Chapter 15

107 8 6
                                    

15 වැනි පරිච්ඡේදය

"එයා කවුරු කියලා හිතාගෙන ඉන්නවද දන්නෙ නෑ. මට ඕන්නෑ එයා කියන කිසිම දෙයක් අහන්න. හැටි විතරක්!" ඇඳ විට්ටම උඩ නොසැලකිල්ලෙන් දිගු දෙපා දමාගෙන ඇඳේ දිගාවී අනීකා කීවේ නොරිස්සුමෙනි. සමීයාත් ඇඳට පැන්නේ දඟර මෙට්ටයෙ දෙවරක් පනිමිනි.
පසුව ඇගේ රෝස පැහැති කුඩා පුළුං කොට්ටය බදාගෙන ඇඳේ ගුළි වූවාය.
දෙසොයුරියන් දෙස සොෆියා කැඩපත ඔස්සේ බැළුවාය. ඈ උන්නේත් සතුටින් නොව. තද දුඹුරු කෙස් අතරින් පනාව යැව්වේ හරියට මායාවකින් සේ හිසකෙස් ඝණව සහ දීප්තිමත්ව බබලතැයි විශ්වාසයකින් මෙනි.
"හොස්ටල් එකේ තියෙන නීති මදි නේ," නිදන්නට සැරසි කෝපය යළි උඩු බුරන්නට පටන් ගත් වග අනිකා දෙස බැලූ සොෆියා වටහා ගත්තාය. සොෆියාත්, සමීයාත් නැවතිල්ලේ හිස ඉහලටත් පහලටත් සැළුවේ හරියට වේදිකාවේ පුරුද්දට නැටවෙන රූකඩ සේය. රොබෝවන් සේ හිස සලන සොයුරියන් සමග අනීකාට දැනුනේ සිහින් අමනාපයකි. ඇය සමීයා අත වූ කොට්ටය ඇද තම හිස යටින් තබා ගත්තේ සමීයාගේ මැසිවිල්ල ගණනකට නොගෙනය. ඉන් කිපුණු සමීයා ලඟම වූ තවත් කොට්ටයකින් සිය සොයුරියට ගැසුවාය.
"අවුච්, සෑම්!" අනීකා කෑ ගැසුවේ හරියට සිමෙන්ති කොට්ටයකින් ගැසුවාක් සේය. සමීයා ඇහැක් ඉඟි කොට ජයග්රාහී සිනහවක් පෑවාය. පිරුණු කොපුල් වල ගැහෙන ඒ සිනහවට දෙසොයුරියන්ම ආසාය.
"දැන් මොකද අපි කරන්නේ? ආන්ටි ජානුට කියනවද?"
තවමත් කැඩපත දෙස බලා සිටින සොෆියා ඇසුවාය.
"අප්පෝ! මට බෑ එයා එක්ක ගිහින් නතරවෙන්න...වාත කෝච්චියක්." ඒ සමීයාය.
"මටත් බෑ." අනීකා සිය බාල සොයුරියට අත්වැල සැපයුවාය.
"මොකද කියන්නේ, ලොකු අයියගෙන් සරණ පතමුද?" සමීයා අඩමාණයට ඇසුවාය. සොෆියාත්, අනීකාත් දෙදෙනාම සමීයා දෙස බැලුවේ කෝපයෙනි. සමීයා දිව අග සපා ගත්තේ දෙවරක් නොසිතා කී කතාව පෙරළා ගැනීම යෙහෙකැයි සිතාය.
"එයාගේ හෙවණල්ලවත් විශ්වාස කරන්න එපා!" සොෆියා අනතුරු ඇඟෙව්වාය.  මොහොතක නිහැඬියාවක් මුළු කාමරයම වෙලා ගන්නට විනි. සමීයාගේ බර සුසුම පවා ඇහෙන තරමට පරිසරයම ගොළුවත රැකුණි.
"ආන්ටි සාලිහා?" සමීයා නැවත වරක් යෝජනා කළාය. සොෆියා දෙබැම හකුළා ගත්තේ අනිකා දෙසට බැල්ම පාකර හරිමිනි. අනීකා හිස දෙපසට වැනුවේ ඒ අදහසත් ප්රතික්ෂේප කරමිනි. ඉන් බලාපොරොත්තු බිඳගත් සොෆියා තොල් පිට පෙරළුවාය.
"සාමය නෙමෙයි නේ අපේ පිලියම?" ක්ෂණිකව යමක් වැටහුනාක් සේ අනීකා ඇසුවාය. දෙසොයුරියන් හිස් දෙපසට සලන්නටත් ප්රථම ඔවුන්ගේ පිලිතුර අනීක දත්තාය. ඇය තාලෙකට ඇඳ විට්ටමට කකුළකින් ගැසුවේ තමාගේ අනුමානය නොවැරදුණු නිසා වූ ප්රීතියටය. සොෆියා ඇගේ නියක් සපන්නට වූවාය. සමීයා අනීකාගේ පයින් කෙරෙන තාල දැමිල්ලට හිස වැනුවාය. තිනිවුන්නු තුන් තැනකට වී සිතුවේ සිය නෑනන්ඩියගේ අදම් තේට්ටම් වලින් මිදෙන ආකාරයක් පිලිබඳවය.
"ඇත්තටම අපි එයාගේ පැත්ත ගත්තොත් කොහොමද? අං කිව්වේ...ලොකු අයියගේ?" අනීකා හිතේ කූට උපක්රමයක් රඳවාගෙන ඇසුවාය. ඇගේ දෙතොල් අග මද හසරැල්ලක් දඟ කරන්නට විනි.
"ඊයේ රෑ ඒ දෙන්නගේ ගෝරියෙන් මට නම් තේරුණේනෙ එයාලා එකට ඉන්නේ කැමැත්තකින් නෙමෙයි. අනික කොයි මිනිහද ඔය ගෝනි බිල්ලට කැමති වෙන්නේ?" ඈ අනුමාන කළ දෑ පැවසූ අනීකා හිසට උඩින් නෙත් යැව්වේ තම සොයුරියන්ගේ ඉරියව් බලාගන්නටය.
තම කෙහෙ වැටියත් එක්ක පොර බැඳ ඉවරයක් කළ සොෆියා පනාව කණණාඩි මේසය මත තබා සයනය වෙතට පා තැබුවාය. ඈ මෙට්ටය් මත වාඩි වූයේ පරිස්සමට හරි සැහැල්ලුවෙනි. හරියට ඇඳට නොරිදෙන්නට වාගේය. . ඒ දුටු අනීකාගේ මුවග සරදම් හිනාවක් රැඳුනි. කකුළ් දෙක බදාගත් ඇය නිකට දණිස් මත තැබුවේ සිය නෑනන්ඩියගේ අත්තනෝමතික පාලනයෙන් මිදෙන්නට හැකි ක්රමයක් සොයාගන්න තත් දරමිනි.
"මොකද කියන්නෙඇ?" ඔවුන්ගේ නිහැඬියාවට උරණ වූ අනීකා ඇසුවාය. සොෆියා දෙතොල් සපා ගනිමින්ම හිස දෙපසට සැළුවාය.
"අප්පෝ...නොදන්න තරමට හොඳයි. ලඳ බොලඳ සැලසුම්වලින් නම් මේ කපේට ඔය ගෑණිව ගෙයින් පන්නගන්න ලැබෙන්නේ නෑ. එයාගේ තාලෙටම තමා ප්රශ්නේ විසදන්න වෙන්නේ." අනීකා ඒ ඉඟි කළේ සොෆියා පිලිබඳවය.
"වෙන අදහසක් තියෙනවද සෑම්?" අනීකා සමීයා දෙසට හැරෙමින් ඇසුවාය. සමීයා සිතුවේ ඒ අදහස තරම් හොඳ වෙන එකම අදහසක්වත් නැතැයි කියාය. අයියා සමග කුළුපග වී ඔහු තම අභිමතයන්ට රිසි සේ තීරණ ගැනීම සමීයාගේ යටි සිතේ වූ පැතුමය. පෙරදා ඔවුන් රෑ බෝ වී නිවසට පැමිණියේ ඕනෑ කමින්මය. එහෙත් ඔහු ඔවුන් හා කිපුණේ නැත. ඔහු සරල ගති පැවතුම් ඇත්තෙකු වග දුටු දාම ඈ අවබෝධ කරගත්තාය. එහෙත් ප්රශ්ණයකට ඇත්තේ අමාෂ් ඔවුන් හා සුහද නොවීමය. නිරන්තරයෙන් ඔවුන් මග හරින ඔහු අඩුම තරමේ වචනයක් දෙකක් වත් කතා කරන්නේ නැත. තත්ත්වය එසේ තිබියදී හැමදේටම ඇඟිලි ගහන නෑනන්ඩිය ඔහුගේ තැන ගෙන ක්රියාකරන්නට පෙළඹීම පිලිබඳ සමීයාගේ සිතේත් වූයේ නොරිස්සුමක්මය.
අම්මා අයියා පිලිබඳ කියූ හැම වාරයකම ඔහු ඔවුන් හා උන්නා නම් යැයි රහසින් පැතූ වාර ගණන අනන්තය. ලොකු අයියා කෙනෙකු සිටීම කොතරම් අගනේදැයි ඈගේ ලාමක සිත කියන්නට විනි. ඇම්බෝ සිතුවාටත් වඩා උස, මහතය. කඩවස්ම්ය. ඔවුනට වඩා වසර ගණනාවකින් වැඩිමහල්ය. එවන් තැනැත්තෙකු සොයුරෙකු ලෙසින් මිතුරු මිතුරියනට හඳුන්වා දෙන්නට ඇත්නම් යැයි ඈ සිතුවාය. තම ආයුධයක් ලෙසින් අයියා යොදාගන්නට හැකැයි ඇගේ බුද්ධිය කොඳුරන්නට විය. පxතියේ පිතුරන්ගේ ඉවරයක් නැති උසුළු විසුළු ඉන් නැවතෙනු නො අනුමානය.
"කොච්චර ප්ලෑන් කරාද? cලෙයා, රූත්, හර්ෂි, සාරා...මං එයාලට පොරොන්දු වුනා නුවර ආහම පාටියක් දෙනවා කියලා...මේ ගෝනිබිල්ලා නිසා ඒ ඔක්කොම වතුරේ,"
සොෆියා කීවේ බිඳුනු හඬිනි. සමීයාට හීල්ලුනේ සිය සොයුරිය කීවක් විශ්වාස කරගන්නට බැරි වූ නිසාය.
"සොෆී, මමා නැතිවෙලා මාසයක්වත් නෑ...අපිට පාටි දාන බෑ..." ඈ කීවේ මුවට නැගි ඉකියක් ගිලගනිමිනි. සමීයාගේ කතාවෙන් අනීකාත්, සොෆියාත් මුහුණු බර කරගත්හ. අම්මා නැති පාළුව යහමින් දැනෙන්නට විනි. ඇගේ අඩුව පුරවන්නට කිසිවෙකුටත් හැකිවන්නේ නැත. කාටවත් කරදරයක් නොවී, කාගෙන්වත් නොයැපී ඊවත් වන්නට ඕනෑනයි සිත අරගල කරන්නේත් ඒ සිතුවිල්ල නිසාමය. තමන් පොහොසත් අනාථයන් වග යෞවනියන් හොඳාකාරවම දන්නෝය. ඔවුන්ගේ ධනවත්බකම නමට පමණක්මය. ඔවුන් අනෙකා මත යැපෙන්නට තරම් හේතු කාරණා සිදුවෙමින් පැවතිනි. ඔවුන්ගේ භාරකාරයා ලේ ඥාතියෙකු වූවත් ඔහු සිතේ ඔවුන් වෙනුවෙන් ඉඩක් නැත. ඒ මදිවාට මන්තරකාරියක වන් වූ ඔහුගේ බිරිද නිසා ඔවුන්ගේ සැනසුම සුන්නද්දූලි වී ගොසින් ය.
"එයාලට දවස් ගාණකින් කසාදයක් කරගන්න පුළුවන්නම් අපි පාටි දැම්මහම මොකද වෙන්නේ? සොෆියා ඇගේ සිතුවිලි සාධාරණීයකරණය කළාය.
"ඇත්ත සොෆී...ඔයා හරි." අනීකා සිය සොයුරිය කියූවකට එකඟ වූවාය.
"ඒත්..."
"අපි එයාලට විරුද්ධ වෙන්න ඕනෙ සෑම්...තේරෙන්නේ නැද්ද? අපි මෙහෙ දානෙ කකා ඉන්නකොට එයා මුළු භූදලේම හකුලගෙන යයි. පේන්නැද්ද අම්මණ්ඩිගේ නීති රීති? එයා හිතන් ඇති අපිවත් අල්ලේ තියන් නටවන්න. ඔයා කැමතිනම් සින්ඩරෙල්ලා වගේ දූවිලි කකා ඔය ගෑනි වටේ කැරකි කැරකි ජීවත් වෙන්න...එහෙම ඉන්න සෑම්. ඒත් මං නම් එයාට හොඳ පාඩමක් උගන්නනවා!" අනීකා ස්ථීර හඬින් කීවාය.
"මමාවත් එහෙම ඉන්න, මෙහෙම ඉන්න කියලා කිව්වෙ නැති එකේ..."
සොෆීයා අනීකාගේ අදහසට එකඟ වෙමින් කීවාය.
"ඒත්...අපි එයාලගේ යාළුවෝ උනොත් කාටවත් කරදරයක් නෑනේ? අපි පවුලක් විදිහටම ඉඳී." සමීයා කීවේ ගැඹුරින් සිතමිනි. දෙසොයුරියන්ගේ උරණ වූ නෙත් දෙස එක එල්ලේ බලා ඉන්නට නොහී ඇය ගවුම් වාටිය නියගින් සූරන්නට වූවාය.
"කන් බීරි වෙලාද තිබුනේ එයා අර නීති ලැයිස්තුව කියවද්දි? එයා අපිට හිතවත් නම් අපේ නිදහසට චුට්ටක් හරි ගරු කරන්න ඕනෙ නේ?" අනීකා මතක් කර දුන්නාය.
"ඊවිතේ එපා වෙන්නම වද දෙන්න ඕනේ...එතකොටවත් තේරෙයි එයා ඉන්න ඕන තැන මොකක්ද කියල." අනීකා කෲරලෙසින් කීවේ ඒ තරමටම සිත අසරණ වෙලා තිබුණු නිසාය.
"සතුරාගේ සතුරා අපේ කළණ මිතුරාලු...ජානු ආන්ටිව ශේප් එකේ යාළු කරගමු," ඒ සොෆියාය.
"ඒ.බී අපේ හතුරෙක්ද? මට නම් එයා හොඳ කෙනෙක් වගේ." සමීයාට සොයුරියනට එකඟ වන්නට සිත ඉඩ දෙන්නේ නැත. සිය නෑණන්ඩියගේ වරදක් ඇයට පෙනුනේ නැත. මවක සේ ඔවුන්ගේ පමාව පිලිබඳ ඈ ලත වූවා නොවෙද? මේ නීති රීති සියල්ලමත් තම ආරක්ෂාව උදෙසාම නොවෙද?
අනීකා දෙපා නවා ඇඳේ හිඳ ගත්තේ සමීයා දෙස මුහුණට මුහුණ බලා කතාකරන්නට වාගේය. පසුව අත රැඳි සමීයාගේ රෝස කොට්ටයෙන් සිය බාල සොයුරියට ගැසුවාය.
"දන්නවද සොෆී? මං මේකිව කාමරෙන් එළියට දානවා...මොකෙක් හරි ලොලිපොප් එකක් දුන්නොත් ඇති කෙළ හල හල ඒ පස්සෙ යන්න." ඈ චෝදනා කළේ සමීයා දෙසින් සිය නොරිස්සුම් බැල්ම ඉවතට නොගෙනය. සොයුරියගේ කෝපය ගණනකට නොගත් සමීයා මුව පුරා සිනාවූවාය.
"ලොලිපොප්! එකක් අරං ඉක්මනට එන්නං" එසේ කියා ඇය කාමරයෙන් ඉවතට හැල්මේ දිව්වාය. ඒ දැකි අනෙක් තරුණියන්ගේ මුව විකසිත විනි. ඔවුන්ගේ සිනා හඬ කාමරයේ දෝ\xකාර දෙන්නට විනි.
"මමාගේ හුරතලී..." අනීකා කීවේ ඒ සිනහව එයාකාරයෙන්ම මුව පුරා පැතිර තියෙද්දීය.
"දැන් මොකද කරන්නේ, ඇනී?"
සොෆියාගේ ප්රශ්නයෙන් යළි තම සැලසුම වෙතට සිත යොමුවාය.
"මීට පස්සෙ එයා නැතුව අපිට එළියට යන්න බෑ...උහ්! මන්දා කොහොම රැම්බෝ...මං කිව්වේ ඇම්බෝ ඔය නින්ජව දරාගෙන ඉන්නවද කියලා...මහ ඇණයක්නේ." අනිකා නොපහන්ව කීවාය. සොෆියා සිය සියුමැලි දිගටි ඇන්ගිලි රිද්මයකට පිරිමදින්නට වූවාය.
"පරාල ඇණයක්...දැන්කාලේ හොයාගන්න අමාරු ඇණයක්..." සොෆියාගේ කතාවට අනිකාගේ මුව පැත්තකට ඇද වුනි. සොෆියා කීවේනම් සහතික ඇත්තකි. මෙයාකාරවූ ගතානුගතික ගැහැණියක ඔවුන්ට හමු වුනාමය.
"මං හිතන්නේ ඒ දෙන්න බැඳලා තියෙන්නේ කැමැත්තකින් නෙමෙයි. ආදරෙයි කියල නම් පේන්නවත් නෑ...බොරුවට හනී බනී කියනවා ඇරුනම ටොම් ඇන්ඩ් ජෙරී වගේ බැණගත්තු ගමන්...ඊයේ දැක්කනේ වෙච්ච දේ? මට මුලදිම හිතුනා..." අනීකා කීවේ සිත යට අදහසක් හංගාගෙනය. සොෆියා සිය සොයුරිය දෙස බැළුවේ ඇගේ සැලසුම කුමක්දැයි දැන ගැනීමටය. අනීකා කොහොමටත් තමන්ට වඩා විපරම් ඇසින් ලොව දකින වග නොරහසකි. ඔවුන් දෙදෙනාම දඩබ්බර සොයුරියගේ වචනයට නැමෙන්නේ ඒ නිසාය.
"එයාව ටිකක් කුලප්පු කරලා ආතල් ගත්තහම කොහොමද? ඇම්බො ඉක්මනට නාකි වෙයි මෙයාගේ කෝලං නිසා. එපා කරවමු ගෑණිව...මොනව කළත් අපේ අයියානේ?"
"ඒ දෙන්න අතරේ ප්රශ්ණයක් ඇති කරමු කියලද කියන්නේ?" අනීකාගේ වියරු සිනහව සිය සොයුරියගේ අනුමානය නිවැරදි යැයි ඉඟි කරන්නට විනි. සොෆියා දෙතොල් උල් කර සිනා වූයේ අනීකාගේ අදහස පංකාදු එකකැයි තහවුරු කර ගනිමිනි. ඔවුන් දෙදෙනා අතට අතක් ගසා හිනැහුණෝය. කාමරයට ඇතුළු වූ සමීයා උන් තැන නතර වූයේ අනෙකාගේ සිතුවිලි තේරුම් ගන්නට වෙර දරමිනි. අනීකා ඇහැක් ඉඟි කොට හිනැහුණාය.
"දැක්කද එයාව?" සොෆියා සමීයාගෙන් ඇසුවාය. සමීයා හිස වැනුවාය.
"ඇම්බො ඉන්න්වද?"
"එය නෑ..." ලොසින්ජරය ලෙවකමින්ම සමීය පිලිවදන් බැන්දාය.
"ඒ.බී මොනවද කරන්නේ?"
"කුරාන් එක කියවනවා...ඇයි?" ලොලිපොප් එක කටින් ඉවතට ගෙන සමීයා කීවේ සැක මුසු බැල්මක් සොයුරියන් වෙත පා කර හරිමිනි.
"එහෙනං යං!" අනීකා ඇඳෙන් බිමට පනිමින් කීවාය. කණ්නාඩිය දෙස බලා නේවි පැහැති ටී ෂර්ටය හරි ගස්සාගත් ඇය සරදම් හිනාවක් පෑවාය.
"මොනවද කරන්න යන්නේ?" ඒ සමීයාය.
"වොච් ද ප්ලේ ලිල් සිසී!" අනීකා සමීයාගේ උරකට තට්ටු කළේ නාට්ය නරබන්නැයි ඉංග්රීසියෙන් ඇයට කියමිනි.

ආදරේ විතරමයි- Nothing but LoveWhere stories live. Discover now