Chapter 11

87 8 3
                                    

11 වැනි පරිච්ඡේදය

හනියා මිත්රශීලී, කාරුණික කාන්තාවක් වූවාය. ඇගේ දරුවනුත් ඈ තරම්ම සුහදශීලී වනු ඇතැයි බරකාහ් අපේක්ෂා කළාය. එහෙත් ඒ මවගේ කරුණාමහිමයෙන් ඇබිත්තක් හෝ ඇගේ දරුවනට ගෑවීවත් තිබුනේ නැත. බරකාහ්ගේ දෙතොල් දෙපැත්තට ඇදී සිනහවක් ඇඳුනේ ආත්මානුකම්පාවටය. නාදුනන දැරියනට වැඩිමහළු සොයුරියක සේ ඈ ලෙන්ගතු වන්නට ගත් උත්සාහය ගඟට කැපි ඉනි සේය. ඔවුන් ඔවුන්ගේ සොහොයුරාට දෙවැනි නැතැයි ඈ සිතුවේ නොපහන් බැල්මක් අමාෂ් දෙස පාකරමිනි. රාත්රී කෑම මේසයට සියල්ලෝම වාඩි වී උන්නත් ඔවුන් ඔවුන්ගේ ලෝකවලය. අමාෂ් ඔහුගේ මිලධික දුරකථනයේ ගිලීය. යෞවනියන් තිදෙනා රහසින් මුමුනමින්, හිනැහෙමින් ඔවුන්ගේම සංවාදයකය. කෑම මේසය පිරෙන්න නන්මාදිලියේ කෑම ජාති තිබුණත් ඒවා බෙදාගන්නට කිසිවෙකුට කිසිම උවමනාවක් නැතුවා වාගේය. හැන්දක් පෝසිලේනවල ඝට්ටමින් අනීකා ඇතිකල ශබ්දය විනා මුළු කෑම කාමරයම නිහඬය. මේ සිව්දෙනා එකමුතු කිරීම සිහිනයක්ම වනු ඇතැයි ඈ සිතුවේ කණගාටුවෙනි.
දිගු සුසුමක් හැර ලය සැහැල්ලුකළ බරකාහ් හැන්දැක් ඕනෑකමින්ම තම පිඟානමත වැට්ටුවාය. එහෙමවත් ඔවුන්ගේ අවධානය බිඳින්නට ඇයට ඕනෑ විනි. ඇගේ උත්සාහය සාර්තක විනි. ඔවුන් ඈ දෙස බැලූහ. බරකාහ් ව්යාජ සිනහවක් මවාගත්තේ ඒ තරමට සුහද නොවන මේ බැල්ම ඈ වෙහෙසකරවූ නිසාය. ඈ සිත කියවූවාක් සේ ඔවුන් ඈ දෙස මොහොතක් බලා යළි ඔවුන් ඔවුන්ගේ ලෝකවලට පිවිසුනහ.
"කාමූ...ඔයාගේ හිතවගේම අත් දෙකත් මසුරං වටිනවා...බලන්නකෝ මේසෙ පිරෙන්න කෑම...මගේ කටට කෙළ උණනවා...මට හිතාගන්න බෑ ඔයාගේ කෑමවල රහ නොබලා කාටවත් ඉන්න පුළුවං කියලා. සුවඳේ බෑ." ඔවුනතරට බාබත් දීසියක් රැගෙන ආ කමෘන් පසසමින් බරකාහ් කීවේ තවමත් කෑම බෙදාගෙන නැති හාම්පුත්තු දැක මහළු ඈ සිත රිදේවි කියාමත් නොව. කමෘන්ගේ අතින් පිලියෙල වෙන සාම්ප්රදායික කෑම වට්ටෝරුවල සුවඳින් පවා රස නහර පිනවන්නට පුලුවන. ශ්රී ලාංකීය මුස්ලිම් වරුන්ටම ආවේනික බාබත් කරිය අද කාලේ තරුණ උදවිය උයන්න දන්නේ නැත. පිට්ටු සමග බාබත් කරිය හරි හරියට පෑහෙන්නේය. කොහේවත් නැති බඩගින්නක් බරකාහ්ට දැනෙන්නට විනි. ඈ යුහුසුළුව කෑම බෙදාගන්නට වූයේ ඇගේ කුස නගන වියරු හඬින් හෝ මේ ගොලු පිරිස අවදි වේයැයි බලාපොරොත්තුවෙනි.
"මං සෝමාලියන් කෙනෙක් වගේද?" කටකාර අනිකා තම සොයුරියන්ගෙන් ඇසුවත් ඒ හඬ මෙතෙක් වේලා පැවති ඔවුන්ගේ කසුකුසුවට වඩා ප්රබලය. එය හුදෙක් පොදුවේ ඇසුවක් වග බරකාහ් විශ්වාස කළාය.
"ඇයි එහෙම අහන්නේ?" බරකාහ් ප්රශ්නාර්ථයෙන් ඇසුවාය. අනිකා මුව පුරා සිනාවූයේ යළිත් වරක් සිය සොහොයුරාව අනුකරණය කරමින් වාගේය.
"ඔය දැං කිව්වේ කාමුගේ කෑම නොකා කාටවත් ඉන්න බෑ කියලා. අපි මෙහෙ ඉන්නේ නිවාඩු මාසෙට විතරයි. අවුරුද්දෙන් තුන් කාලක්ම අපි ඉන්නේ හොස්ටල් එකේ." අනිකා කීවේ උද්දච්ච හඬිනි. බරකාහ් යමක් කියන්නට මුව විවර කළත් පසුව යළි දෙතොල් එකම රේඛාවක් වන්නට තදකරගත්තාය.
"අයියෝ...ඔයාට ඒකවත් තේරෙන්නෙ නැද්ද ඇනි? එයා කිව්වෙ එයා ගැන. එයා මේවගේ මේසෙ පිරෙන්න කෑම ජාති ජීවිතේට දැකලා නැතුව ඇති, නැද්ද බ...බ..බරකා අක්කා?"
සොෆියා මවාගත් කෝල හඬකින් කීවාය. ඒ ඇසී බරකාහ්ට හීල්ලුනේ ඈවත් නොදැනමය. චාල්ස් ඩිකන්ස් ගේ ඔලිවර් ට්විස්ට් නවකතාව ඈ නිනව්කලේ නිතැතිනි. අනාථමඩමේ සිටියදී සය හැවිදිරි ඔලිවර් තවත් කැඳ කෝප්පයක් ඉල්ලූ ඒ ඛේදනීය ජවනිකාව රඟන්නට තරම් තමා අභාග්ය සම්පන්න නොවූ වග දැනී බරකාහ් දහස්වර ස්තූති වූවාය. එහෙත් වේලකින්වත් කුස පුරවාගන්නට නොහී දහසක් ජනයා ලොව දුගී බවින් පෙලෙමින් පීඩා විඳින වග ඈ සිතුවේ වේදනාත්මකවය. ඒ දුක මේ පොහොසත් දරුවනට තේරෙන්නේ නැත.
"අල්හම්දුලිල්ලහ්! කෑමවේලක් ආදරෙන් හදලා දෙන්න කවුරු හරි ඉන්න එක කොච්චර දෙයක්ද? ඔයාලා වාසනාවන්තයි එහෙම අය ලැබෙන්න. තෑන්ක්ස්, කාමු...මං ඔයාට ගොඩක් ආදරෙයි." යුවතියන්ගේ කතාවින් මහළු කාමුගේ සිත තැළුණු වග දැනී බරකාහ් ලෙන්ගතුව කීවාය. වේදනාවින් අඳුරු වූ කාමුගේ රැළි වැටුනු වත බරකාහ්ගේ වදන්වලින් යළි එළිය වැටුණි. නව ස්වාමිදුවගෙන් එවැන්නක් මෙහෙකාර ඈ බලාපොරොත්තු වූයේ නැත. අළුත් මනාලිගේ රංගනය බලා සිටි සොයුරියන් තිදෙනා සමච්චලයට සිනා වූහ. මෙහෙකාරියක හුරතල් කරන්නට ඔවුන්ට ඕනෑ නැත. සම්පූර්ණ අවධානය දුරකතනය වෙත දීගෙන උන් අමාෂ් යන්තම් හිස ඔසවා බැලුවේ බරකාහ්ගේ අවසන් වදන් පෙල කණවැකීය. ඔහු මුවග පෙනෙන නොපෙනෙන ලා හසරැල්ලක් දිව ගියේ තම කිරි මවට ඈ පෑ සෙනෙහස දැකය.
"අනීකා...ඔය කවුරුත් සෝමාලි ළමයි වගේ නෙමෙයි...මං කිව්වේ බඩගින්නේ මැරෙන්න ඉන්න ඒ ළමයි වගේ කොහෙත්ම නෑ. එයාලා විඳින දුක ඔයාල දෑහින් දැක්කනම් අර වගේ එයාලව හෑල්ලුවට අරගෙන කතා කරන්නෙ නෑ. ස්තූති කරන්න අල්ලහ්ට අද ලැබුණු දේට වගේම ඒ දරුවන් ආරක්ෂා කරන්න කියලත්." බරකාහ් ලෙහෙසියෙන් පැරදෙන්නට කැමති නැතැයි අමාෂ් සිතුවේ ඈ කෙල්ලො තුන් දෙනාට වදනින් ප්රතිප්රහාර එල්ල කරනු දැකය. ඔහු නොරිස්සුමින් ඈ දෙස බැලුවේ මේ කෙල්ල ඕනෑ නැති ප්රශ්න වල පැටලෙනවා නොවෙදැයි සිතමිනි. තම පිඟානට කෑම බෙදා අහවර ඈ දෑත් එක්කොට, දෑස් වසා ප්රාර්තනාවක් කළාය.
"අහ්! අයි ජස්ට් ඩිඩ් අ ප්රෙයා...බලං හිටියට තෑන්ක්ස්...ඔයාලත් බෙදාගන්න." සැහැල්ලුවෙන් කී ඇය ඔවුන් දෙස ආරාධනාත්මක බැල්මක් හෙළුවාය. යුවතිය තිදෙනාද ඈ දෙස අභියොගාත්මකව මොහොතක් බලා හිඳ කලින් කතා කරගත්තා සේ එකවර ඔවුන්ගේ හිස් පිඟන් මේසය මැද්දට වෙන්න තල්ලු කළේ ඇගේ ආරාධනය ප්රතික්ෂේප කරමිනි.
"හේ! මොකද මේ?" බරකාහ් ඇසුවේ වික්ෂිප්ත වෙලාය.
"අපිට කන්න අප්පිරියයි. සුභ රාත්රී භෝජනයක්!" අනීකා ආරූඨකරගත් හඬකින් කියා කෑම මේසයෙන් ඉවත් වූවාය. බරකාහ්ගේ දෙඋර හැකිළුනේ තමා වරදක් කළ බව පසක් වීය. දෙනෙතට නැගෙන කඳුලක රස නිසා ඈ බිම බලාගත්තත් නෙත් ගැටුනේ හිස් පිඟන් දෙසය.
"මාලුවා නහින්නෙ කට නිසාළු. ඊලඟ සැරේ ඇමිණෙන්න කලින් පොඩ්ඩක් මොළේ පාවිච්චි කරන්න." දුරකතනය තුල කිඳා බැස මේ ලොවෙන් එපිට ගිය ලොවක යැයි සිතූ අමාෂ්ගේ කතාවට ඈ හිස ඔසවා බැලුවාය. මෙතෙක් වේලා සිදුවෙන සියල්ල ඔහු බලාගෙන, අසාගෙන උන්නේද? ඔහුගේ ඔච්චම් හිනහව දකිද්දී ඇයට නිම්හිම් නැති කේන්තියක් දැනෙන්නට විනි.ඉතිං ඈ සිත ඔහු හා වෙර බඳින්නට සැරසුනි.
"මාළු ගැන උපාඪ්Hඉයක් අරගෙනද ඔයා?" ඈ ඇසුවේ නොපහන් හඬිනි. අමාෂ්ගේ මුවග රැඳුනු සිනහව අතුරුදහන් වන්නට විනි.
"තමන්ගේ වැඩක් බලාගන්න බැරි එක මාළුවයි ලිඳේ ඉන්නේ. අල්ලන්න ඕන උනොත් උපාධියක් ගන්නවා...ඇයි ප්රශ්නයක්ද?" ඔහු ඇසුවේ හුදු සෙල්ලමටය. ඒ දඟකාර නෙත්හා ඈ නෙත් මොහොතකට ගැටුනි. හුස්ම ගන්නට අමතක වූවාසේ මොහොතක් ඒ දෙසම බලා උන් බරකාහ් පසුව දිගු සුසුමක් ඉහලට ඇද ගත්තේ දැනුනු අපහසුතාවය නිසාය.
"ගුඩ් ලක්!" අලස ලෙසින් ඔහුගෙන් නෙත් ඉවතට ගත් ඇය කීවාය. අමාෂ් කිසිත් කීවේ නැත. එහෙත් ඔහුගේ නෙත් ඇගෙන් ඉවතට ගත්තේද නැත. අම්මා නිසා මේ විවාහයට එකඟ වූ ඇය ඕනෑවටත් වඩා මේ බිඳුනු පවුල පිලිබඳ වදවෙන වග ඔහු සිතුවේය.
මතක තියාගන්න මේක කොන්ත්රාත් කසාදයක් විතරයි ඒ.බී." පහත් ස්වරයෙන් ඔහු කීවේ කාටත් නෑසෙන්නය. "ඔයා පවුලේ වගකීම් දරන්න ඕන නෑ." ඒ කතාවට ඈ කිසිත් නොකීවාය. පිට්ටු කන්නට සිතා උන්නත් පසුව අදහස මාරුකරගත් ඇය බෙදා ගත්තේ රොටීය. ඒ ලුණු ඇඹුල හා කන්නටය. දැන් ඒ ආසාවත් හිඳී ගොසින්ය. අමාෂ්ගේ දෙනෙත් මග හැර සිටින්නටැයි සිතා ඈ රොටී කැබැල්ලක් කඩා ගත්තාය. අච්චර වර්ණනා කලායින් පසු එක කටක් හෝ කෑම නොගෙන අත සේදුවානම් කාමුගේ සිත බිඳෙනු අනිවාර්යය.
"අනෙක මටත් ඕවා කරගහන්න කියන්න එපා!" ඔහු නියෝග කළේය.
"ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? එයාලට කවුරු හරි ඕන. අම්මා නැතිවෙලා සති දෙකක්වත් නෑ. අම්මයි තාත්තයි දෙන්නම නෑ ඒ ළමයි ටිකට." බරකාහ් විස්සෝපවෙමින් කීවාය. අමාෂ්ගේ දෙබැම රැලි වූයේ මුහුණ පුළුටු කරවමිනි.
"අපි දෙන්නත් එයාල වගේ තමයි. යස අගේට ඉන්නෙ දැන්." අමාෂ්ගේ නොරිස්සුම එයාකාරයෙන්ම වදන්වලින් පිලිඹිබු විනි.
"ඒත් එයාල පොඩි කෙල්ලො!" ඈ ඔවුන් වෙනුවෙන් නැගී සිටියේ හුදු අනුකම්පාවටම පමනක් නොව. අමාෂ්ගේ ආත්මාර්තකාමි ගතිගුණ එක රැයකින් වෙනස් කරන්නට නොහැකි වග ඈ දන්නීය. එහෙත් ඇගේ බුද්ධියට අනුව වැඩකරන්නට ඈ නොදත්තාය.
"මම මගේ දෙපයින් හිටගද්දි එයාලට වඩා පොඩියි." අමාෂ් කීවා නොව කියැවිනි.
"ඒක ඔයාගේ මෝඩ කම. කවුද මෙච්චර ලස්සන පවුලකින් පැනලා දුවන්න කිව්වෙ?"
"තමුන්ට අදාල නැති දෙයක් ඒක!" ඔහු වදන් දමා ගැසුවේය. ඈ පෙරලා යමක් නොකීවාය. ඒ වෙනුවට ඉහල මාලයෙන් ඇසෙන කටු කුටුවන දෙසවන් යොමුකළාය.
"කෑම එක සීතල වෙනවා, රත්තරං." හිටි හැටියේ ස්වරය වෙනස් කරමින් බරකාහ් කීවාය. ඇගේ ඒ කතාවට අමාෂ්ට කෙළින් ඉන්දැවිනි. දෙනෙත් හකුලා ඈ දෙස බැළුවේ මේ විපර්යාසය කුමක් අරඹයාදැයි දැනගැනීම වස්ය. බරකාහ් වරදක් කළ ආකාරයෙන් දෙතොල් සපාගනිමින් ඇඟිල්ලකින් ඉහල මාලය පෙන්නුවාය. ඔහුට සේම ඇයටත් එයාකාරව ප්රේමනීය ලෙසින් මැද සාලයේ හිඳ අමතන්නට උවමනාවක් නැත. එහෙත් යුවතියන් තිදෙනා තරප්පු පෙළ ලඟ හිඳ ඔවුන් දෙදෙනාගේ සංවාදයට ඇහුම් කණ් දෙන වග අඟවන්නට වෙනත් ක්රමයක් නොවිනි.
ඇගේ අදහස වටහා ගත්තත් අමාෂ්ට තවදුරටත් එතැන රැඳී සිටින්නට බැරි බවක් දැනුනි. බරකාහ් දෙස තව එකම එක සැරේකටවත් නොබලා කෑම මේසයෙන් නැගී සිටියේය. තැවුල් සිතින් ඈ හොඳට කර වූ රොටී කැබැල්ලක් සැපුවාය. 'මෙයාලට තෙල' යැයි සිතූ ඇය තම ආහාර වේල ගත්තේ සිතින් තමාට බැණ වදිමිනි. මේ තරම් ප්රණීත අහාර වේලක් ප්රතික්ෂේප කරන්නට තරම් මේ ළමයි මෝඩ දැයි ඈ සිතුවේ ලුණු මිරිස රොටී කැබැල්ලක තවරා කටැතුලට දමා ගනිමිනි.
"මං මෙයාලගේ හතුරෙක් නෙමෙයි" ඈ තමාටම මුමුණාගත්තාය. එහෙත් ඒවග ඔවුනට දැනෙන්න හරින්නේ කෙලෙසද?
කාමු කෑම කාමරයට යළිත් පැමිණියේ අතුරුපස රැගෙනය. බරකාහ්ට දැනුනේ දැඩි වේදනාවකි. තමා නිසා කාමුගේ මහන්සිය අපතේ ගියා නොවෙදැයි ඈ සිතුවේ කලකිරීමෙනි.
"මට සමාවෙන්න කාමු. මං එයාලව එලවගන්න හිතුවේ නෑ. මං ඔයාගේ මහන්සිය වතුර කළා..." ඈ බැගෑපත් හඬින් මහළු සේවිකාවගෙන් සමාව යැද්දාය. කාමු සැහැල්ලු සිනහවක් ඇඳ ගත්තේ අළුත් ස්වාමිදුවගේ සිත තේරුම් ගනිමිනි.
"ඔයාගේ වැරැද්දක් නෑ පුංචි නෝනා. මේ ළමයි මුළු ජීවිතෙම බෝඩිමේ." කාමු දෑසට නැගි කඳුලක් පිසදමමින් කීවාය. බරකාහ්ට දැනුනේ අපමණ ශෝකයකි. මේ පවුලේ සැනසීම නැතිවන්නට තමාත් ව්ක්රාකාරයෙන් සම්බන්ධ වූවා නොවෙදැයි ඈ සිතුවේ තමන්ටම චෝදනා කරගනිමිනි. මන්සූර් මහතා මියගියේ එවකට තමාගේ බීමත් සැමියා නිසාය. එසේ නොවුවා නම් මේ පවුල තාමත් සතුට ඉතිරෙන පවුල් සංස්ථාවකි.
"මට දුක පුංචි මහත්තයා ගැන," කාමු නිහැඬියාව බිඳිමින් කීවාය. අමාෂ්ගේ හිස් පිඟාන දැක ඈ හීල්ලුවා විය යුතුය. ඇතැම් විට නව යුවල අතරවන සීත ගැටුම පිලිබඳ සරල අවබෝධයක් මේ වියපත් කාන්තාවට තිබුණා විය යුතුය.
"එයාව සතුටිං තියාගන්න, පුංචි නෝනා." ඇගේ දෙමළ වදන් ශෝකයෙන් පෙඟිලා සේය.
'මහ පොළොවේ පයගහලා ජීවත් වෙන්න, ඇම්බො රැම්බො! ඔයාගේ වගකීම් ඔයාට කර අරින්න බෑ.' ඈ සිතින් මුමුණාගත්තාය. මේ අබලන් නෞකාවේ නියමුවා ඔහුය. එහෙත් ඒ නියමුවාට නැව කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය පවා විහිළුවකි. 'මං එයාට බෑ කියපු නිසා මගෙන් පලිගන්න මාන බලනවා ඇරෙන්න වෙන දෙයක් පේන්නෙ නැති හැටි. එයානම් හරි සෙල්ෆිශ් මනුස්සයෙක්.' ඈ සිතුවාය. ඒ හා සැනින් ඈ වත සුන්දර දඟකාර සිනහවක් ඇඳුනේ නිරායාසයෙනි.
'මෙයා නං මාලු විෂේෂඥයෙක්ම තමා...සෙල්ෆිශ් ෆිශමන්!' ආත්මාර්ථකාමි මාළුබාන්නා යැයි ඈ සිතින් මුමුණාගත්තේ නපුරු දෙනෙත් සිහි කරගනිමිනි.

ආදරේ විතරමයි- Nothing but LoveWhere stories live. Discover now