරය.
එකවර දැනුනේ හිස් වූ බවකි. අමාෂ් යටිතොල සපාගත්තේ බලාපොරොත්තු බිඳවැටුනු කලෙක මෙනි. 'ඇයි කලකිරෙන්නේ. එයාටයි තමුන්ටයි කිසිම නෑකමක් නෑ නේ?' යටි සිත වද දෙන්නට පටන් ගැනුනි.
"මතක් කරලා දුන්නට ගොඩක් ස්තූතියි. මේ නිසයි මට හිතෙන්නෙ මේ වැඩේට නියම සුදුස්සා ඔයා කියලා. මං පොරොන්දු වෙනවා කිසිම අපහසුතාවයකට ඔයාව පත් නොකරනවා කියලා. අර කෙල්ලො තුන්දෙනාට අවුරුදු දහ අට පැන්නහම ඔයයි මායි දෙන්නම මේකෙන් නිදහස්. මට මන්සූර්ගේ තඹ සතයක්වත් ඕන නෑ. මට ඕන මගේ තාත්තගේ ගෙදර. ඒක අම්මටවත්, මන්සූර්ටවත් අයිති නැහැ. මම ඒ චපල ජෝඩුවගේ මොකුත් ඒ ගෙදර ඉතිරිවෙනවා දකින්න කැමති නෑ." අමාෂ් කවදාවත් තම සිත වෙනයෙකු ඉදිරියේ විවර කළේ නැත. තමා පිලිබඳ සියළු තතු කියන්නට, කියා ජීවිතය බෙදා හදාගන්නට ඕනෑ වූයේ එකමෙක අයෙකු හා පමණි. එහෙත් ඒ කෙනා කිසිදාක ඔහුට ලං වූයේ නැත.
"මම කල්පනා කරන්න ඕන." ඈ කීවේ උදාසීනව වාගේය.
"මට දෙන්න ඒ හැටි වෙලාවක් නෑ.ඔයා ඒ ගැන හොඳටම දන්නවා." අමාෂ් කීවේ දෙදෙනාම යම් එකඟතාවයකට පැමිණි කලෙක වන සැනසීමකිනි.
"මං දන්නවා...ඒත්," ඈ යළි අදි මදි කරන්නීය.
"මං දන්නවා මේක විකාර අදහසක් කියලා. මට සමාවෙන්න. කවුරුත් මේ වගේ කසාදයකට කැමති වෙන්නේ නෑ. ඒත් මොකක් හරි හේතුවකට අම්මා ඔයාව විශ්වාස කළා...ඒ නිසා මටත් ඔයාව විශ්වාස කරන්න වෙනවා. මට ඔයාගේ ඇඩ්රස් එක දෙන්න. මං ඔයාගේ වැඩිහිටියෝ එක්ක කතා කරන්නං."
එහා ඉමෙන් කිසිත් ඇසුනේ නැත. අමාෂ් දුරකතනය සවනින් මෑත් කොට ඒ දෙස බැලුවේ ඇමතුම විසන්දි වූවාවත්දැයි සැක හැරගන්නටය. ඈ තාමත් ඇමතුමට සම්බන්ධ වග වටහාගත් ඔහු යළි දුරකතනය සවනට ලංකරගත්තේ සැනසීමෙනි.
"හෙල්ල්ලෝ...." අමාෂ් කීවේ හරියට හිස් අවකාශයේ අතරමං වූ ඈ සොයන්නට වාගේය.
"ඒ ගැන වද වෙන්න එපා. මං ගැන කතාකරන්න කවුරුත් නෑ." ඈ කීවේ ඕනෑවට එපාවටය. අමාෂ්ගේ මුව යන්තම් විවර වූයේ අදහාගත නොහැකි ලෙසිනි.
"කවුරුත් නෑ? ඒත්..." ඈ පිලිබඳ කම්පිත සිතක් උපන්නේ නිරායාසයෙනි.
"මීට කලින් අනාථයෝ හම්බවෙලා නැද්ද?" ඔහුගේ කම්පිත සිත වටහා ගත් තැන ඈ ඇසුවේ අනුකම්පාව ඈ කාගෙන්වත් බලාපොරොත්තු නොවන වග අඟවන්නටය. ඇගේ නොරිස්සුම වහා වටහා ගත් අමාෂ් ඈ සිත රිදවන්නට අකමැති වූවේය. එහෙත් සිත කොණක මේ නාඳුනන තරුණිය පිලිබඳ කරුණාවක් ඉපැදුනු වග ඇගෙන් පමණක් නොව ඔහුගෙන්ද වසං කරගන්නට වෙර දැරුවේය.
"හොඳයි, මේකට කැමති වෙන්න මට නොවුනත්..." ඉතිරි හරිය කියන්න ලැබුනේ නැත. ඇය ඔහුගේ කතාවට බාධා කළාය.
"මං මොනවා කළත් ඒ දෙවියන් වෙනුවෙන් අසරණ වෙච්ච අම්ම කෙනෙක්ගේ අන්තිම කැමැත්ත ඉෂ්ඨ කරන්න. එයාගේ ආත්මාර්ථකාමී පුතා වෙනුවෙං නෙමෙයි." අමාෂ්ගේ නෙත් ලඟ වූ නහර දඟ කරන්නට වූයේ ඇගේ අවසන් වදන්වලටය.
"මේ අහන්න. ඒ ගැන කතාකරන ස්තාවරයක නෙමෙයි මං ඉන්නේ. අපි අතර වුනු දේවල් ගැන කිසිම දෙයක් ඔයා දන්නෙ නෑ." ඉවසීමේ අන්තිම කට්ටේ එල්ලීගෙන උන්නේ සිතැතුලේ නිදන කෝප රකුසාගේ තරම ඔහු හොඳාකාරවම දන්නා නිසාය.
"මට දැනගන්න උවමනාවකුත් නෑ. ඒත් මං දැක්ක ඔයා නැතුව ඔයාගේ අම්මා විඳවනෙක. ඒ මනුස්සයාගේ වේදනාව නොදන්න ඔයාට ඒවා කියනෙකෙන් ප්රයෝජනයක් නෑ."
"ඇති! ඔය හොඳටම ඇති! මට ඕන වුනේ මේ මරාල ඇණයෙන් නිදහස් වෙන්න ක්රමයක් හොයනෙක විතරයි. මගේ ජීවිතේ ගැන කතා කරන්න නෙමෙයි. මතක තියාගන්න කසාදයක් සාර්ථක වෙන්න ආදරේ තියෙන්න ඕනේ. ඔයා මටවත්, මං ඔයාටවත් ආදරේ කරන්නේ නෑ...මේක සම්මුතියක් විතරයි. මගේ වගකීම් ඔයා කරට ගන්න ඕන නෑ. අනෙක මේකෙන් මට විතරක් නෙමෙයි ඔයාටත් මොනවා හරි වාසියක් ඇතිනේ?"
"මට කසාදයක් කරගන්න කිසිම ඕන කමක් නෑ. විශේෂයෙන් මේක."
ඈ එය කියූ පමණින් ඇගේ කෝපයේ තරම මැනගන්නට අමාෂ්ට හැකිවිනි. ඔහුගේ දෙතොල් පැත්තකට ඇද වූයේ සරදමටය.
"ඒකනේ! බලන්න කොච්චර ප්රායෝගිකද කියලා. ඒකයි මට මේ වැඩේට ඔයාව ඕන කරන්නේ. ආන්ටි සාලිහාගේ කතා ඕන නෑ...ඔයාට දික්කසාදය ඕන වෙලාවට මං දෙන්නං...මං කාටවත් මේ ගැන කියන්නේ නෑ."
අමාෂ් කීවේ ඈ එකඟ වෙතැයි සිතමිනි. විවාහයට පෙර දික්කසාදයක් පිලිබඳ කතාකරන එකම පිරිමියා තමා නොවන්නට ඇතැයි ඔහු සිත කොඳුරාගන්න්ට විනි. ඉතිරි හරිය ඔහු කියා නිම කරන්නටත් පෙරම දුරකථනය විසන්දි වූ හඬ ඇසෙන්නට විනි.
නොරිස්සුම සිත වෙලාගන්නට පෙර ඉතිරි වූ කෝපි ස්වල්පය තොල ගෑවේ පෙනෙන නොපෙනෙන වියරු සිනහවක් සමගය. කෝපි එක සීතල වෙලාය. අමාෂ්ගේ සිතත් සීතලින් ගල් ගැසුනේ නිතැතිනි.
"මට ඔයා කියන දේකින් වැඩක් නෑ ලිට්ල් මිස් පර්ෆෙක්ට්. මාව රිද්දන්න දෙයක් ඔයා ලඟ ඉතුරු වෙලා නෑ. මට මේ එක අවස්තාවක් විතරක් දෙන්න මං කවුද කියලා ඔප්පු කරන්නං. එකමෙක වතාවක්...ලොකු හාදයෙක්ට අදම් තේට්ටම් නොකර ඉන්න පාඩමක් කියලා දෙන්න..." යටි සිත ගුගුලන්නට වූයේ කෝපි කෝප්පයේ මණ්ඩිය දෙස බලමින් ඔරවාගෙනමය

***
ඉන්ශා අල්ලාහ්- දෙවින්ගේ කැමැත්ත පරිදි සිදු වේවි
***

අමාෂ්ගේ සැලසුම් සාර්ථක වෙයිද? මේ ඔහුගේ ඉරණම්කාරියද? නොරුස්නා ගති පැවතුම් ඇති අමාෂ් රිකාෂ් වගේ ඔයාලගේ හිත දිනා ගයිද? කියවපු අය නම් කිව්වෙ රිකාෂ්ට කියලා බොක්සිං පාරක් දෙන්න කියලා. පිස්සු චරිතයක් වගේ පෙනුනට ආදරණීය කොල්ලෙක්. තනියෙම හැදුනු නිසා නාහෙට අහන්නෙ නැති දඩබ්බරයෙක්. ඒ දඩබ්බරකම් මට්ටු කරන්න හොඳ සහකාරියක් ලැබුනොත් හරි යයි වගේ නේ? හෙට කොටසක් ඵල කරන්න ලැබෙන්නෙ නෑ. සඳුදට කොටසක් දාන්න බලන්නම්. ගමනක් යන නිසා එන්න වෙන්නෙ සඳුදට, ඉන්ශා අල්ලාහ්. ඉතිං එතකින් අවසරයි..සුබ සති අන්තයක් වේවා! දැං ඉතිං පෙරලා සුභ නොපතා කතාව ගැන දැනෙන දේ කොටලා යන්න :)

ආදරේ විතරමයි- Nothing but LoveWhere stories live. Discover now