Chapter 5

97 9 7
                                    

5 වැනි පරිච්ඡේදය

සුඛෝපබෝගි කවිච්චියේ හිඳ හුන් අමාෂ් හිස් බැල්මෙන් අතවූ යතුරු කැරැල්ල දෙස ඔරවාගෙන උන්නේය. ඔහුට පිලිගන්වා තිබුනු තේ කෝප්පය ඇල්මැරෙමින් තිබුනි. කවදත් සේ ඉවරයක් නැති සිතුවිලි යුද්ධයක ඔහු නියැලී උන්නේය.
"ඕන කමින්මයි මෙච්චර දවස් ගත්තෙ තීරණයක් දෙන්න. එතකොට මට වෙන ක්රමයක් ඉතුරු වෙන්නෑනෙ. අහංකාරකම ඕනෑවටත් වැඩියි. මේ නාකි ගෑනුත් තොඳොල් කරනවානේ."
යලි යලි පැටලෙන නූල් බෝලයක් සේ ප්රශ්නයක තමා පැටලී නුනා නම් කවමදාකවත් මේ සාමාන්යයෙන් අසාමාන්ය ආඩම්බරකාරිව කසාද බඳින්න ඔහු කීයටවත් එකඟ වන්නේ නැත.
විශ්වයේ අන්තිම ගැහැනිය ඈ වුවද ඔහු මේ මංගල්යයට එකඟ වන්නේ නැත. ඔහු මත පැටවී ඇත්තේ අනවශ්ය බරකැයි දැන දැනත් ඒ බර කරගහන්නේ මනුස්සකම නිසාය. තමා පිලිබඳ කිසිවෙකුත් පැහැදෙන්නට ඕනෑ නැත. මේ සුපුරුදු දඩබ්බර බව ඔහුටම ආවේනික වූවකි.
"හුඟක් වෙලා බලං හිටියද, අමාෂ්?" අමාෂ් හිස ඔසවා බැලුවේ සාලිහාගේ හඬටය. සාලිහා හා තවත් යමෙකු පැමිණි වග අමාෂ්ට විශ්වාසය. එහෙත් ඔහු දකින්නට බලාපොරොත්තු වූ ඈ සාලිහා හා වූයේ නැත. සාලය වෙන්කෙරෙන ක්රීම් පැහැති තිර රෙද්දට ඈ මුවා වූ වග ඔහුට යන්තම් ඉව වැටුනි.
"දැනගෙන මොනවා කරන්නද ආන්ටි සාලිහා? දැං ඒක වෙනස් කරන්න පුළුවංද?"
අමාෂ්ගේ නොරිස්සුම්බව ඉව වැටුනු සාලිහාගේ ඇහි බැමක් ඉහලට එසවිනි. ඔහු විහිළුවක් නොකළ වග ඇයට විශ්වාසය.
"ඕන නම් මට තව උණු තේ කෝප්පයක් ගෙන්නගන්න පුළුවං වෙයි." අතටවත් නොගෙන තිබූ තේ කෝප්පය දෙස නෙත් යා කරමින් වියපත් කත කීවාය. අමාෂ් සැහැල්ලුවෙන් දෙපා දිගු හැර කවිච්චියේ හාන්සි වූයේ ඔහු කිසිම අපහසුතාවයකින් තොරව එතැන රැඳී ඉන්නා වග අඟවන්නටය. තම කැලඹුණු සිත කවුරුත් කියවනවාට අමාෂ් කැමති නැත.
"නෝ තෑන්ක්ස්, ආන්ටි. මට තේ බොන්න ඕනකමක් නෑ. අනික මං ආවෙ තේ කෝප්පයක් ගැන වැල්වටාරම් කතා කරන්න නෙමෙයි නෙ?" අමාෂ්ගේ නොහික්මුණු කතා ස්වරූපයට දැන් සාලිහා හුරුව උන්නාය. ඔහුට කියන්නට අවැසි දේ වහෙන් ඔරෝ ඉඟි මරන්න ඔහු දක්ෂය.
සාලිහා නැන්දාගේ නොපහන් බැල්ම ඔහුට තේරුම් ගන්නට බැරුවා නොව. මේ කවුරුත් සිතන්නේ අම්මාගේ දේපොල වලට ඇති තන්හාවට මේ කටයුත්තට ඔහු ලහි ලහියේ සූදානම් වනවා කියාය. අම්මාගේවත්, ඇගේ දෙවැනි සැමියා මන්සූර්ගේවත් තඹ දොයිතුවක්වත් ඔහුට ඕනෑ නැත. එහෙත් සිත කොණක අර තරුණියන් තිදෙනා වෙනුවෙන් උපන්නේ අනුකම්පාවකි. තාමත් නව යොවුන් වියේ උන් අම්මාගේ දියනියන් තිදෙනාගේ ඉරණම පිලිබඳ ඔහුට ඇතිවූයේ බියකි. ජායිරුන් නැන්දා කවුරුන්දැයි ඔහු හොඳාකාරවම දන්නේය. මන්සූර්ගේ එකම සොයිරිය වූ ඇය තරම් තණ්හාකාරියක ඔහු වෙන කොහේදිවත් දුටුවේ නැත. අනුන්ගේ ප්රශ්නවලට සූක්ෂම ලෙසින් හොට දාන ඇය පවුල් කඩා කප්පල් කරන්නේ කාටවත් නොතේරෙන්නය. ඈ පිලිබඳ සිතෙද්දීත් දැනෙන්නේ පිලිකුලකි. ඈ නොවන්නට ඇතැම්විට අමාෂ් මෙවන් විකාර අවසන් කැමති පත්රයකට කොටුවන්නේද නැතුවා විය යුතුය.
"මට හුඟක් සන්තෝසයි ඔයාලගේ තීරණේට...අල්හම්දුලිල්ලාහ්! මේ අවුල ලෙහන්න තවත් පොඩි පොඩි දේවල් තියෙනවා කරන්න...ඒවා ගැන පස්සෙ බලමු. ලොකුම ප්රෂ්නේ භාරකාරත්වය ගැන තියෙන අවුල. ඒක නිරාකරණය වෙන එක නම් ගොඩක් හොඳයි. දැං කවදා විතරද කසාදෙ කරන්න ඉන්නේ අමාෂ්?"
සාලිහාගේ මුහුණේ ඇඳුණු ඉරියව් සැහැල්ලු බව විදහා දක්වන්නට විනි. අම්මාගේ මේ අවස කැමති පත්රයේ බර ඕනෑවටත් වඩා සාලිහා නැන්දාගේ සැනසුම උදුරාගෙන තිබි වග අමාෂ්ට හැඟුනත් ඔහු ඈ දෙස බලා උන්නේ ඒ නිසාමත් නොව. සාලිහා කියූ කතාවේ බරපතලකම දන්නේ ඔහුය. ල\කාවට යළි පය ගහද්දී කසාදයක් පිලිබඳ ඇබිත්තක හෝ අදහසක් ඔහු සිත වූයේ නැත.
"තව දවස් දෙකනේ තියෙන්නෙ...ඒ නිසා හෙට උණත් කමක් නෑ." දැනි අපහසුතාවය මග හරිමින් ඔහු කීවේ මෙතැන රැඳී සිටින කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුට හෝ තම සිතැඟි නොතේරෙන්නටය.
"කෙල්ලො තුන්දෙනා මේ සෙනසුරාදා ගෙදර එනවා...නිවාඩු කාලේ නෙ."
ඒ කණවැකෙත්ම අමාෂ්ගේ දෙතොල් සිහින් රේඛාවක් බවට පත් වුනි. ඔවුන් පිලිබඳ සිතෙද්දී මොහොතකට පෙර දැනි අනුකම්පාව පරදා නොරිස්සුම මතුවන්නට විනි.
'මේ කෙහෙල්මල් මගුලට මුලම මුං තුන්දෙනා නෙමෙයිද? අම්මාට හැමදාමත් ලොකු උනේ මේ වදකාර කෙල්ලො තුන්දෙනා.'
අමාෂ් ඔවුන් අවසන් වරට දුටුවේ ලදරුවන් කාලයේදීය. ඉවරයක් නැති හැඬිල්ල නිසා ඒ වහල යට ජීවත් වීම තරුණ ඔහුට එපාකර විනි.
"අපි පස්සෙ අනික් දේවල් ගැන කතාකරමු. ඉස්සෙල්ලාම ඔය දෙන්න දැන අඳුනගන්නකෝ. මං ටක් ගාලා එන්නං...කෝල් එකක් ගන්න තියෙනවා...එක්ස්කියුස් මී..."
සාලිහා උන් තැනින් නැගිට සාලයෙන් ඉවත්ව ගියේ ඔවුන් දෙදෙනාට තනිව කතාකරන්නට මං පාදාය. එහෙත් නිහැඬියාව මුළු ප්රදේශයම ගිල ගත්තා සේ විනි. සැන්දෑවේ සීත සුලඟ කවුළුව හරහා තිර රෙදි පීරාගෙන සාලය තුලට හමා එන්නට විනි. අමාෂ්ගේ සිත කුතුහලයෙන් පිරෙන්නට විනි. ඔහු මේ යුවතියට පෙම් කරන්නේ නැත. එහෙත් හෙට සිට ඈ ඔහුගේ නීත්යානුකූල බිරිඳවග දැනෙද්දී සිතට දැනුනේ අමුතුම හැඟීමකි. මේ ගණුදෙණුවෙන් ඇයට කිසිදු වාසියක් නොවන වග අමාෂ්ට සක් සුදක්සේ පැහැදිලිය. අම්මාගේ දේපොල වලින් කොටසක් කොල්ල කන්නට ඇයට මේ කසාදයට ඈ කැමති විය යුතුම නැත. මේ ගෙවුනු කාලය තුල ඇය අම්මාගේ ව්යාපාරයේ සැලකිය හැකි ප්රමානයේ වගකීම් ගොන්නක් කර දරගෙන ඇත. එහෙව් ඇයට තමා හා විවාහ වූවාය කියා වෙන සුගතියක් නැත. එසේ නම් ඈ කීවාක් සේ මේ කරන්නේ අම්මා පිලිබඳ වූ පැහැදීමට කෙරෙන සත් ක්රියාවක්ම විතරද?
සිත කොණක ඈ පිලිබඳ උපන්නේ පැහැදීමකි. මෙවන් වූ අවුලක් නිරාකරණය කරන්න තම ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනත් කිසිම යුවතියක් කැමති නොවෙනු ඇත. අමාෂ් උගුර පෑදුවේ මේ නිහැඬියාව බිඳින්නටය. එහෙත් මොහොතකට ඔහුගේ දිව ගැට ගසා ඇත්තාක් සේ දැනෙන්නට විය. මේ සිදුවෙන කිසිවක් ඔහුට හුරු නැත.
"අහ්! ඔයා දන්නවා මේ කසාදෙන් මං බලාපොරොත්තු වෙන් දේ, හරිද?" බොහෝ වෑයම් කිරීමකින් අනතුරුව කතා කරන්නට වචනයක් දෙකක් අහුලා ගන්නට ඔහුට හැකි විනි. ඔහුගේ නෙත් බැල්ම නතර වූයේ තිර රෙදිකඩ අතරය. ඇය එයාකාරව සැඟව සිටීම යෙහෙකැයි ඔහු සිතුවේය.
"මං ඔයාට මගේ තීරණේ කිව්වා, මිස්ට හසන්." ඈ එසේ කියද්දී ඔවුන් දෙදෙනා අතරවන දුරස් බව වහා වැටහෙන්නට විනි.
"අමාෂ් කියන්න. ඒක කාටත් හොඳයි." අමාෂ් ඉකම්නින් කීවේ ඈ ඔහු අමතන ආකාරයට කොහෙත්ම කැමති නැති නිසාය. එහි කාටත් නොනැමෙන අහංකාරබවක් රැඳී තිබුනි.
"ඔයා මං ගැන නොදන්න තවත් දෙයක් තියෙනවා..." ඈ පැකිලෙමින් කීවේ අමාෂ්ගේ ඉල්ලීම ගැන නොතකාය. තිර රෙදිවලට එපිටින් ඇසෙන ඇගේ හඬේ ආත්මීය බවක් මුසුව තිබුනාක්සේ අමාෂ්ට දැනුනි. සිත මෙලෙක්වන්නේ නිරායාසයෙන් වුවද ඒ හා සැනින් තම දඩබ්බර සිත මෙල්ල කරගන්නට අමාෂ් සමත් විය. ඔහුගේ දෑඟිලි නලල තෙක් දිව ගියේ ප්රශ්නාර්තයෙනි.
'මෙයා ගැන මං දැන ගන්නේ මොකටද?' අහංකාර සිතුවිලි ඔහුට නතුවන්නේ නැත. මේ කසාදය තාවකාලික එකක් වග ඇයට අමතක වූයේහිද? මියැදෙන තුරා සිත බැඳෙන විවා යෝජනාවකදී සේ එකිනෙකා පිලිබඳ දැනගැනීමේ අවශ්යතාවයක් ඔහුටවත්, ඇයටවත් නැති වගේ මේ කෙල්ලට අමතක වෙලාවත්ද?
'අද තමඉ සාමය, සතුට භුක්ති විඳින අන්තිම දවස...ගෑනියෙක් ජීවිතේට ආහම විනාසයි...'
ඔහුගේ යටිසිත ඔච්චම් කරන්නට විනි. එංගලන්තයේ ඔහු ඇසුරු කළ මිතුරන් හට උදා වූ කලදසාවන් පිලිබඳ ඔහු හොන්දට දන්නේය. විවාහයට පෙර හරි උජාරුවෙන් සිටි හැම මිතුරෙක්ම විවාහයෙන් පසු බිරිඳගෙන් එන දුරකතන ඇමතුමකට පවා අකමැති වූහ. විවාහය පිලිබඳ එයාකාරවූ අසුභවාදී සිතුවිලි ඔහුට නොතිබුනත් දැන් තමාගේ සෝචනීය ඉරණම පිලිබඳ හොඳ හැටි රහ දැනෙන්නේය.
'පොරොන්දුවෙන්න මං අකමැති දේවල් කරන්න බලකරන්නෙ නෑ කියලා.' ව්යාකූල සිතුවිලි අවසන නතරවන්නේ අර අහිංසකාවි ලඟමය. ඈ අවසනට කීවේ ඒ ටික විතරමය. ඒ හඬ ආයේ ආයේ ඇසෙන්නේ හරියට සුලඟට ඈ රහසක් කියන්නාක් සේ කෙඳිරූ නිසාය.
'ඔයා මගෙන් සදහටම වෙන්වෙලා බරකාහ්! ඇයි වද දෙන්නෙ? මං ආදරේ නෑ!' ඈ පිලිබඳ සිතෙන හැම වර දැනෙන්නේ පපුව ඉරාගෙන එන්නාක් සේ වූ වේදනාවකි. තනි අතින් අත්පුඩි ගසන්නට බැරි වග කොතෙක් හිතුවක්කාර සිතට පසක් කර දෙන්නට උත්සාහ කළත් මේ සිත ඊට අවනත වන්නේ නැත.
"මං මේකට කැමති උනේ අපි දෙන්නටම මේකෙං ගැලවෙන්න," අමාෂ්ට ඒ. බී කියුවක් පැහැදිලිව ඇසුනේ සිත අරක් ගෙන උන් බරකාහ්ගේ සිතුවිලි සිතින් මුලිනුපුටා දැමි නිසාය.
"මේ අහන්න ඒ.බී...ඔයා මගේ වයිෆ් වෙන්න කොළ කෑල්ලකට විතරයි. ඒක මං හොඳටම දන්නවා. ආයේ ආයේ මතක් කරන්න ඕන නෑ. ඔයයි මායි අතර තියෙන්නෙ අත්සනක බැඳීමක් විතරයි. වෙන කිසිම දෙයක් නැහැ. මං දන්නවා අර ආච්චිලා කියන කතාව...කසාද බැන්දට පස්සෙ ආදරේ හිතෙනවා කියලා...එහෙම අදහසක් තියාගන්නත් එපා...තියාගන්නෙත් නෑ. මං ඔයාට පොරොන්දු වෙනවා." අමාෂ් උගුරු දණ්ඩ අල්ලා දිවෘවේ පුරුද්දට මෙනි.
"මොකක්? ඔයාගේ හීන කඩනවට සමාවෙන්න. මට ඔයා ගැන එහෙම විකාර දේවල් හිතෙන්නෙ නෑ. ඔයා විතරක් නෙමෙයි මට කිසිම පිරිමියෙක් ගැන තඹේකට විශ්වාස නෑ." ඇගේ ප්රකෝපාකාර හඬින් අමාෂ් තිගැස්සුනේය.
"අමිහිරි මතකයන්? හා හා! ඒකද ඔය කළු ගෝණියක් පොරවගෙන ඉන්නේ? කාගෙං හරි හැංගෙන්න?" රිද්දන්නට ඕනෑ වූයේ ඇයි? ඈ පිලිබඳ ආදරයක් නොවුනත් කවදාක හෝ පිරිමි ආත්මයකට සිත දී අතරමං වූ අයෙක් යැයි ඈ කියූවකින් තේරුම් ගත් සිත උරණ වූයේ ඇයි?
"මං කාගෙන්වත් හැංගෙන්නේ නෑ මිස්ට හසන්. මං ඒ කළු ගෝණිය අඳින්නේ කවුරු නිසාවත් නෙමෙයි. අල්ලාහ් වෙනුවෙන්, ඒ භක්තිය මිසක් බියගුළු කමක්වත් වදයක් වත් නෙමෙයි."
අමාෂ්ගේ එක් ඇහි බැමක් හැකිළුනේ ඇගේ වදන්වල සැර සවනට දැනිනි නිසාය. මේ කෙල්ල හැමවෙලාවකම ලෝකාන්ත බෑවුම් මුල්ලෙ ඉඳං ඉන්නවාවගේ දැනෙන්නේ ඇයි? ඉක්මනින් ඈ අවුස්සා හිනැහෙන්නට හැකිවග සිත සරදම් කරන්නට විනි.
"ඔයා ඕක නැතුව හිටියයි කියලා කාටවත් රිදෙන්නෙත් නැතුව ඇති, ඒ. බී...ඔච්චර ගස්සන්න ඕන නෑ ඕකට."
අමාෂ් කීවේ ඇයට දෙවැනි වන්නට සිත එකඟ නැති නිසාය. එහෙත් ඒ හා සැනින් ඇගේ වෙනස්වන ඉරියව් දැක බලාගන්නට ඇත්නම් යැයි ඔහු සිතුවේය. මේ වන තුරුත් හෙට ඔහුගේ බිරිඳ වන්නට යන ඈ දැක බලාගන්නට අමාෂ්ට ඕනෑ වූයේ නැත. ඇගෙන් පිලිඹිඹු වන්නේ ඇගේ සැබෑ ස්වරූපය මිස මවා ගත් චරිතලක්ෂණයන් නොවන වග ඔහු වහා වටහාගත්තේය. ඒ දැනෙද්දී අමාෂ් මදකට තුෂ්නිම්භූතවෙලා සේ මද සුලඟට එහා මෙහා වැනෙන තිර රෙදි දෙස බලා උන්නේය. මෙතෙක් කල් බුර්කාව පිලිබඳ ඔහුට නොවැටහුණු යමක් මේ දැන් ඔහුගේ සියුම් බුද්ධිය වටහා දෙන්නට විනි. ඒ ඔහු මේ දකින්නේ ඇගේ නියම ස්වරූපයය. රූපයකට සීමා නොවූ ඇගේ ගුණාංගයන්ය.
'විකාර! මෙයා එයාගේ කැත බුර්කාවින් වහගන්නවා. තමුන් හොඳටම ගොනාට ඇන්දිලා...එහෙම නැත්තං දැං හැංගි හැංගි කතා කරන්න ඕන නෑ නේ. තමුන් හෙට එයාගේ කසාද මිනිහා. අද මූණ පෙන්නුවහම මොකද?'
'මට එයාගෙ පෙනුමෙන් වැඩක් නෑ...මං ආදරේ කරන්න යන්නෙ නෑ..නේ.'
'ජීවිත කාලෙම ඔය කෙල්ලත් එක්ක ඉන්න උණොත් මොකද කරන්නේ?'
ඔහුගේ යටි සිත පොරකන්නට වූයේ සිත වියවුල් කරමිනි. ඇසිල්ලකට සුදු හුණු තැවරුණු බිත්තියේ රටාවකට කඩදහි වලින් නිර්මාණය කර තිබූ බිත්ති සැරසිල්ලක් දෙස බලා ඔහු එරෙව්වේය. මේ වදකාගාරයෙන් කවදා පැන දුවන්නට හැකි වේදෝයි ඔහු සිත ප්රශ්න කරන්නට විනි.
"ඉතිං මොකද්ද කියන්න තියෙනවා කිව්වේ?" අමාෂ් ඇසුවේ වෙන කරන්න දෙයක් නැතුවට වගේය. ඈ නිහඬය. අමාෂ්ගේ කුතුහලය දෙගුණ වන්නට වූයේ ඔහුගේ අනුදැක්මකින් තොරවය. ඒහා සමගම ගෙල පිටුපස වූ කොට රෝම කූපයන් කෙලින් වෙනවා ඔහුට දැනුනි. මේ අත්භූත ගැහැනු චරිතය පිලිබඳ තව තවත් දැනගන්නට එකවර දැනෙන ආශාව මේච්චල් කරන්න ඔහුට නොහැක.
"අයිම් අ විඩෝ." ඈ දෙවරක් නොසිතාම කියුවත් අමාෂ් මොහොතකට ගල් ගැසුනේය. මුව ආයා ඈ සිටින ඉසව්ව බැලුවේ පුදුමය නිසාය. සිතට දැනි හැඟීම් එකවර විස්තර කරන්නට බැරි බවක් ඔහුට දැනුනි. වැන්දඹුවක් නැවත කසාදයක් කරගන්නට සිතීම පාපයක් නොවන වග අමාෂ් දන්නෙහිය. එහෙත් මේ සත්යය එකවර ජීර්නය කරගැන්ම තරමක් අපහසුය. ඈ ඔහුගේ කවුරුවත් නොව. මේ පුදුමය ඈ වරෙක අන්සතු වූ වග දැනීදා? නැත. ඇය වැන්දඹුවක් වීම ඔහුට ගැටළුවක් නොව. ඔහුගේ සැලසුම් මේ නිසා වෙනස් වන්නේද නැත.තමන්ගේ නිහැඬියාව ඈ රිදවන්නට වූ වග වැටහුණු සැනින් අමාෂ් හඬ නගා සිනා වූයේය. අඩුම තරමේ සාලිහා නැන්දාවත් මේ වගක් සඳහන් කළේ නැත. සඳහන් කලාය කියා ඈ පිලිබඳ සිතුම් පැතුම් වෙනස් වන්නේ නැත. එහෙත් යුතුකමකට කියන්නට තිබුනා නොවෙදැයි ඔහු සිතුවේය. මේ පිලිබඳ පවසන්නට තරම් ඈ නිහතමානී වීම පිලිබඳ ඔහුට දැනුනේ අල්පයක තරමේ වූ සතුටකි.
"ඔය රත්තරං පාත්තරේ වෙන මොනවද දන්නෑ තියෙන්නෙ? මට හිතාගන්න බෑ තව මොන මොන දේවල් අම්මා මං වෙනුවෙන් තියලා ගිහිංද කියලා...එන්ඩ්ලස් ඔෆ් ස'ප්රයිසස්."
අමාෂ් තම සිතැඟි වසං කරගැන්මට දක්ෂය. ඈ පිලිබඳ පැහැදෙන සිත පිලිබඳ හැකිනම් තමන්ගෙන්ම වසං කරගන්නට ඔහු උත්සාහ කරනු නො අනුමානය.
"ඒක එයාගේ වැරැද්දක් නෙමෙයි. හැමදේකටම අම්මාට බනින්න එපා." අමාෂ් දෙනෙත් හැකිළුනේ පුදුමයටමත් නොව. මෑ මේතරම් අම්මාට හිතවත් මොකද? හදවතේ සියළු දොරටු වසා දැමූයේ ඈ පිලිබඳවවත්, ඇයට ලෙංගතු එහෙත් තමන්ට සෙනෙහස නොපෑ අම්මා පිලිබඳවවත් යහපත් සිතුවිලි සිත මෙලෙක්කරරාවි යැයි දැනි නිසාය.
"හස්බන්ඩ් මැරුනේ ඔය වේල් එක නැතුව මූණ දැකලා වෙන්ටැති." ඕනකමින්ම ඈ කේන්ති ගන්වන්නට සිතා ඇස්වේත් ඒ නිසාය. ඔහුගේ කතාවට සරිලන විරූපි සනහවකින් සාලය දෝංකාර දෙන්නට වූවා සේය. ඈ නිහැඬියාව රකිද්දී තව තවත් ඈ රිදවා සතුටු වන්නට සිත ගිජු විනි.
"ඒක එහෙම සිද්ද උණානම් කරුණාකරලා ඔය මූණ වහගෙනම ඉන්නා...ඇට් ලීස්ට් ඉන් ෆ්රොන්ට් ඔෆ් මෙ. මටත් ඒ දේම සිද්ද වෙන්න ඕන නෑ නේ..."
අමාෂ් කීවේ ඒ වියරු සිනහව මුවගින් අතුරුදන් නොවීමය. ඈ නිහඬය. ඒ නිහැඬියාව ඔහුගේ වදන් ඔහු මනස තුල දෝ\කාර දෙන්නට වූයේ ඔහු වරදකරුවෙකු කරමින්ය. අමාෂ් හරි බරි ගැහී වාඩි වූයේ තම සිතැඟි ඉදිරි පිට චූදිතයෙකු වූ තැවුල සිතින් අකා මකා දමමිනි.
"මං බාධා කළේ නෑ නේද?" ඔවුන් අතර පැවති තද නිහැඬියාව කීතුකරමින් සාලිහාගේ කටහඬ ඇසෙන්නට විනි. අමාෂ්ගේ සරදම් සිනහව වරදවා වටහාගත් සාලිහා සිතුවේ ඔවුන් දෙදෙනා සිත් එකිනාකට විවරකර කතාබහේ නියැලුනාය කියාය.
"කසාද බඳින්න කලිං මනමාලිව දැක්කට වැරැද්දක් නෑ, ඇමාෂ්. ඒ. බී...කෝ එන්න දරුවෝ මෙහෙට." සාලිහා කියද්දී අමාෂ් සිනහ වූවේය.
"නෑ ආන්ටි, මට එයා කොයි වගේ හිටියත් ප්රශ්නයක් නෑ, ඔනස්ට්ලි." සිනහවක් වත තවරාගෙන සැහැල්ලුවෙන් අමාෂ් කීවේ ඇත්තටමය. එහි යටි අර්තයක් ඇතිවග දන්නේ ඔහුත් ඇයත් පමණක්මය.
'මට අර මනුස්සයා වගේ මෙයාව දැකලා මැරෙන්න බෑ...මැරෙන්නනම් වෙන කොච්චර ක්රම තියෙනවද?' සුපුරුදු සේ ඔහුගේ සිත ඔච්චම් කරන්නට විනි.
"ඒ.බී, ඔයයි අමාෂ් එක්ක ජීවිත කාලෙටම ජීවත් වෙන්න යන්නේ...කෝ එන්න ඉස්සරහට..."
සාලිහා කියද්දී අමාෂ්ට දැනුනේ හුස්ම හිරවෙන්නාක් සේය. 'දෙවියන් වහන්සේ ඒ තරම් නපුරු දඬුවමක් මට නොදෙයි කියලා මං හිතනවා...ජීවිත කාලෙටම...මගේ අම්මෝ...පිස්සු හැදෙයි මෙයා එක්ක.' තමන්ටම කියාගත්තේ සිත සනසාගන්නට වෙර දරමිනි. මේ සිදුවෙන කිසිවක් පිලිබඳ අමාෂ්ට පැහැදීමක් නැත. අම්මා නම් හොඳ සිහියෙන් නූන වග මේ ගෙවෙන තත්පරයෙන් තත්පරය ඔහුට පැහැදිලිය. නැතිනම් මෙවැනි අනර්ථවත් අවසන් ගිනුමක් ලියන්නේ නැත.
"මෙහෙම හොඳයි, ආන්ටි සාලිහා." තිරපටින් එපිට හිඳ ඈ කොඳුලාය. අමාෂ්ගේ දෙතොලග වක ගැසුනේ උඵාසයෙනි.
"ඒත් මං කැමතියි ඔය දෙන්නම මුහුණට මුහුණ බලලා කතා කරගන්නවනං. මාත් මෙතන ඉන්න එකේ ඔය දෙන්නට දෙන්න දැකලා කතාකරගන්න හැම නිදහසක්ම තියෙනවා,"
සාලිහා ඇගේ අභිමතයේම එල්බගෙන උන්නාය. ඒ නිසාම හිඳ හුන් පුටුවෙන් නැගිටගත් ඇය සාලය දෙකඩ කර වසා තිබි තිරපට පසුපසට ගියාය.
'අයියෝ! ඔය නින්ජා ඇදුමින්ම මෙයා දිහා බලන එක ඇඟට ගුනයි...' අමාෂ් තමාටම කියාගත්තේ සාලිහාට සිතින් බැනවදිමිනි.
අමාෂ්ගේ අවධානය යළිත් යොමුවූයේ ඔහු ගේ අතේ මෙතරම් වෙලා එහාට මෙහාට මාරුවුණු යතුරු කැරැල්ල දෙසය. තම අල්ලේ රැඳුනු දා දියට යතුර තෙත්ව අමුතු සිතියමක් යතුරේ ප්ලාස්ටික් මතුපිටේ ඇඳ තිබුනි. ඔහු දිගු සුසුමහ් හැරියේ ඕනෑකමින්මය. ඈ ඔහුගේ සිතැඟිවලට සරිලන යුවතියක් නොවුවහොත්?
කොහොම හිටියම මොකද? 'ජීවිත කාලෙම මෙයා එක්ක ගෙවන්නේ නෑ නේ?' යටිසිත මතක් කරදෙන්නට විනි.
දුඹුරු පැහැති සැඬලයක් පැලඳි දෙපා යුගලක් සාලිහා ගේ දෙපා යුගල පසුපස වැටෙනු අමාෂ්ගේ බැල්මට හසුවිනි. ඔහුගේ දෙනෙත් ක්රමයෙන් නිල් සහ සුදු මිශ්රිත සාය වෙතටත් පසුව නේවි නිලට හුරු සේද කුර්තාවක් ඔස්සේ ඉහලටත් සක්මන් කරන්නට විනි. ක්රමයෙන් ඔහුගේ බැල්ම නතර වූයේ ඇගේ වත දෙසය. අමාෂ්ගේ කොඳු නාරටිය කෙලින්වූයේ නිරායාසයෙනි. ඈ ඔහුගේ බැල්ම මගහැරියාය. අමාෂ්ගේ දෙඋර පහල වැටුනේ සුලි කුණාටුවකට හසුවූ නැවෘවලක් සේය.
"බරකාහ්!"

ආදරේ විතරමයි- Nothing but LoveWhere stories live. Discover now