Chapter 12

99 8 3
                                    

12 වැනි පරිච්ඡේදය

"මං දන්නේ නෑ මොනවා කරන්නද කියලා ඈන්ටී," බරකාහ් සාලිහා ඉදිරියේ තම සෝතැවුල් දිග හරින්නට වූවාය. හනියාගේ මියයෑමෙන් අනතුරුව මේ ලෝකයේ බියෙන් සැකයෙන් තොරව විශ්වාසකරන්නට හැක්කේ සාලිහාව පමණකැයි ඈ සිතුවාය.
"මෙයාලා හරියට ජම්ම වෛරක්කාරයෝ වගේ." සාලිහා දෙසින් නෙත් ඉවතට නොගනිමින් ඈ කීවාය. ඇගේ වදන්වල පවා සිත නලියන දුකෙහි තරම ගැබ්ව තිබුනා යැයි සාලිහාට සිතුනි. සාලිහා සිය ආසනයේ හාන්සි වූයේ උපැස් යුවල ගලවා අතටගන්නා අතරය.
"පුදුමයක් නෙමෙයි, දරුවෝ. එයාල එකම පවුලේ ළමයිනේ." සාලිහාගේ කතාවට බරකාහ් කට කොණකින් සිනා වූවාය. අමාෂ් කොතෙක් අකමැති වුවත් යුවතියන් තිදෙනා ඔහුගේම ලෙයට උරුම කියන වග ඔවුන්ගේ ක්රියාකලාපයන් පමණක් ප්රමාණවත්ය. ඔහු තරමටම ඔවුන්ද හිතුවක්කාරය. ලෙහෙසියෙන් මෙල්ල වන්නේවත්, දෙවැනි වන්නේවත් නැත.
"ඒ මදිවට ආන්ටි ජානු. එයා මේ කෙල්ලො ටික අවුස්සනවා. මෙයාලා කෙසේ වෙතත් මංග් දන්නේ නෑ මේ මනුස්සයාගෙන් ගැලවෙන්නෙ කොහොමද කියලා." බරකාහ් මුහුණ පුළුටු කරගෙන කීවාය. "අයිඩියා එකක් නැද්ද ආන්ටි මෙයාව පන්නන්න? මීකතුරක් හරි හයිකරලා යවාගන්න පුළුවං නම් ලොකු දෙයක්. අනුන්ගේ ගෙවල් අස්සෙ රිංගලා ප්රශ්න ඇතිකරනවට." බරකාහ්ගේ කතා විලාශයට සාලිහා හඬ නගා සිනා වූවාය. හුදු විහිළුවකටම පමණක් කීවත් පසුව සිත වද දෙන්නට විනි. ජායිරුන් නැති තැන ඈ පිලිබඳ නොමනා ලෙසින් කතා කිරීම වැරදිය. එහෙත් ඈ පිලිබඳ සිත තුල නලියන්නේ නොරිස්සුම පමණක්මය. රෑ තිස්සේ ඈ මේ ගැහැණියගෙන් මිදෙන ආකාරයක් පිලිබඳ සිතුවත් කිසිම උප්පරවැට්ටියක් සිත තුලට රිංගා සහනයක් ගෙන දුන්නේ නැත. ජායිරුන් වදයක්ය. ඈ අර යුවතියන් අමාෂ්ට විරුධව නැගී සිටුවන්නීය. ඈ ඉන්නතාක් මේ විසිරුණු සොයුරු පෙම ගොඩ නගන්නට බරකාහ්ට හැකි වන්නේ නැත.
"කවුරුත් එයාට කැමති නැහැ. අමාෂ්වත් නෑ. මොකට කරදරයක් වෙනවද මන්දා?" සාලිහා ඈ වෙනුවෙන් ඇනවුම් කළ තේ කෝප්පයෙන් උගුරක් බොමින් බරකාහ් යළි කීවාය.
"එයාට කෙල්ලන්ගේ භාරකාරත්වය නෑ, ඒ.බී. දැන් එයාලගේ භාරකාරයා එයාලගේ අයියා." සාලිහා නිවුනු හඬින් කීවාය.
"ඒත් ආන්ටි, මෙයා අර ළමයින්ගේ හිත් වෙනස් කරන්න වලි කනවා. එයාලා අපි දිහා බලන්නේ හතුරෝ දිහා වගේ. මං දිහා නම් කොහොම බැළුවත් කමක් නෑ. ඒත් අමාෂ්...? එයාගේ වයසින් භාගයක්වත් නෑ. ඒත් කිසිම ගරුසරුවක් නෑ. ඔක්කොටම වැඩිය එයා. එයාට ඒ ගැන ගාණක්වත් නෑ." පැත්තකින් තිබූ බන්දේසිය මත හිස් කළ තේ කෝප්පය තබමින් ඈ කීවේ ඒ නොපහන් හඬින්මය. සාලිහා ඈ දෙස බලා සිටියේ හරියට හනියා ඈ දෙස බලන්නාක් සේය. විශ්වාසය සහ ආදරය මුසුවූ ඒ බැල්මට බරකාහ් කවදත් නතුය. ඒ විශ්වාසනීයත්වය තමා අයුතු ලෙසින් ප්රයෝජනයට ගත්තාදෝයැයි ඈ සිතට සැනින් දැනෙන්නට විනි. ජායිරුන් පිලිබඳ දොඩා සාලිහාගේ සිත දිනා ගන්නට ඈ තුල කිසිම ඕනෑ කමක් නොතිබුණත් තමා කරන්නේ වැරදි දෙයක් වග බරකාහ්ට සිතුනි.
"ඔයා අමාෂ්ව කළිං දැනං හිටියා නේද?" බරකාහ්ගේ සිත තිගැස්සවමින් සාලිහා වෙනස්ම ප්රශ්නයක් ඇසුවාය. ඒ තරුන ඇගේ සිත විනිවිද පෙනුනු නිසාය. අමාෂ්ගේ නම ඒ මුවින් ගිලිහෙන්නේ භක්තියෙන් වග අත්දැකීම බහුල සාලිහාට වැටහුනි. මුලදී මේ විවාහයට අකමැති වූ ඇය දැන් අමාෂ් පිලිබඳ නෝක්කාඩු කියන්නේ හරියට පරිනත විවාහ ජීවිතයක් ඔහු හා ගෙවා දැමුවාක් සේය. මේ ආදරය මිස වෙන මොනවද? සාලිහා තමාගෙන්ම අසාගත්තේ හනියා යන්තම් ඇයට කී කරුණු මතක් වෙද්දීය.
සාලිහාගේ කතාවට බරකාහ්ට කෙළින් ඉන්දැවිනි. තේ බීවේ දැන් මුත් උගුර කට වේලිලා ගියේ මුව ගොළුකරමිනි. හනියා තමා පිලිබඳ ඇගේ හොඳම මිතුරියට කියා ඇති සැටියකි.
"අයි ඩිඩන්ට් මීන් ටු එම්බැරස් යූ," ඈ අපහසුතාවයකට පත් කරන්නට නොසිතූ වග කී සාලිහා ඉදිරියට නැමී බරකාහ්ගේ සීතල වූ අතක් අල්ලා යන්තම් පිරිමැද්දේ මවක සේය.
"මේ නිසයි හනියා එයාට සුදුසුම ඔයා කියලා හිතන්න ඇත්තේ." සාලිහා කියද්දී මුළු සර්වාංගයේම වූ රුධිරය පොරකමින් ඈ දෙකොපුල් වලට රොක්වන්නට වූවා යැයි බරකාහ් සිතුවේ ඒතරමට කොපුළ් රත් වූ නිසාය.
"හනියා විශ්වාසකරන්න ඇති අපේ හිත් දිනාගත්තා වගේම ඔයා එයාලගේ හිත් දිනා ගනී කියලා."
සාලිහාගේ ඒ විශ්වාසනීය වදන් තවතවත් ඈ කර මත යුතුකම් පොදියක් දැම්මා සේ බරකාහ් හට දැනෙන්නට විනි. ඈ එහලටගත් සුසුම බිම හැරියේ අසරණ හැඟුමකිනි.
"මං...මං දන්නේ නෑ ආන්ටි...ආන්ටි හනියට වැරදුනාවත්ද කියලා හිතෙනවා...මං කොහොමද නාහෙට අහන්නැති අයියා නංගිලාව එකතු කරන්නේ?"
බරකාහ්ගේ කතාවට සාලිහාගේ මුවග ආ හසරැල්ලක් ඇඳුනි. මේ කෙල්ලගේ අසරණකම ඇයට නොතේරෙනවා නොව. එහෙත් හනියා මෑ පිලිබඳ විශ්වාස කළානම් ඈ පිලිබඳ අවිශ්වාස කරන්නට තමාට හේතුවක් නැතිවග සාලිහා සිතුවාය.
"ගහෙන් ගෙඩි එන්නා වගේ එයාලගේ අමනාපකම්, නොගැලපීම් හදාගන්න බෑ තමා දරුවෝ. එයාල ඔය ඉන්න විදිහට හුරුවෙලා...ඒත් අමාෂ්ට මේ ඉන්නේ එයාලගෙම නංගිලා කියලා තේරුම් යාවි දවසක...ඉන්ශා අල්ලාහ්!"
"අනේ මන්දා...මොනවා හරි කරලා මේ කට්ටිය සමගි කරන්න පුළුවං නම්...අඩුම ගානේ ඇමාෂ්ව මේ ලෝකෙට ගේන්න පුළුවං නම්..." ඈ තනියම කුටු කුටු ගෑවත් ඈ එතරම් ඈතකින් නො ඉඳ උන් සාලිහාට ඈ කීවක් නෑ සුනේ නැත.
"ඒ කොල්ලා හැමදාම ඔහොමයි...කරදරකාරයා." බරකාහ් සාලිහා දෙස පුදුමයෙන් බැළුවත් වියපත් කත එය කීවේ හුදු සෙනෙහසින්ම වග ඇගේ මුවග රැඳි සැහැල්ලු සිනහවින් හඳුනාගත්තාය.අමාෂ් පිලිබඳ තමා නොදන්නා දෑ විමසන්නට කදිම අවස්ථාවක් වග ඈ සිත මුමුණන්නට විනි. නොපමාව ඒ පිලිබඳ ඇසුවේ ඒ නිසායා.
"අමාෂ් අච්චර පොඩි කාලේ ගෙදරින් ගියේ ඇයි, ආන්ටි?" මේ පිලිබඳ හනියාගෙන් අසන්න කවමදාකවත් ඇයට දෛරයයක් තිබුනේ නැත. ඇගේ වියපත් මිතුරිය උන්නේ පිලිකාවින් බැට කමිනි. ඒ අතරේ තම දරුවන්ගේ අනාගතය පිලිබඳ සිතා වද වූවාය. හිතුවක්කාර පුතු පිලිබඳ සිහිවන හැම මොහොතකම ඉකිබිඳ හැඬුවා මිස වැඩි යමක් කීවේ නැත. හනියා හමු වූ අළුත යොවුන් කොළුගැටයෙකුගේ ඡායාරුවක් හනියාගේ ගමන් මල්ලේ තිබුනි. කාමිල්ගේ අතින් අනතුරට පත් මන්සූර් එතැනම මිය ගිය තැන තුවාල ලබා රෝගාතුර වූ හනියාව බලා කියා ගත්තේ බරකාහ් ය. ඒ වන විටත් හනියා පිලිකාවකින් බැටකමින් ඊට ප්රතිකාර ලබන්නට එන්ගලන්තයට පැමිණ උන්නාය. ඇයට ආවතේව කළ බරකාහ් දවසක් ගමන් මල්ල පිරික්සද්දී දුටු රූප රාමුවෙන් මොහොතකට ගල් ගැසී බලා උන්නාය. ඒ රුවට හිමි ඔහු ලාබාල වියේ ගත් ඡායාරුවක් වූ නම්දු බරකාහ් හට ඔහු හඳුනාගන්න බැරි වූයේ නැත. අමාෂ්ගේ කොන්ඩය කොටටම කපා තිබුනේ මනාව වැඩෙන ශරීරය මැනවින් පෙනෙන්නට සේය. පළල් උරහිස් කියා පෑවේ ඔහුගේ ක්රීඩාශීලි බවය. විසල් තියුණු කළු ඇස් ස්වාභාවික කඩවසම් බව ඔපවත් කළාක් සේය. ඒ කඩවසම් යෞවනයා දෙස දෙනෙත් ආයා බලා සිටියේ සියල්ල අමතක වූවා සේ නොවේද? ඡායා රුවක් වීද ඔහු දෙස ලඟ හිඳ බලා සිටින්නාක් වන්වූ හැඟීමක් තම තුරුණු සිතට දැනුනා නොවේද? ඝණ කළු ඇහිබැම මෘදුව රැළි වැටී තිබුණේ ඡායාරුව ගන්නා මොහොතේ ඕනෑවට එපාවට හිනා වෙන හිනාවක් මුවග සිත්තම් කළ නිසාය. ඒ හිනාව අග කම්මුලක වල ගැසී තිබුනේ ආකර්ෂ්ණීය බවක් මුසු කරමිනි. ඈ ඔහු මුණ ගැසෙද්දී නැහැයේ මැදක ලාවට පෙනුනු කැපුම් කැලල යොවුන් අමාෂ්ගේ නැහැයේ තිබුනේ නැත.
ඒ රුව දෙස පුදුමය මිශ්රිත හැඟීමකින් කොතෙක් වේලා බලා සිටියාදැයි බරකාහ් අදටත් දන්නේ නැත. ඈ ඒ රුව දෙස බලාගෙන ඊට සති කිහිපයකට ඉහතදී තමන්ට සරණක් වූ වැඩුණු අමාෂ් හා සසඳන්නට වූවාය. තමා විවාහ වූ ස්ත්රීයක් වග නොදැන විවා යෝජනාවක් ගෙන ආවේ ඊට සති කිහිපයකට පෙරදී නොවේද? ඔහුට වචනයක් හෝ නොදී පිටත්ව ආවේ යළි ඔහුගේ මවගේ මාර්ගයෙන් හමුවන්නට වග බරකාහ් එදා දැන උන්නේ නැත. හනියාගේ හිතුවක්කාර පුතු වග ඈ දැනගත්තේ ඒ ඡායාරුව කාගේදැයි ඈ සිය මිතුරියගෙන් ඇසූ කලය.
හනියා වදනකුද කීවේ නැත. ලෙඩ ඇඳට වී උන් ඈ දෙනෙත් කඳුලින් බබලන්නට වූයේ නිරායාසයෙනි. හනියා එංගලන්තය බලා නිතර ආවේ සිය රෝගී තත්ත්වයට ප්රතිකාර වශයෙන්ම නොවන වග සිහිවූයේ නිහඬව ඉකිබිඳින වියපත් කත දෙස බලාගෙන උන් වේලේය. වයස දහසයේදී පවුලෙන් පැන දිවූ පුතු එංගලන්තයේ ජීවත් වනවග ලද හෝඩුවාවකින් පසු හනියා සිය සැමියා හා වසරකට එක් වතාවක් හෝ එංගලන්තයට පැමිණ ඔහු පිලිබඳ තතු සෙව්වාය. එහෙත් ඒ වන තුරුත් ඔහු සොයාගන්නට ඇයට හැකිව තිබුනේ නැත. ඒ වසරේත් ඔවුන් දෙපල ලන්ඩන් නුවර බලා ගියත් එහිදී ඛේදනීය ලෙසින් මන්සූර්හට ජීවිතයෙන් සමුගන්නට සිදුවිනි. මාරාන්තික පිලිකාවක් නිදන්ගතව තිබි හනියා බරපතල ලෙසින් තුවාල ලබා මාස කිහිපයක් එක්තැන්වූයේ දෛවයේ සරදමටය.
"පැනලා යන්න තරම් හේතුවක් තිබුණද කියන්න මන් දන්නේ නෑ ඒ.බී. එයයි, අල්ලහ්යි විතරයි දන්නෙ ඇයි කියලා. ඒත් එක දෙයක් නම් විශ්වාසයි. කොල්ලා හනියා ආයෙත් කසාද බැන්ද එකට නම් එච්චර කැමැත්තකින් නෙමෙයි හිටියේ."
සාලිහාගේ හඬින් බරකාහ් යළි පියවි සිහිය ලැබුවාය.
"ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? ආයේ කසාද බඳිනෙක පවක් නෙමෙයි නේ?" නොදැන ඇසූ ප්රශ්නයක් නොවන වග ඇගේ ස්වරයෙන්ම සාලිහාට අවබෝධ විනි. වැන්දඹුවක්, දික්කසාද වූ අයෙක් නැවත විවාහ වීමේ ඇතිවැරැද්දක් නැතත් සමාජය ඔවුන් දෙස බලන්නේ වපර ඇසිනි.
"අවුරුදු දාසයේදි අමාෂ් කොහොමද යූ.කේ ගියේ?" බරකාහ් ඇසුවේ කුතුහලයෙනි. ඇයට ඔහු පිලිබඳ සියළු තතු දැනගැනීමේ කුකුසක් පහල විනි. ඒ තරම් අහිංසක, දෛර්යවන්ත මවක් හැරදා යන්නට තරම් සිත් වූයේ කෙළෙසද? නැවත විවාහයක් කරගත් තැන අමාෂ් කිපුනේ ඇයි? ඈ මුණගැසී නොතිබුනත් මන්සූර් මහතා පිලිබඳ අසන්න ලැබුනේම ඔහුගේ හොඳක් මිස නරකක් නොව. එසේ වී නම් එවන් කුඩප්පච්චී කෙනෙකුහට විරුද්ධවන්නට තිබු උවමනාව කුමක්ද? අමාෂ්ගේ මියගිය පියා පිලිබඳ, අමාෂ් පිලිබඳව නොදන්නා බොහෝමයක් කරුණු ඇතිවග බරකාහ්ට සිතුනේ ඒ කුකුස තීව්ර කරමිනි.
"එයාට ඒ වෙනකොටත් විසිටිං වීzසා තිබුණා. එයාගේ නැන්දා, නිලූෆා තමා රහසින් මේ කොල්ලව ස්පොන්සර් කරලා අරං තියෙන්නෙ. කාලයක් තිස්සෙ සැලසුම් කරලා කරපු දෙයක්...එක සිද්ඪ්Hඉයක් මත ගෙදරින් තරහ වෙලා ගිය කෙනෙක් නෙමෙයි අමාෂ්...හනියා ගැන ඇති වෙන්න විස කවලා ඒ දරුවාව අම්මගෙන් වෙන්කළා කියලයි මං හිතන්නේ." සාලිහා කියා අහවර දිගු සුසුමක් හැරියායේ නෙතට කඳුලක රස දැනෙද්දීය. සාලිහා හා හනියා අඹ යෙහෙලියන්ය. තමාටම හනියා පිලිබඳ මෙතරම් වේදනාවක් දැනුනානම් සාලිහාට කොතෙක් දැනෙන්නට ඇත්ද? බරකාහ්ගේ දෙනෙතද යාන්තමට තෙත් විනි.
"එයාගේ තාත්තට මොකද උණේ?" බරකාහ් හඬ කැවූයේ තදින්ම වද දුන් ගැටළුවකටය. සාලිහාගේ වතේ ඉරියව් බලා සිටියදී අඳුරුවන්නට විනි.
"ඒ දෙන්න කසාදබැන්දේ හිතුමතේට. හනියට අවුරුදු දාහතයි එතකොට."
"ගෙදරට හොරෙං?" බරකාහ් එය ඇසූ ආකාරයට සාලිහාට සිනහා නොවී බැරි විය.
"එයාලා කzසින්ස්...අයියගෙයි, නංගිගෙයි දරුවෝ. හනියාගේ අම්මා තාත්තා නැතිවුනේ පුංචි කාලේ. අයියා කෙනෙක් විතරයි හිටියේ. එයා ඒ කසාදෙට කැමති උණේ නෑ."
"ඇයි?"
"හසන්ට ජීවිතේ ගැන බරපතල කමක් තිබුණේ නෑ. ඒත් හනියා හිතුවක්කාරයි. කසාද බැන්දයින් පස්සෙ හැදෙයි කියලා හිතුවත් හසන් වෙනස් උණේ නෑ. සූදුවෙන්ම මනුස්සයා විනාස උණා." සාලිහාගේ කතාවට බරකාහ්ගේ දෑස් නලලේ ඉන්දැවිනි.
"සූදු ගැහුවා?" උකුළේ තියාගෙන උන් අත් බෑගයේ පටියක් ඈ අතින් ඇද්දේ නොදැනුවත්වමය.
"හ්ම්ම්...හාට් ඇට්ටෑක් එකකින් නැති උණේ දහ අතේ ණය වෙලා. ඔය ඉන්න ගෙදරත් උකසට තියලා. අමාෂ්ට අවුරුදු පහක් විතර ඇති එතකොට. අමාෂ්ගේ මීමුත්ත මහ මුදලි කෙනෙක් රජ කාළේ...ඔය ඉඩම ලැබිලා තියෙන්නේ රජ්ජුරුවන්ගෙන් තෑග්ගක් හැටියට. පරම්පරාවෙන් පරම්පරාවට අයිතිවෙච්ච දේපොල...ඔක්කොම මේ මනුස්සයා නැතිකරගත්තා...ඉතුරු වුණේ ගේ විතරයි...ඒකත් උකස් කරලා සින්නවෙන්න ගියේ. හසන්ට හිටියෙත් නංගි කෙනෙක් විතරයි. නිලූෆා බැඳලා එංගලන්තේ ගියා. දුර නෑයෝ හැමෝම බැන්නේ හනියට. හරියට එයා මේ හැමදේම කළා වගේ. මන්සූර් හසන්ගේ හොඳ යාළුවෙක්. ඒ මනුස්සයා මැදිහත් වෙලා ගේ බේරගත්තා. මදිවට හනියාව කසාද බඳින්නත් කැමති උණා. ඒත් ඔය කවුරුත් ඒකට ඒ හැටි කැමැත්තක් තිබුනේ නෑ. මන්සූර් උපතින්ම පොහොසත්...හනියා බැඳලා හොඳිං ඉන්නවට ඔය කවුරුත් කැමති උණේ නෑ. මන්දා...හනියා හසන්ව බැඳලා විඳවපු දුකක්...ඔය කොල්ලට ඒවා මතක නෑ නේ...බොනවයි...සූදු ගහනවයි ඇරෙන්න හසන් දන්න වෙන දෙයක් තිබුනේ නෑ." සාලිහා දිගු සුසුමක් හැර ලය සැහැල්ලු කරගන්නට හැදුවාය. සිය මිතුරිය විඳි අපා දුක නිනව් වී බඩ පපුව දනන්නාක් සේ විනි.
"මැරිච්ච මනුස්සයෙක් ගැන මෙහෙම කතා කරන්න හොඳ නෑ. ඒත් මන්සූර්ව බැන්දයින් පස්සෙයි හනියා සංතෝසෙන් හිටියේ. ඒත් ඒ සතුට ඒ හැටි කාලයක් තිබුනේ නෑ. මේ කොල්ලගේ හිතට විස කවලා ඒ පවුලේ සැනසීම නැති කළා. ඒකටම හරියන්න ජානු...අප්පෝ...ඔය ගෑණි අනිත් හැමෝටම හපං. අමාෂ්ටයි, හනියටයි කිසිම වෙනසක් නැතුව මන්සූර් සලකන කොට නංගිට ඉවසන්න බැරු උණා."
බරකාහ්ගේ සිතට දැනුනු වේදනාව අපමණය. හනියාගේ ජීවිතයත් තමා ගෙවූ කටුක ජීවිතයට සමාන් නොවන්නේදැයි ඈ තමගෙන්ම අසාගත්තාය. හනියාගේ කතාව ඩිංගිත්තක් වෙනස් වන්නේ ඈ පෙම් කළ සැමියා අතින් දුක් උහුලන්නට සිදුවූ නිසාය. බරකාහ්ට එසේ නැත. කිසිවෙකුත් කිසිදා ඇයට සෙනෙහස පෑවේ නැත. සිත පාමුල තැබූ ආදරයේ හිමිකරුට දැන් ඈ නිකන්ම නිකන් ගැහැනියක පමණය. ඒ දැනෙද්දී හදවතේ සිහින් කෙඳි කවුරුන් විසින්හෝ ඇද වීනා වාදනය කරන්නාක් සේ දැනෙන්නට විනි. හිත පුරාවට ඇසෙන්නේත් ශෝකී ගීතයක්ම පමණය.
"මන්සූරුයි, හනියයි කසාද බැඳලා අවුරුදු දහයකට පස්සෙ මේ කෙල්ලො තුන්දෙනා ලැබුණේ. ඒත් ඒ වෙනකොට අමාෂ් තරුන කොල්ලෙක්...අවුරුදු දාසයක්."
"ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? දරුවෝ ඉපදෙන්නේ දෙවියන්ගේ කැමැත්තට. අනෙක අමා තරුණ නම්, දරුවෙක් හදන්න තරමට නිරෝහි නම් ඉතිං දරුවෝ හදපුහාම මොකද? ලොකු ළමයි ඉන්නවා කියලා බ්රහ්මණ ජීවිත ගතකරන්න ඕනේද? ඒක හරි කතාවක් නේ." බරකාහ් වදන් තෙපලේ නොරිස්සුමෙනි. මේ සමාජය හරිම කෲරයැයි ඈ සිතුවේ කලකිරීමෙනි.  දෙදෙනෙකු විවාහ වන්නේ කම්සැප ලබන්නටම පමණක් නොව. එහෙත් ඒ සැප විඳින්නට නීත්යානුකූල අඹුසැමි යුවලට කාගෙන්වත් අවසරයක් අවශ්ය වන්නේ නැත. එය එසේ වූවත් තවකෙකුගේ නිදි යහන පිලිබඳ අලජ්ජ ලෙසින් කතිකාවතක් නිර්මාණයකරගන්නා සමාජයේ පටු ඇස දෙස බරකාහ් බැලුවේ කෝපයෙනි.
"මේ සමාජ ක්රමය එහෙමනේ ඒ.බී. මනුස්සයෙක්ට සතුටින් ඉන්න දෙන්නේ නැහැ. දරුවෝඑ නැත්නම් කෝ දරුවෝ කියලා අහන මිනිස්සු, දරුවෝ හිටියකම විසේ කියලා හංවඩු ගහනවා." සාලිහා කීවේත් කලකිරීමෙනි. බරකාහ් යමක් කියන්නට කට ගත්තත් අත් බෑගය තුළින් කම්පන තරංග දැනෙන්නට විනි. ඇය බෑගය විවර කොට දුරකථනය අතට ගත්තේ විනාඩියක් යැයි ඇඟිල්ලකින් සාලිහා දෙස සන් කරමිනි. දුරකථන මුහුණතේ අමාෂ්ගේ නම දිස් වන්නට විනි. විනාඩියකට වඩා තමන්ට ඕනෑවග දත් නිසාම ඇය දෙනෙත් කුඩා කොට බලා සාලිහාට සිනහවක් පාමින්ම හුනස්නයෙන් නැගිට හිමිහිට පිවිසුම් දොරටුව වෙත ගියාය.
"කොයි මගුලක ගිහිංද මන්දා!" ඇමතුම සම්බන්ධ කළ වහාම ඇගේ දෙසවන් පිපිරෙන්නට ඔහුගේ ගෝරණාඩුව ඇසෙන්නට විනි. බරකාහ්ගේ දෙබැම ඉස්සුනේ නොසන්සුන්වය.
"අස්සලාමු අලයිකුම්!" සැහැල්ලුවෙන් නොවුනත් සන්සුන් වෙන්නට සිතා ඈ වදන් බරකර කීවාය. පසුව ඔහු පෙරලා සලාමයට පිලිතුරු බඳින තුරු නිහඬව බලා සිටියාය. අමාෂ් තවත් යමක් කීවද බරකාහ් නිහඬව උන් නිසා අමාෂ්ට සුභ පැතීමට පිලිවදන් දෙන්න සිදු විනි.
"වලෛකුම් අස්සලාම්!" ඔහු කීවේ කියා නොබැරිකමට වාගේය. බරකාහ්ගේ මුවග සරදම් සිනහවක් රැඳෙන්නට විනි.
"ඔයා දැන්ම මෙහෙ එන්න! මං දන්නෙ නෑ කොහෙන් පටන් ගන්නද කියලා. පිස්සු මඩමක් වගේ. ලයිෆ් ඉස් ටෝටලි කන්ෆියුzසින්ග්!" මුව සිනහවින් පළල් වෙද්දී ඇය හිමිහිට පිවිසුම් දොරින් පිටව පටු කොරිඩෝව දිගේ කෙටි පියවර තැබුවාය. කාර්යාලය ව්යවුල් වග ඔහු කීවත් ඔහු ඒ කියූ ආකාරය හාස්යජනකය.
"තේරුම් ගත්තු එක කොච්චර දෙයක්ද? ලයිෆ් ශුඩ් බී ටකෙන් සීරියස්ලි." ඔහු අදහස් කළේ ලයිෆ් සමාගම පිලිබඳ වුවත් බරකාහ් ජීවිතය බැරෑරුම්ව දැකිය යුතුවග කීවේ සිතා මතා ඔහු පටලන්නය. ලයිෆ් සමාගම පිලිබඳ ඔහු කතාකරන හැම මොහොතකම ජීවිතය පිලිබන්ද ඉඟි මරන්න ඈ පුරුදු වූයේ හිනා වෙන්නට නිරායාසයෙන් මග පෑදෙන නිසාය.
"මේක විහිළුවක් නෙමෙයි ඒ.බී! මං දන්නෙ නෑ කොහෙන් පටන් ගඳ කියලා."
"මුල ඉඳන්ම පටන් ගන්න."
"පිස්සුද? මේ දූවිලි වලට යටවෙච්ච විස්තර හොයන්න මට බෑ..."
බරකාහ් දෙතොල් උල්කොට හිනැහුණාය. ඇගේ දෙනෙත් යාවුණේ කවුළුවෙන් එපිට පෙනෙන විසල් තට්ටු ගොඩනැගිල්ල වෙතය. ජීවිතේත් මෙයාකාරව පැටළුණු දෑ ගොඩගැසී ඇතැයි ඈ සිතුවාය.
"ඕවා අවුස්සලා එකින් එක ගොඩදාලා හෙව්වේ නැත්තං කොහොමද ලයිෆ් එක ගැන දැනගන්නේ?"
බරකාහ් සැහැල්ලුවට කීවත් පිලිතුරු සේ ලැබුනේ එහා ඉමෙන් ඇසෙන සුසුම් හඬ පමණය. හිටිහැටියේ අමාෂ් නිහඬ වූයේ ඇයි?
"හෙලෝ?" ඈ ඔහු තාමත් ඇමතුමේ ඉන්නාවග තහවුරු කරගන්නට සිතා ඇසුවාය. එහෙත් ඔහු නිහඬය. දුරකතනය දෙස බැලූ කළද පෙන්නුම් කළේ අමාෂ් තවමත් ඇමතුමේ රැඳී ඉන්නා වගය. යලිත් හෙල්ලෝ යැයි කීවේ ඔහු ඉන්නා වග තහවුරු කරගන්නටය.
"ඔයා කතාකරන්නෙ මං කතාකරන දේ ගැනමද?" ගැටළුසහගතව ඇසූ ප්රශ්නයට බරකාහ් කට කොණින් සිනා වූවාය.
"ඒකම තමා...ලයිෆ්." ඈ කියද්දී යළිත් වරක් නිහඬ වූවත් ඔහුගේ සුසුම් හඬින් අමාෂ් යන්තමට කටැතුලින් හිනා වූවග ඇයට විශ්වාසය.
"හරි එහෙනං, පුළුවංද මේ පැත්තට ඇවිත් මේ අවුල හරිගස්සලා යන්න?" ඒ ස්වරයේත් සැඟවුණු සරදම් සිනහවක් මුසුව තිබුණා යැයි ඈ සිතුවාය.
"ඒකම තමයි දැන් මං කරන්න හැදුවෙත්...අවුල ලෙහන එක..." බරකාහ් කීවේ ඔහුට පොරොන්දු වෙමිනි.
"දන්නවද ඒ.බී...ඔයා වෙලාවකට මහ අමුතුයි." අමාෂ් කීවේය.
"තෑන්ක්ස්!" එහා කොණින් අමාෂ් හිණහෙන හඬ ඇයට ඇසුණි. තේරුම්ගන්න බැරි ඔහුව වග කියන්නට ඇයට ඕනෑ වුවත් බරකාහ් නිහඬ වූවාය.
"හොඳයි මං එන්නං. කෝපි එකක් ලෑස්ති කරලා තියන්න." බරකාහ් හුදු විහිළුවට කීවාය.
"නව ඇරඹුමකට," අමාෂ් එසේ කියා ඇමතුම විසන්ධි කළේ ඈ තුෂ්ණිම්භූත කරමිනි. එසේ කීවේ කුමකටධයි ඈ සිතුවේ දාහක් සිතුවිලිවලින් සිත පෙඟෙද්දීය.

ආදරේ විතරමයි- Nothing but LoveWhere stories live. Discover now